ඉස් ඉස්සෙල්ලා ෂෝ එකක සිංදු කියනකොට වයස අවුරුදු අටයි
● ඉතින් කොහොමද උරේෂා?
පාමංකඩ දුටුගැමුණු වීදියේ, සුන්දර නිවහනක ආලින්දයේදී මම විමසුවෙමි.
හොඳින් ඉන්නවා අයියා.. එන්න ගෙට.
උරේෂා රවිහාරි වික්‍රමසිංහ නම් වූ ඇය මට ඇගේ නිවසේ සුන්දර විසිත්ත කාමරයේ වූ සැප පුටුව දක්වමින් කීවාය.
උරේෂාගේ, ඇගේ ආදරණීය සැමියාගේ, ඔවුන්ගේ හුරතල් දරු පැටියාගේ පින්තූර මෙන්ම ප්‍රවීණ නිවේදක ධර්ම ශ්‍රී වික්‍රමසිංහගේ ඡායාරූපද විසිත්ත කාමරයේ තබා තිබිණි.
● ලස්සන ගෙයක්.. ගේ ලස්සනට තියාගන්න ඔයා හුඟක් වෙහෙසෙනවා වගේ.
මම කතාබහ ආරම්භ කළෙමි.
ඔය ගොඩක් සැලසුම් නම් රුචිරගේ. එයා ගෙදර ඉන්නදාට කරන්නේ ගෙදරයි මිදුලයි ලස්සන කරන එක තමා. අර මිදුලේ තියෙන බොන්සායි කැලෑව තනිකරම එයාගෙ මහන්සිය. මම කරන්නේ එයා නැතිදාට වතුර දාන එක විතරයි.
උරේෂා සිනාසෙමින් කීවාය.
රුචිර, එහෙමත් නැත්නම් රචිර නදීර විසිත්ත කාමරයේ රූපරාමුවෙන් එබී මා සමඟ සිනාසෙමින් සිටියේය.
ඔහු බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ලෙස කරන්නේ බාරධූර රාජකාරියකි. ගෙදර ඇවිත් බොන්සායි ගස් එක්ක කාලය ගතකරන විට ඔහුගේ හිත නිවී සැනසෙනවා ඇත. හරියටම උරේෂාගේ ගීතයකට සවන් දුන් විටෙක මෙන්..!
ඇයි උරේෂා ඔයාගේ හිත දොස්තර මහත්තයෙක් ළඟ නතර වුණේ.
සාමාන්‍යයෙන් එක අත්තක වහන්නේ එක වර්ගයේ කුරුල්ලෝය. ගායිකාවෝ ගායකයෝ සමග විවාහ වෙති. නිළියෝ නළුවෝ සමග විවාහ වෙති. දොස්තර නෝනලා දොස්තර මහත්තුරු සමග විවාහ වෙති. එසේ නොවන අවස්ථාවද ඕනෑ තරම්ය.
මම මුල ඉඳලම හිතාගෙන හිටියෙ මගෙ මහත්තය වෙනම ක්ෂේත්‍රයක එක්කෙනෙක් වෙන්න ඕනෑ කියලා. අම්මා තාත්තා වුණත් කිව්වේ එහෙම. මොකද හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නම එකම ක්ෂේත්‍රයේ වුණාම ක්ෂේත්‍රය කඩා වැටුණොත් ගෙදර ප්‍රශ්න ගොඩගැහෙනවා. මගේ මල්ලිට හොඳට සිංදු කියන්න පුළුවන්කම තිබිලත් තාත්තා එයාව සංගීත කේෂ්ත්‍රයට යොමුකළේ නැහැ. එයාව පරිගණක පැත්තට, අයි.ටී. පැත්තට යොමුකළා. තාත්තා හැම තිස්සෙම බැලුවේ අනාගතය දිහා. ඉතින් මට මේ යෝජනාව ආවා. හඳහන් ගැලපුණා.. දෙන්නා කැමති වුණා. ඊළඟට බැන්දා.
● එතකොට ඔයා හඳහන් විශ්වාස කරනවා.?
