හැමෝගේම සිත් ගත් තරුවක් වෙන්න මම කැමතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රයට නවකයෙක් වන දුලාංජී කොස්කොටේ සමගින් මෙවර අපි කතා බහා කළේමු. දැනට කලා නිර්මාණ කිහිපයකටම දායක වී ඇති ඇය ඉදිරියේදී ටෙලි නාට්‍යය කිහිපයකින්ද දැක ගැනීමට ප්‍රේක්ෂක ඔබට හැකි වේ.

දුලාංජි මොන වගේ කෙනෙක්ද?

මොන ප්‍රශ්නේ ආවත් හිනා වෙලා සතුටින් ගත කරන්න කැමති කෙනෙක්. ඒ වගේම තමයි තමන්ගේ පාඩුවේ අනුන්ට උදව් කරමින් ජිවත් වෙන්න කැමති කෙනෙක්. මම ගොඩක් කැමතියි දුප්පත් අයට උදව් කරන්න. දැනට මා ගාව සල්ලි නැති වුණත්  දවසක මම ඒ දේ කරනවා. දෙන තරමට තමයි ලැබිම කියලයි මම හිතන්නේ.

ඔබ කලා ක්ෂේත්‍රයට අලුත් කෙනෙක් නේද?

ඔව්, ක්ෂේත්‍රයට ආවේ ගිය වසරේදී. මම ඉන්නේ නාවලපිටියේ. මම අඳුනන කෙනෙක්ගේ සැලුන් එකකින් මට බ්‍රයිඩ්ල් ෂුට් එකකට කතා කළා. ඊට පස්සේ තමයි දිගටම නිරූපණ වැඩවලට සම්බන්ධ වුණේ.

එතකොට දැන් ඔබ නිරූපිකාවක්ද? එහෙමත් නැත්නම් රංගන ශිල්පිනියක්ද?

ක්ෂේත්‍රයට මුලින්ම ආවේ නිරූපිකාවක් විදිහට. නමුත්, දැන් රංගන ශිල්පිනියක් විදිහට තමයි වැඩිපුර වැඩ කරන්නේ.

දායක වුණ නිර්මාණ එහෙමත් ඇති දැන්?

ගීත රූප රචනාවකට තමයි මුලින්ම දායක වුණේ. ඒත්, පසුගිය කාලේ ටෙලි නාට්‍යය කිහිපයකටම දායක වෙන්න අවස්ථාව ලැබුණා. හැබැයි තවමත් ඒ ටෙලි නාට්‍යය විකාශය වුණේ නැහැ. මම හිතනවා ඉදිරියේදී ඒ නිර්මාණ හරහා මාව ප්‍රේක්ෂකයින්ට දකින්න පුළුවන් වේවි කියලා. ගීත රූප රචනාව හා ටෙලි නාට්‍යයවලට අමතරව වෙළෙඳ දැන්විම් කිහිපයකටත් දැනට දායක වෙලා තියෙනවා.

කලාවට සම්බන්ධ නොවුණා නම් ඔබ කවුරු වෙයිද?

පාසල් යන කාලේ නම් ක්‍රීඩාවට දක්ෂ කෙනෙක්. නමුත්, පාසල් අධ්‍යාපනය නිමාවත් සමග ක්‍රීඩාවෙන් ඉදිරියට යන අදහස නැතිවුණා. කලාවට සම්බන්ධ නොවුණා නම් බොහෝ විට මම මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගනියි. දැනටමත් මම ව්‍යාපාරයක් කරමින් තමයි ඉන්නේ.

කලා ශිල්පිනියක් විදිහට ඉදිරිය ගැන මොකද හිතන්නේ?

හැමෝගේම සිත් ගත් තරුවක් වෙන්න තමයි මගේ ලොකුම ආසාව. බාධක ගොඩක් එනවා කියලා මම දන්නවා මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරද්දි. හැබැයි ඒ සියලු බාධක ශක්තියක් කරගෙන මගේ ගමන මම යන්න තමයි බලාපොරොත්තුව.

උදව් කරපු අය කවුද?

අම්මා, තාත්තා, අයියලා දෙන්නා තමයි. තාත්තා නම් ඉස්සර නාවලපිටිය නගර සභාවේ වැඩ කළා. දැන් නම් විශ්‍රාමිකයි. අම්මා රැකියාවක් කළේ නැහැ. අම්මා තමයි ගෙදර හැම දෙයක්ම බලාගන්නේ. ලොකු අයියා නම් පොලිසියේ. පොඩි අයියා ප්‍රාදේසිය සභාවේ රැකියාව කරනවා. මේ කට්ටිය හැරුණු කොට තව ඉන්නවා ගොඩක් උදව් කරපු අය. නම් වශයෙන් නොකිවත් ඒ සියලු දෙනාවම මේ අවස්ථාවේදී මතක් කරනවා.

බුද්ධික සේනාධීර