හැංගිලා ඉන්න දක්ෂයින් හැකියාවන් එළියට ගන්න එක තමයි රියලටි තරගවලින් කරන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිරසේ ද වොයිස් ශ්‍රී ලංකා රියලටි තරගය හරහා රටක් අඳුනාගත් නවක ගායන ශිල්පිණි කවිනි ලියඳපිටියට මෙවර අප සාරවිට තුළින් මෙසේ ඉඩක් වෙන් කළා. ගායිකාවක් ලෙස කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට උත්සාහ කරන කවිනි ඇයගේ අලුත්ම තොරතුරු අප සමග මෙසේ බෙදාහදා ගත්තා.

කවිනි ගායිකාවක් වුණේ කොහොමද?

මම මූලික අධ්‍යාපනය ලැබුවේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන්. මගේ පවුලේ හැමෝම කලාවට ලැදියි. මොකද, මගේ තාත්තා සංගීත ගුරුවරයෙක් නිසා. ඇත්තටම කලා ක්ෂේත්‍රයට පිවිසීමට මූලික අඩිතාලම ඇති වුණේ පාසල් වේදිකාව හරහා. පාසල නියෝජනය කරමින් මම සමස්ත ලංකා මට්ටමේ තරගවලට සහභාගි වෙලා ජයග්‍රහණයත් අරගෙන තියෙනවා. ඒ වගේම පාසලේ තිබුණ හැම  කලා කටයුත්තකටම වගේ මම දායක වෙලා තියෙනවා. ඊට අමතරව   පාසල් සංගිත කණ්ඩායමේ ප්‍රධාන පෙළේ සාමාජිකාවකුත් වෙනවා මම.

කොහොමද ද වොයිස් ශ්‍රී ලංකා රියලටි තරගය?

සිරසින් ඉදිරිපත් කරපු ද වොයිස් ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් වේදිකාවෙන් තමයි මට ආදරේ කරන රසික පිරිසක් මුණ ගැහුණේ. එම තරගයේදි  ප්‍රවීන සංගීතවේදීන් පස්දෙනෙකු ගෙන්  ලැබුණ ගුරුහරුකම් ඇත්තටම ලොකු අත්දැකීමක් වුණා. ඒ වගේම මම හිටිය උමාරියා මිස්ගේ කණ්ඩායමේ. ඇයගෙන් ලැබුණ සහයෝගය ඉදිරියට යන්න මට ලොකු පිටුවහලක් වුණා. ගොඩක් දක්ෂ ගායක ගායිකාවන් පිරිසක් එක්ක තරග කරන්නම ලැබුණ එක මට ලොකු අත්දැකීමක්.

ඉදිරියටත් මේ වගේ රියලටි තරගවලට යොමු වෙන්න අදහසක් නැද්ද?

තවත් වතාවක් රියලිටි වැඩසටහනකට ඉදිරිපත් වෙලා දක්ෂ තරගකරුවෝ එක්ක තරග කරන්න කැමැත්තක් තියෙනවා. නමුත්, ද වොයිස් ශ්‍රී ලංකා තරගය තුළින් ලැබූ අත්දැකීම් එක්ක මගේම නිර්මාණ වලින් ඉදිරියට යන්න තමයි දැන් මම අදහස් කරමින් ඉන්නේ.

ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්න මේක හොඳ අවස්ථාවක් නේද?

රියලිටි වැඩසටහනක් කියන්නේ හැංගිලා ඉන්න දක්ෂ නවකයන්ගේ හැකියාවන් මිනිසුන් අතරට ගෙන එන වටිනා අවස්ථාවක්. මොකද දැන් තියෙන තරගකාරීත්වයත් එක්ක ගොඩක් දක්ෂයන් ක්ෂේත්‍රයට එන්න කැමති වුණත් ඒ අයට තියෙන්නේ අඩු අවස්ථාවක්. ඉතින් මගේ අදහස මේ වගේ රියලිටි තරග දක්ෂයන්ට ලොකු අවස්ථාවක් ලැබෙනවා කියලා.

දැනට කරපු ගී නිර්මාණ මොනවද?

ඇත්තටම මම ද වොයිස් ශ්‍රී ලංකා රියලටි තරගයට ඉදිරිපත් වෙන්නේ මගේ පාසල් උසස් පෙල හදාරන කාලයේදිමයි. ඒ නිසා මගේ උසස් පෙළ කටයුතු යම්තාක් දුරට මගහැරුනා නිසා තරගයෙන් පස්සේ ආයෙත් මගේ අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙන්න සිදුවුණා. දැන්  අධ්‍යාපන කටයුතු අවසන් නිසා ආයෙත් කලා කටයුතු වලට යොමු වෙන්න කාලය ලැබිලා තියෙනවා. මේ දවස්වල මගේම අලුත් නිර්මාණයක වැඩ කරමින් යනවා. ඒ එක්කම කවර් ගීත කිහිපයකුත් මේ දවස්වල කරගෙන යනවා.

කවිනිට හොඳ පෙනුමක් තියෙනවා නේද?

ඔව්, මට සිරස නාළිකාවෙන් රංගනය සදහාත් ආරාධනා ලැබුණා. ඒත් මට අධ්‍යාපන කටයුතු නිසා  ඒක මහ හැරුණා. දැනටමත් මම නිරූපිකාවක් විදිහට කටයුතු කරනවා. නමුත්, ගායන කටයුතු වලට තමයි වැඩි කාලයක් ලබා දෙන්න හිතාගෙන ඉන්නේ.

පවුලේ අයගේ ප්‍රතිචාර කොහොමද කවිනි ගායිකාවක් වුණ එකට?

මගේ ලොකුම ශක්තිය මගේ පවුල. මගේ අම්මා, තාත්තා වගේම මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. පවුලේ බාලයා නිසා සහ ගෙදර හැමෝම වගේ කලාවට ගොඩක් ප්‍රිය කරන නිසා එයාලගෙන් ගොඩක් ලොකු සහයෝගයක් මට ලැබෙනවා. ඉදිරියටත් එහෙමයි. ඒ වගේම මගේ ගුරුවරු, මගේ යාළුවෝ මාව නිතරම දිරිමත් කරනවා. මගේ ගීතවලට ප්‍රෙක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්.

බුද්ධික සේනාධීර