මෙහෙම කියමු! හඳහන් අවිස්වාස කරන්නේ නැහැ. උරේෂා අර ලස්සන සිනාවට දෙතොලතර පැතිර යන්නට ඉඩ දුන්නාය.
● ඒ කියන්නේ?
ඇත්තම කිව්වොත් මම මහ ලොකුවට හඳහන් පස්සෙ යන්නෙ නැහැ. නමුත් ඉතින් විවාහය වගේ ජීවිතේ එක්වරක් විතරක් සිදුවෙන විශේෂ දේකදි හඳහන බලන එක හොඳයිනෙ. ඒකනේ අපේ සාම්ප්‍රදායික ක්‍රමය.
එක හරි.
මම ඇය සමග එකඟ වෙමි. සත්‍ය අසත්‍යතාවය ගැන නිවැරදිවම නොදන්නා විටෙක අප කළයුත්තේ එය අවිශ්වාස නොකිරීමය. ඕනෑවට වඩා විශ්වාස නොකිරීමය.
කවුළුවෙන් එපිට පැතිර ඇත්තේ සන්ධ්‍යා හිරු රැස්ය. ඉර හැංගෙන හැන්දෑවේ මා උරේෂාගේ කැඳැල්ලට ආවේ සන්ධ්‍යා චමත්කාරය විඳීමට පමණක් නොවේ. උරේෂාගේ මතක සටහන් අසාගන්නටත් එක්කමය. මා දන්නා විදිහට ඇය ගායිකාවක් වන්නේ පුංචිම පුංචි දැරියකව සිටි කාලයේ පටන්ය. ඇගේ පියා ධර්ම ශ්‍රී වික්‍රමසිංහ ගුවන් විදුලියේ ප්‍රවීණ නිවේදකයෙකි. එසේ හෙයින් උරේෂාට ගුවන් විදුලිය තවත් ගෙදරක් වන්නට ඇත.
●ඔයා ගුවන් විදුලියට යන්න ඇත්තේ තාත්තගේ අතේ එල්ලිලා වෙන්න ඇති.
මා ඇසුවේ ඇගෙන් ඔව් යන කෙටි පිළිතුර අපේක්ෂාවෙනි.
‘‘නැහැ මං ගියේ සුජාතා ඇන්ටි එක්ක.’’
උරේෂා කීවාය.
සුජාතා ඇන්ටි?
මසිත කුහුලෙනි.
‘‘ඔව්. සුජාතා අත්තනායක ඇන්ටි. ඒ කාලේ අපි හිටියෙ නුගේගොඩ ගම්සභා පාරේ ගෙදර ඇනෙක්සියේ. සුජාතා ඇන්ටි සංගීත පංතියක් කළා.’’ මමත් ඒ පංතියේ ශිෂ්‍යාවක්. මං ගියේ මෙලෝඩිකා වාදනය කරන්න. ඒත් සුජාතා ඇන්ටි මගේ ගායන හැකියාව හඳුනගෙන මාව ළමා මණ්ඩපයට එක්කගෙන ගියා... ඒ නිසා ගුවන් විදුලියට මං යනකොට මගේ වයස අවුරුදු හතයි. ඒ කාලේ මං ගායනා කළේ පුංචි පුංචි ළමා ගී..
ඔය කාලේදීම මට ශක්තිය ඔබයි අම්මේ කියන චිත්‍රපටියට ගී පද හතරක් කියන්නත් අවස්ථාව ලැබුණා. ඒ ටෝනි හසන්, සුජාතා ඇන්ටි කියපු යුග ගීතයක්. ඒ ගීතයේ පේලි හතරක් තමයි මට කියන්න ලැබුණේ හැබැයි ඒ පේලි හතර මං ගායනා කළේ පිරිමි ළමයෙක් වෙනුවෙන්.
● පිරිමි ළමයෙක් වෙනුවෙන්? මම සිනාසිසී ඇසීමි. ඒ කියන්නේ පුංචි කාලේ ඔයාගේ කටහඬ පිරිමි ළමයෙක්ගේ වගේ?
නෑ..නෑ.. ඒකේ අනිත් පැත්ත. පුංචි පිරිමි ළමයින්ගෙයි ගෑනු ළමයින්ගෙයි හඬවල් වල මහ ලොකු වෙනසක් නැහැ.
