හිත හොඳ නිසා වරදින තැන් වැඩියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මට හිතෙන විදියට රඟපෑම කියන්නේ චරිතයක් ගත්තොත්, රඟපානවා කියලා හිතා ගෙන රඟපෑම නෙවෙයි. ඒ චරිතයේ ඉන්නෙ මම. ඒ මම තමයි කියලා හිතාගෙන රඟපෑවොත් ඒ චරිතයට වඩාත් සාධාරණයක් කරන්න පුළුවනි. 

මේ විදිහට පවසන ඇය ගයාත්‍රි දිසානායකය. විකාශය වූ සංසාරා, කන්තෝරු මෝරු, මුතු ලෙන්දොර සහ විකශය වන නීල පබළු නාට්‍යයේ රඟ පෑ ඇය හෙට දින නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ ගෙවිලා චිත්‍රපටයේ සහ අත් වැසි නාට්‍යයේ ප්‍රධාන චරිත සමග කරළියට ඒමට නියමිතව සිටින මොහොතක කවුද මේ ගයාත්‍රි කියලා අපි බලමු. 

• සම්පූර්ණ නම කියමු ? 

ගයාත්‍රි කාංචන මාලි දිසානායක අද බොහෝ දෙනෙක් දන්නේ ගයාත්‍රි දිසානායක කියලයි. 

• ගම ? 

රාගම 

• ගයාත්‍රි ගැන විස්තර කියමු ? 

මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි. තාත්තා ව්‍යාපාරිකයෙක්. නංගි තවම පාසල් අධ්‍යාපනය ලබනවා. මම ඉගෙන ගත්තේ කඩවත විද්‍යාලෝක විද්‍යාලයෙන්. දන්නා කාලයේ ඉඳලාම ආසාව තිබුණෙ කලා අංශයට. පසුව මම නාට්‍ය ගැන හැදෑරුවා. ඊට අමතරව නර්තනය දිගටම කළා. මහේන්ද්‍ර පෙරේරා මහතා සහ දමයන්ති ෆොන්සේකා මහත්මිය යටතේ නාට්‍ය පාඨමාලා හැදෑරුවා. 

• ඒ කියන්නේ ඔබට තිබුණේ රඟපෑමේ අරමුණ ද? 

ඔව්. 

• ඇයි රඟපෑමට ආසා වුණේ. ? 

අනේ මන්ද දන්නා කාලයේ ඉඳලාම ආසා කළා. ඊට පසුව අහම්බයෙන් සංසාරා ටෙලි නාට්‍යයේ රඟපෑමට ලැබුණා. 2017 දී ඒ ගමන පටන් ගත්තේ. ඊට පස්සේ කොළඹ සන්නිය ෆිල්ම් එකේ චරිතයක් රඟපෑවා. පසුව ටෙලි නාට්‍ය කීපයකම සුළු චරිත රඟපෑවා. වෙළෙඳ දැන්වීම්වලටත් දායක වුණා. 2019 දී මිස්ටුවරිසම් ඉන්ටර් නැෂනල් රූ රැජින තරගය ජයග්‍රහණය කළා. මෑතක දී රඟපෑවෙ, කන්තෝරු මෝරු, මුතුලෙන්දොර, නීල පබළු, නාට්‍යවල විකාශයට නියමිත අක්වැසි නාට්‍යයේ රඟපෑවා. ඒ විදිහට සිටිය දී තමයි හෝලා චිත්‍රපටයේ රඟපෑමට ලැබුණෙ. 

• හෝලා ගැන කියමු. 

ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ නාලක විතානගේ මහත්මයා. හෝලා චිත්‍රපටයේ මම රඟපාන්නේ ප්‍රධාන චරිතයක්. චරිතයේ නම ට්‍රේසි. 

• මොන වගේ චිත්‍රපටයක් ද? 

සමාජයට හොඳ පණිවිඩයක් ලබා දෙන චිත්‍රපටයක්. මිනිස්සු නොදකින පැත්තක් ගැන කතා කරන්නේ. මැයි මාසයේ තමයි තිර ගත වීමට තිබුණෙ. නමුත් කොරෝනා වසංගත තත්ත්වය නිසා කල් ගියා. 

• රඟපෑමට ආ එක ගැන ගයාත්‍රිට සතුටුද? අද ඒ ගැන හිතන්නේ කොහොමද? 

