සිරගෙදර සිහිනය සිනමාවෙන් කෙළවර වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ධනංජි තාරකා මේ දවස්වල ටිකක් කාර්යබහුල කලාකාරියක්. සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කරන ''ලොක්ඩවුන්'' සිනමා පටය රූගත කිරීම් කරන අතරතුරේ ධනංජි ''එහෙම වුණොත්'' විශේෂාංගයට එකතු වුණේ මේ විදිහටයි.

ධනංජිට පුංචි කාලෙට යන්න එක අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් යන්න කැමති කොයි කාලේටද?

එහෙම වුණොත් මම මගේ උසස් පෙළ කරන කාලයට යන්න හරි කැමතියි. මම උසස් පෙළ අවසන් කරන කාලයේදී තමයි රංගනයට දායක වුණේ. මට ඒ කාලේ සිහින දෙකක් තිබුණා. ඒකෙන් එක හීනයක් හැබෑවෙලා තියෙනවා. ඇත්තම කිව්වොත් නිළියක් වෙන හීනයත් මගේ පුංචි කාලේ නම් තිබුණේ නැහැ. මේ ක්ෂේත්‍රයට අහම්බෙන් ආවට පස්සේ තමයි මට දිගටම නිළියක් වෙන හීනය ඇතිවුණේ. මගේ දෙවැනි හීනය වුණේ කවදා හරි බන්ධනාගාර නිලධාරිනියක් වීමයි. මගේ තාත්තා වැඩකළේ බන්ධනාගාර නිලධාරියෙක් විදිහටයි. අපි අවුරුදු විසි ගණනක්ම වැලිකඩ බන්ධනාගාර නිල නිවාසයෙයි හිටියේ. මම ළදරු පාසලට ගියේ ඒ අසලම තිබුණ ශ්‍රී ලංකාරාම පන්සලටයි. පුංචි කාලේ ඉඳන්ම මම තාත්තාගේ නිල ඇඳුමට ආසා කළා. ඉතින් හීන දෙකෙන් නිළියක් වුණා. ඒ නිසා බන්ධනාගාර නිලධාරිනියක් වෙලා ඒකේ අත්දැකීම් ලබන්න මම ආසයි.

නොහිතපු වෙලාවක ධනංජිව මේ කලා ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප වෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?

එහෙම වුණොත් මගේ දක්ෂතා තිබෙන ක්ෂේත්‍රයක් මම තෝරාගන්නවා. ඉස්සර බන්ධනාගාර නිලධාරිනියක් වීමේ හීනය සැබෑ කරගන්නට මට දැන් බැහැ. ඒ වෙනුවෙන් කරන්න විභාග තියෙනවා. දැන්  ඒවා කරන්න අමාරුයි. මම ක්‍රීඩාවට යම් හැකියාවක් තියෙන කෙනෙක්. චිත්‍ර අංශයෙනුත් මගේ යම් හැකියාවක් තිබෙනවා. මම චිත්‍ර ඩිප්ලෝමාවක් පවා හැදෑරැවා. ඒ නිසා මේ නියැලුණ කලා ක්ෂේත්‍රය මාව ප්‍රතික්ෂේප කළොත් මම ඒ අංශ දෙකෙන් එකක් තෝරා ගයි.

ධනංජිට නොකරපු වරදකට දඬුවම් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?

එහෙම වුණොත් මම පෙර භවයක කරපු කර්ම ඵලයක් නිසා වෙන්න ඇති ඒ දඬුවම ලැබෙන්න ඇත්තේ. ඒක මම මේ භවයේදී කරල ඉවර කරගන්නව කියලා ඉවසීමෙන් ඒ දඬුවමට මුහුණ දීලා ඒක එතකින් අවසන් කරගන්නට මුහුණ දෙනවා. මම මේ සොබා දහම විශ්වාස කරනවා. කර්ම ඵලය විශ්වාස කරනවා. කවුරැන් හෝ තවත් කෙනෙකුට යම් වරදක් කළොත් ඒක නැවත පෙරලා පැමිණෙනවා කියලා මම විශ්වාස කරනවා.

වේ වෙද්දී ධනංජිගේ ජනප්‍රියත්වය, ප්‍රවීණත්වය එක්ක දේශපාලනයට පිවිසෙන්නට අවස්ථාවක් සහ ආරාධනාවක් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?

එහෙම ආරාධනාවක් ලැබුණොත් නම් මම බාරගන්නේ නැහැ. මගේ ඔළුව ඇතුළේ තිබෙන මේ මානසික නිදහස මට ගොඩක් වටිනවා. මිනිසුන් වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඒකට දේශපාලනයට එන්න ඕනේ නැහැ. ඒ නිසා දේශපාලනයට ආවට පස්සේ මගේ ඔළුවේ තිබෙන නිදහස මට නැතිවෙනවා. දේශපාලනයට එනවා නම් ඒ වෙනුවෙන් දැනුමක් තියෙන්න ඕනේ. කවුරු ආරාධනා කොහොම කළත් ඒ ගැන දැනුමක්, අත්දැකීමක් තියෙන්නට ඕනේ. දේශපාලනය කියන විෂය ලොකු විෂයයක්. ඒ නිසා නොදැන ක්ෂේත්‍රයකට සම්බන්ධ වෙන්න මම කැමති නැහැ.