උරේෂා හඬ නගා හිනැහුණාය.
උරේෂා ඔය දවස් වලම තවත් චිත්‍රපටවලද ගී ගැයූ ළමා ගායිකාවකි. ඉන්ස්පෙක්ටර් ගීතා, සළඹක් හඬයි, පුතුනි මට වාසනා ආදිය ඒ අතර විය. හැබැයි මල්සර දෝනි චිත්‍රපටයේ ඇය ගී ගායනා කළේ රංගනයේද යෙදෙමිනි.
ගොඩක් ජනප්‍රිය වුණේ ඔය මල්සර දෝනි චිත්‍රපටයේ ගීතය. උරේෂා කීවාය.
මට යාම්තමට වගේ මතකයක් තියෙනවා උරේෂා ඔයා ඔය පුංචි කලේදීම කැසට් එකකටත් සිංදු කිව්වා වගේ....
එක්වරම අවදි වූ මතකයක් හේතුවෙන් මම ඇසුවෙමි.
ඔව්නේ. ඒ කැසට් එක නිෂ්පාදනය කළේ මගේ අම්මා චන්ද්‍රා නේ. ඒකේ නම සුරතල් නංගියේ අපේ අම්මා. ඔය කැසට් එකේ මා එක්ක මල්ලිත් සිංදු කිව්වනේ... ඊට පස්සේ ප්‍රේම් කහානි කියලා හින්දි ගීත කැසට් එකකත් මං සිංදු කිව්වනෙ. ඒ කලෙත් හිංදු සිංදු කියන්න මං හපනි. මේ හින්දි සිංදු ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වුණු නිසා ඒ කාලෙත් මං ජනප්‍රියයි.
ඊට පස්සේ කසුන් තාරකා කියලත් කැසට් පටයක් ආවනෙ. ඒක නිර්මාණය කළේ තාත්තා. කුලරත්න ආරියවංශ, හේමසිරි හල්පිට වගේ අංකල්ල තමයි ඒ කැසට් එකට සිංදු ලිව්වේ. පංතියේ තැනක පාලුවේ පායා කසුන් තාරකා වගේ සිංදු හුඟාක් ජනප්‍රිය වුණා.
● උරේෂා ප්‍රසංග වේදිකාවට පා තබන්නේද ඔය පුංචි සන්දියේදීමය. ඇය හා හා පුරා ගිය සංගීත ප්‍රසංගයේදී ඇය වේදිකාව මතට ඔසවා තබන්නේද ඇගේ තාත්තා බව මා ආසා තිබේ.
ඔව්නේ.
ඒ මතකය අවදි කළ විට උරේෂා සිනාසෙමින් කීවාය. ඒ මීගමුවෙ ෂෝ එකක්.
● මතකද කියපු සිංදු එහෙම?
හින්දි සිංදුනේ අයියේ ඒ කාලේ. මගේ හින්දි සිංදු අහන්න තමයි මිනිස්සු කැමැති.
● එදා කීයක් විතර හම්බුණාද?
ගණන නම් දන්නෙ තාත්තා. කොහොම හරි ඒ සිංදු සල්ලි බැංකු පොතක් හදලා ඒකට තමා දැම්මේ.
ආඩම්බර ඇති.
පුංචි කාලෙනෙ ඉතිං.
ඒ කියන්නේ දැන් ආඩම්බර නැහැ.
මම උරේෂා ගේ මුහුණ බලමි.
මං ආඩම්බර නැහැ කියලා ඔයාලත් දන්නවනෙ ඉතිං. උරේෂා හිනැහුණාය.
සැබැවි! ඇය ආඩම්බරකාරියක නොවේ. ඕනෑම දුරකථන ඇමතුමකට ඇය පිළිතුරු දෙන්නේ නිහතමානී නිකැලැල් සිනාවද ඇතිවමය. හමුවූ කිසිදවසක ඇය බොරුවට ඔලුව උදුම්මා ගත්තේද නැත.
ඒක නෙමේ උරේෂා ඔයා මේ වෙද්දී චිත්‍රපට කීයක විතර පසුබිම් ගී ගයා තියෙනවද?