ඔව්. දැන් කරලා තියෙන වැඩත් එක්ක ලොකු සතුටක් තියෙන්නේ. නිර්මාණ ගොඩකට එකවර දායක වීමේ අරමුණක් නැහැ. මට ගැළපෙන චරිතය තෝරා බේරා ගෙන කරනවා. 

• රඟපෑම විතර ද කරන්නේ? 

දැනට රංගනය විතරයි කරන්නේ. 

• ගයාත්‍රි මොන වගේ කෙනෙක්ද? 

මා දිහා බාහිරින් බලන අය හිතන්නේ මට ආඩම්බරයි. නපුරුයි කියලයි. ඒ වුණාට මම හැමෝම එක්ක ආශ්‍රය කරලා නිදහසේ ඉන්න කෙනෙක්. 

• ගයාත්‍රිගේ වයස කියන්නට කැමති ද? 

අවුරුදු 26 යි. 

• කොහොමද කලා ක්ෂේත්‍රයට ආ එක හොඳයි කියලා හිතනව ද? 

ඔව්. හොඳයි කියලා හිතනවා. සමහර අවස්ථාවල දී කළ කිරෙන අවස්ථාත් තියෙනවා. ඒ වගේම තමන් කරන වැඩේට ආදරයෙන් ගලපා ගෙන කරනවා නම් ප්‍රශ්නයක් නැහැ.  

• ගයාත්‍රි ජීවිතය ගැන හිතන්නේ  කොහොම ද? 

දුක සතුට දෙකම තියෙනවා. ජීවිතය විඳින විදිය හෝ විඳවන විදිය තියෙන්නේ අපි අතේ. 

• විඳවන්නේ නැතුව විඳින්නේ කොහොමද? 

ඒක අපට ඕනෑ විදියට මිසක්, අනෙක් අයට ඕනෑම විදියට නෙවෙයි ගත කරන්න ඕන. හරි දේ කරමින් තමන්ට ගැලපෙන දේ කළාම හරි. 

• දැන් කොහොම ද ගයාත්‍රිගේ ආදරේ. 

හොඳින් ගෙවෙනවා. 

• ඒ ගැන කියන්න බැරි ද? 

ආදරය සුන්දරයි. ඒක සුන්දරව ගෙවෙනවා. ජීවිතයේ හැමදාටම ආදරය ඒ විදියට ගෙවෙනවා නම් හොඳයි. 

• රංගනය හැර වෙන මොනවට ද දක්ෂ? 

රංගනය, නර්තනය තමයි කරන්නේ. වෙනත් හැකියාවන් ගත්තොත් මෝටර් සයිකල් පදිනවා. මී මැසි පාලනය කරනවා. 

• මී මැසි පාලනය කරන විදිය අපට කියන්නකෝ. 

ලංකාව පුරා මී මැසි බෝ වීම වැඩි කිරීම එහි අරමුණයි. ඒ වගේම ඒ මගින් රණවිරු ආබාධිත අංශයේ විරුවන්ට එය කරන විදිය කියා දෙනවා. ලංකාවේ මී පැණි නිෂ්පාදනය වැඩි කිරීම තවත් අරමුණක්. 

• මී මැස්සන් එක්ක යාළු වෙන්න කොහොමද? 

ඒකට තිබිය යුතු මුලිකම දේ හිතේ විශ්වාසයයි. අපේ ආදරය කැමැත්තක් තියෙන්න ඕනෑ. 

• මී මැස්සන්ගේ හැසිරීම් මොන වගේද? 

මී මැස්සන් එකමුතු වෙලා. හමුදාවක් වගේ කටයුතු කරන්නේ. එක් අරමුණක් වෙනුවෙන්. හරියට හමුදා විරුවන් වගේම තමයි. 

• ගයාත්‍රිගෙ හොඳම ගුණාංගය මොකක්ද?

මගේ හිත හොඳයි. ඒ වගේම හිත හොඳකම නිසා මට වරදින අවස්ථාවක් තියෙනවා. 

• නරක දේ ? 

ඉක්මනට කේන්ති යනවා. හැබැයි චුට්ට වෙලාවකට විතරයි. 

• හෝලා චිත්‍රපටයේ දෙබසකින් අපි මේ සටහන හමාර කරමු. 

‘‘තමුසෙලා වගේ මිනිස්සු තමයි ඕයි මේ මුළු සමාජයම අවුල් කරන්නේ.’’

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