ධනංජිට කෝටි ගණනක විශාල ලොතරැයි දිනුමක් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?

කෝටි ගණනක ලොකු ලොතරැයියක් ඇදුනොත් මම ඒක සතුටින් බාර ගන්නවා. වාසනාව කියන දේ කවදා ලැබෙයිද කියලා කියන්න දන්නේ නැහැ. පොඩි පොඩි ලොතරැයි දිනුම් නම් ඇදිලා තියෙනවා. හැබැයි ඉතින් විශාල දිනුමක් ලැබුණොත් අපේ මූලික මුදල් ගැටලුවලට ඒ මුදල්වලින් යොදවලා පිංදහම් කටයුතුවලට යම් කොටසක් යොදවනවා.

ජීවිතේ වෙච්චි සමහර සිදුවීම් අමතක කරන්න ධනංජිට අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් අමතක කරන්නේ මොන සිදුවීමද?

මෑතකාලයේදී සිදුවුණු එක්තරා සිදුවීමක් මගේ හිත ලොකු කම්පනයක් ඇති කළා. ඒ සිදුවීම ''සිදුනොවුණා නම් හොඳයි'' කියලා හැම මොහොතකම මට හිතෙනවා. ළඟදී අපේ තාත්තා යාළුවෙක්ගේ බණ ගෙදරකට ගියා. තාත්තා ඒ ගෙදරට ගිහින් තිබුණේත් නැහැ. බස් එකට නගිද්දී තාත්තා කතා කරලා තිබුණා. එතනින් එයාට එයා ගැන ආරංචියක්වත් තාත්තාගේ දුරකථනය වැඩ කළේවත් නැහැ. පැය ගාණක් තාත්තා ගැන කිසිම ආරංචියක් අපිට ලැබුණේ නැහැ. අපි ගොඩක් බයවුණා. තාත්තා අනතුරකට ලක්වී තිබුණා. ඇත්තම කිව්වොත් විනාඩි කිහිපයක්ම තාත්තා සිහි නැතිව රෝහලේ ඉඳලා තිබෙනවා. පොලිසියෙන් තමයි තාත්තාව අපිට හොයලා දුන්නේ. ඒ සිදුවුණ සිදුවීම අපිට ලොකු කම්පනයක් කළා. ඒ තාත්තාව හොයපු මොහොත ජීවිතේ අමතක කරන්න බැහැ. ඒ වේදනාව හරියට දැනෙනවා.

මේ කලාවට අමතරව ධනංජිට වෙනත් ක්ෂේත්‍රයක් හදාරන්න එක අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් නියැලෙන ක්ෂේත්‍රය මොකක්ද?

එහෙම වුණොත් මම චිත්‍ර කලාව හදාරනවා. එම උසස් පෙළින් පසුව චිත්‍ර කලාව හදාරණ එක නතර කළා. හැබැයි ඒක මම හරිම ආසා විෂයයක්. ඒවගේම මම සටන් කලාවටත් කැමැතියි. ඒ විෂය ඉගෙන ගන්නත් ලොකු ආසාවක් තිබෙනවා.

ධනංජිට චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් බාරගන්නවාද?

අධ්‍යක්ෂණයට ආසයි. හැබැයි තාම ඒකට සුදුසු කාලය නෙමෙයි. මේ වෙද්දී අධ්‍යක්ෂණය ගැන මූලික අවබෝධය ඇති. කැමරුව ඉස්සරහ රඟපාද්දී ලැබෙන අවබෝධය හා අත්දැකීම් අධ්‍යක්ෂණයට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය මූලික දැනුමේ සිට දැනුම ලබාගෙන චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්නට පුළුවන් වුණොත් මම ඒ ක්ෂේත්‍රයේ නියැලෙනවා.

රටේ පවතින ආර්ථිකයත් එක්ක බොහෝ දෙනා මේ වෙද්දී විදේශගත වෙන්න උත්සාහ ගන්නවා. ධනංජිටත් හොද රැකියාවකට, හොඳ වැටුපකට, හොඳ රටකට යන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් විදෙස්ගත වෙනවාද?

පෞද්ගලිකව අපි කවුරුත් හොඳින් ඉන්න කැමතියි. අද අපි මෙහෙම දුක් විඳින්නේ ජීවිතේ යම් දිනෙක සතුටින් ගත කරන්නයි. ඒ නිසා තමන්ට තමන්ගේ ප්‍රශ්න විසඳගන්නට හොඳ අවස්ථාවක් ලැබෙනවා නම්, ඒ අවස්ථාව නරක දෙයක් නෙවෙයි නම්, මම අනිවාර්යයෙන්ම ඒ අවස්ථාව බාරගන්නවා. ජීවිතේ කියන්නේ කෙටි කාලයක්. ඒ නිසා ඒ අවස්ථාව මම මඟ හැරගන්නේ නැහැ.

දිශානි