මා ඇසුවේ මෑත යුගයේ බිහිවූ සිනමාවටම උචිත කටහඬ ඇත්තේ උරේෂාට යැයි බොහෝ දෙනා පවසන බැවිනි. අතීතයේ සුජාතා, ඇන්ජලින්, ලතා වැඩියෙන්ම චිත්‍රපට පසුබිම් ගී ගැයූ ගායිකාවන්ය. මෑත යුගයේ ඒ ස්වර්ණමය අවස්ථාවේ හිමිකාරිය උරේෂා බැව් සංගීත අධ්‍යක්ෂවරු වැඩි දෙනෙකුගේ පිළිගැනීමය.
එකසිය දහඅටක් විතර......
උරේෂා අර ලෙංගතු හිනාවෙන්ම පිළිතුරු දෙයි.
මහ ගොඩක් නැහැනෙ?
මා කීවේ විහිලුවටය.
අපොයි ඔව් චුට්ටයි.
ඇයද සිනාව අලුත් කර ගත්තාය.
ඔයා වැඩියෙන්ම ගී හඬ දීලා කියන්නේ කාටද?
සංගීතා වීරරත්න, සබීතා පෙරේරා, අනර්කලී ආකර්ෂා, පූජා උමාශංකර් විශේෂයෙන්ම ඉන්දියානු නිළියන්ටත් ගැලපෙන්නෙ මගේ හඬලු.
ඒ වුණාට උරේෂා හුඟක් සංගීත අධ්‍යක්ෂවරු කියන්නේ ඔයාගෙ හඬ ඕනෑම නිළියකට ගැලපෙනවා කියලා.
මා කීවේ බොරුවට නොවේ.
ඇත්තද? ඒක නම් මං දන්නේ නෑ. උරේෂා චිත්‍රපට පසුබිම් ගී ගායනය වෙනුවෙන් සම්මාන මහ ගොඩක්ද ලබාගත්තාය. ඒ සම්මාන අතරේ ජනාධිපති සම්මාන, ඕ.සී.අයි.සී. සම්මාන, සරසවි සම්මාන ද වේ.
මම අංජලිකා චිත්‍රපටියට කියපු පායනා ඉර සිංදුවට ජනාධිපති, ඕ.සී.අයි.සී, සරසවි සම්මාන තුනම ලැබුණා උරේෂා අතීත මතක සිහිගැන්වීය.
පායනා ඉර පාන කාගේ
පීදෙනා මල් යාය කාගේ
හසරැලි මවෙත ගෙනා
ගායනා දසතේ ගලා ඒ
වෑහෙනා නදියේ රැඳී ඒ
නෙත දිලි කඳුළු දොවා
එතකොට ආසයි මං පියාඹන්න චිත්‍රපටියට කියපු සමනල් හැඟුමන් සිංදුවටත් සම්මාන ලැබුණා.
සමනල් හැඟුමන් අතරේ
නොඉඳුල් පැතුමන් ඉහිරේ
නල මුදු සුවඳේ - රොන් සුනු පැතිරේ
ලොවට හොරා මහද පුරා
නව හැඟුමන් පිබිදේ
ඒ හැරුණු විට තවත් චිත්‍රපට කිහිපයකටම ගැයූ ගී වෙනුවෙන් උරේෂාට සම්මාන ලැබිණි. ඒ අතර රෝස කැලේ චිත්‍රපටයේ වළාකුලක පාවෙන්නට සහ කුස පබා චිත්‍රපටයේ ජලධාරාවේ ගීතය ද වේ.
ජල ධාරාවේ නැවුම් මියුරු ගීතයකි.
මට ආසයි ජලධාරාවේ සිංදුවෙන් ටිකක් ඔයාගේ කට හඬින් අහන්න.
මම උරේෂාට යෝජනා කළෙමි.
අයියත් හරියට රූපවාහිනී වැඩ සටහනක ප්‍රසන්ටර් කෙනෙක් වගේනේ.
උරේෂා සරදමට සිනාසුනි..
ජල ධාරාවේ කිංකිණි රාවේ
හඬ මිහිරි මිහිරි මිහිරියි
රළ මාලාවේ මල් මේලාවේ
ලොව සොඳුරුයි සොඳුරුයි සොඳුරුයි
ඉනික්බිති ඇය ගැයුවාය.
ගයද්දී ඇගේ මුහුණේ මැවෙන අභිනයන් දෙස මා බලා සිටියේ ආශාවෙනි. රසිකයාට දැනේනට ගැයීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව උරේෂාගේ මුහුණේ මැවෙන අභිනයන් කියා පෑවේය.
● මේ දවස්වල ප්‍රසංග නැති එක නම් ලොකු අඩුපාඩුවක් නේද?
මම උරේෂාගේ අවධානය වෙනම තැනකට රැගෙන යමි.
අඩුවකටත් වඩා පාඩුවක්. ඔය ෂෝස් වල සිංදු කියලම ජීවත්වෙන අය කොච්චරක්ද?
උරේෂා කීවාය.
අපි ඔය ප්‍රසංග ගැනත් ටිකක් කතාකරමු. උරේෂා පුංචිම කාලේ මීගමුවේ ෂෝ එකේදි තාත්තා උස්සලා වේදිකාවෙන් තිබ්බ කිව්වා. ඊට පස්සේ කාලේ කව්ද ඔයා එක්ක තනි නොතනියට ගියේ.
තාත්තා තමා. බැන්දට පස්සෙ ගෙදර හිටියොත් රුචිර ආවා.
දැන් ඔයාට බොඩි ගාඩ් කෙනෙක් ඉන්නවලු නේද?
මම උරේෂාගේ මුහුණ බලමි.
බොඩිගාඩ් කෙනෙක්? අප්පච්චියේ නැහැ.
එතකොට නෙලූ ප්‍රනාන්දු කියන්නේ කව්ද?
උරේෂාගේ සිනාහඬ දෝරේ ගියේය.
නෙලූ ද? එයා මොන බොඩිගාඩ් කෙනෙක්ද? එයා මගෙ ගමන් සගයා විතරයි. ඇත්තටම දැන් මම මගේ තනියට එක්කගෙන යන්නේ නෙලූව තමා. එයා හොඳම හොඳ යාලුවෙක්.
නෙලූ ප්‍රනාන්දු යනු නව පරපුරේ ගීත රචිකාවකි. කරුණාරත්න දිවුල්ගනේ කොහේ හරි ඇති ප්‍රේමයක් ගීතය ලියා තවමත් ඒ ප්‍රේමය සොයන නෙලූ උරේෂාට ද ගීතයක් ලියා තිබේ.
මේ සිහිනය මේ සිහිනය
අතැර නොගන සසර ගමන මෙන්
යන මග දුර තනිවම නොයමි
ඔයා වැඩිපුරම ගී ගයන්න කැමති එළිමහන් ප්‍රසංගවලද ගෘහස්ථ ප්‍රසංග වලද?
වර්තමානයේ බොහෝ ශිල්පීන් එළිමහන් වේදිකාවට හෝ ගෘහස්ථ වේදිකාවට හෝ සීමා වී සිටිති. සුභාවිත ගී ගයන්නෝ ගෘහස්ථ ප්‍රසංග වලට සහභාගි වෙති. එහෙත් උරේෂා මේ ඕනෑම වේදිකාවකට ඔට්ටුය.
මට ඔය කෝකත් එකයි. වේදිකාවට ගැලපෙන විදිහට ගායනා කරන්න ගීත මහගොඩක් මට තියෙනවනෙ.
අපි හිතමු මෙහෙම, ගෘහස්ථ ප්‍රසංගයකදී ඔයාට වැඩිපුරම ඉල්ලීම් එන්නෙ මොන මොන ගීත ගයන්නද?
සමනල් හැඟුමන්, ජලධාරාවේ, දුටුවමුත් වගේ සුභාවිත ගී තමා.
එතකොට එළිමහන් ප්‍රසංගවල
ඒවයෙ කියන්න ඕන වේගරිද්ම ගීත. මේ ප්‍රසංග වලට එන්නේ නටන්න කැමති රසිකයො. ඉතින් එතකොට මං කියන්නෙ රෑ යාමේ මේ සාදේ, පෙමිනා මල් සිනා පා, සඳ සාවි, සිත් පුරා පෙම් වගේ ගී.
උරේෂට විදෙස් ප්‍රසංගත් මහ ගොඩක් තිබුණා නේද?
ඔව් අනේ. කොරෝනා එන්න කලින් පිටරට ප්‍රසංග පහක් විතර තිබුණා. ඒ ඔක්කොම කැන්සල් වුණානේ.
ප්‍රසංග වලට පිටරට ගියාම ලස්සන තැන් බලන්නත් යනවනෙ නේද?
මම අපේ කතා බහ වෙනස්ම තැනකට රැගෙන යමි. ඉර හැංගෙන හැන්දෑව විශේෂාංගයේ එක් අරමුණක් වෙන්නෙ සන්ධ්‍යාවේ චමත්කාරය සහ රට රටවල අලංකාරය ගැනද කතා කිරීම වන බැවිනි.
අපොයි ඔව්. ඉස්සරම ඔය විදෙස් චාරිකා යනකොට තාත්තයි අම්මයි දෙන්නත් යනවනෙ. මට මතකයි මම මුලින්ම ගියේ බහරේන් වලට. ඒ අවුරුදු විසිදෙකකට විතර කලින්. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට, කැනඩාව, සයිප්‍රස්, ඩුබායි, එක්සත් ජනපදය, ඉතාලිය, එංගලන්තය වගේ රටවල් මහ ගොඩකට ගිහින් තියෙනවා.
ඉතාලියට සයිප්‍රස් රටට මං කැමතියි. සයිප්‍රස් වල තියෙන්නෙ අපූරු දේශගුණයක්. මධ්‍යධරණී මුහුද බොහොම සන්සුන්.. ඉපැරණි නටබුන් ප්‍රදේශත් තියෙනවා. එහෙ පල්ලිත් හරි වෙනස්නෙ.
එතකොට කැනඩාවේ කඳුමුදුන්වලට හිම වැටිලා හරිම ලස්සනයි. ලෝකෙ කොයි රටෙත් වෙනස් තැන් ලස්සන තැන් තියෙනවනෙ ඉතින්. ඒ හැමතැනකටම මං කැමතියි.
හැන්දෑව අවසන් වන්නට කිට්ටුය. ඉර හැංගෙන්නට කලින් ගම් රටවල් බලා යන්නටද අවශ්‍යය. ඒ නිසා මේ හෝරාව රසවත් කළ උරේෂාගෙන් සමුගත යුතුව තිබේ.
එහෙත් ඊට කලින් මේ දවස් වල අලුතින්ම කළ නිර්මාණයක් ගැනද නොඇසුවහොත් මේ ලිපිය අසම්පූර්ණය.
සඳ නැති රෑ කියන ගීතය ළඟදීම රිලීස් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ හැර තව අලුත් ගීත ගණනාවක්ම ගායනා කළා. ගීත රචකයන්ගේ ඉල්ලීම් වලට...
උරේෂා දවසින් දවස අලුත් වෙයි. එය සතුටකි. කොයි තරම් ජනප්‍රිය ගී තිබුණත් අලුත් නිර්මාණයකට පණදීම ප්‍රවීණයන්ගේ වගකීමක්ද යුතුකමක්ද වෙයි.
එහෙනම් උරේෂා මං යනවා.
විසිත්ත කාමරයෙන් බොන්සායි මිදුලට බසිමින් මම කීවෙමි. කොහේදෝ සිටි ඇගේ පුංචි පුතා පැමිණ මට බායි කීවේ හුරතල් හඬිනි.
සඳ සාවි හැඬුවාට සඳ නෑ රැයේ
කළු පාට වැහි මීදුමේ
දේදුන්න වී පායන්නකෝ
හැමදාම සිත ගාව
ඔබෙ ආදරේ
උරේෂා ගේ මියුරු ගී හඬ මගේ මතකයේ දෝංකාර දෙමින් තිබිණි.
ශාන්ත කුමාර විතාන
