ක්‍රිෂාන්ත එරන්දකගේ හඬින් ගාමිණී අබේවික්‍රමගේ ගී පද

  • 24-02-2021
  • Views 964

වැඩිමහලු මුණුපුරා 
අකුරු කියවනු බලා 
අකුරු එක දෙක කියන අම්මා 
ජීවිතේ පසු නොබා 
ලොවෙහි පැසසුම් ලබා 
යන ගමන මට කියා දුන්නා 

හැලි වළං හා දැවටී 
දෑතේ දැලි කුණු කිළිටී 
ඒත් මා හැඩ ගන්වා 
තඹයකුදු අත නැතිද 
මට කවා රස විළඳ 
මුව පුරා සිනාසුනි අපෙ අම්මා 

බොරු වළක් කම් කොතැන 
මං මුලා වැල් මෙතැන 
ගෙන නොපෙනුනත් පාර පෙන්නා 
ගලක් සේ නොසැලෙන්න 
දොළක් සේ මුදු වෙන්න 
බතක් සේ මට කියාදුන් අම්මා 

පහළ කරගහමුණු පන්සලෙන් විසිරෙන පිරිත් ස්වරය පවනට මුසුවී විහිද යන හඬ ඇසිණි. ගාමිණී අබේවික්‍රම ජනෙල් පියන්පත විවර කළේ ඒ පිරිත් ස්වරයට වඩාත් හොඳින් සවන් දෙන්නටය.
ඔහුගේ නෙත් පැහැර ගත්තේ පන්සලට ඉහළින් පායා තිබූ සුපුන් සඳය. එදා පසළොස්වක පෝය දවසක් වූයෙන් කලා සොලසම පිරි සඳ වටකුරුවට පායා තිබිණි.
ඔහු දැහැනකට සම වැදූනාක් මෙන් සඳ දෙස බලා සිටියේය.
‘හඳත් පිරිත් අහනවා.’
බෝධීන් වහන්සේගේ ලාදළු බෝ පත් අතරට වී සිල් සමාදන් වූ සඳ දුටුවිට ඔහුට සිතුණේ එසේය.
‘අම්මත් සිල් සමාදන් වෙන්න ඇති.’ 
ඔහුට එක්වරම කියැවිණි. 
පසළොස්වක පෝයට සිල් සමාදන් වීම අම්මා කාලයක සිට කරගෙන එන්නකි. ඇතැම් පෝය දවසක ඔහු මාතර  ආරපොත ගමට ගිය දවසක හවසට පන්සලට යන්නේ සිල් සමාදන් වූ අම්මා  මහ ගෙදරට ඇරලවන්නටය. 
එවකට කොරෝනා වයිරසය ව්‍යාප්ත වෙමින් තිබූ බැවින් රට වසා දමා තිබිණි. ගාමිණීට අම්මා බලන්නට යන්නට බැරිවූයේ එනිසාය. අම්මා තමා ගමට එනතුරු මඟ බලා ඉන්නා බව ගාමිණී දැන සිටියේය. කොරෝනා වයිරසය ගැනවත් ඒ නිසා රටේ සංචරණ සීමා පනවා ඇති බවවත්  වියපත් ඇයට කල්පනා වන්නේ නැත. 
ඔහුගේ හිතේ අම්මාගේ රුව ඇඳිනි. එහෙත් දෙනෙත රැඳී තිබුණේ සඳෙහිමය. පුංචි පන්තිවලදී අම්මා ගැන රචනයක් ලියන්නට ගුරුතුමිය කී දවසක අම්මාගේ මුහුණ සඳට සමකළ හැටි ගාමිණීට මතක් විය. වසර ගණනාවකට කලින් ලියූ මව්ගුණ ගීතයක පද පෙළක්ද ඔහුගේ මතකයේ අවදි විය. චන්ද්‍රකුමාර කඳනආරච්චි ගැයූ ඒ ගීතයේ පද එකින් එක මුමුණන්නට වූයේ නිරායාසයෙන්මය.

ගිලන් හදට පවන් සලන
සහන් සිහිල අම්මා 
ගමන් මගදි ගිමන් නිවන 
සඳුන් සෙවණ අම්මා 
නිවන් මගට පහන් සිතින 
වඩින්නෙ අපෙ අම්මා 
බුදුන් වඳින බැතින් පිරුණු 
සිතින් වඳිමි අම්මා 

ඊළඟ මොහොතේ ඔහු දුරකතනය අතට ගත්තේය. ඉන් නැගණියගේ අංකය සොයාගත් ඔහු ඇමතුමක් ගත්තේය. 
‘නංගි අම්මා අද සිල් ගත්තද?’ ඔහු ඇසුවේය. 
‘ලොකු අයියෙ අම්මා පන්සල් නම් යැවුවෙ නෑ. හැබැයි ගෙදරදි සිල් සමාදන් වුණා.’
‘ඒක හොඳයි.’ 
‘බයයිනෙ අයියෙ වසංගතේ ගැන.’  
‘ඒක තමා. කෝ දැන් අම්මා?’ 
‘ඉන්නවා දෙන්නද?’ 
‘දෙන්නකෝ.’
‘අම්මා...’
ගාමිණී අම්මාට කතා කළේය. එහෙත් වියපත් ඇගේ කන් ඇහීම දැන් පෙරට වඩා අඩුය. එනිසා ගාමිණීගේ හඬ ඇයට හරිහැටි ඇසුණේ නැත. 
‘අම්මේ ලොකු අයියා.’ 
නංගී කියනු ගාමිණීට ඇසිණි. 
‘ලොකු පුතා කවදද එන්නෙ?’ 
එවිට අම්මා ඇසුවේය. 
‘එන්න පුළුවන් වුණු හැටියෙම එනවා අම්මා.’ 
‘හෙට?’
‘ලබන සතියෙවත් එන්න පුළුවන් වුණොත් එන්නම් අම්මා.’
ගාමිණී එසේ කීවත් රට අරින තෙක් මාතරට යෑම බොරුය. එහෙත් ඒ වග අම්මාට තේරුම් කිරීම අපහසුය. 
ගාමිණීගේ මුවට සුසුමක් නැගිණි. පිරිත් හඬ තාමත් ඇසේ. සඳ තාමත් පන්සලට ඉහළිනි. ගාමිණීගේ සිත එතැනත් දුර බැහැරවූ ගමේ පන්සලේත් සැරිසරමින් තිබිණි. 
අතීතයේ දිනවල ගමේ ගුරුපාර දිගේ පන්සලට ඇවිද ගිය මග, අම්මා සමග මල් පූජා කළ මතකය, අරලිය ගස්වලට නැග මල් කැඩූ මතකය හිතේ අලුත් විය. 
දෝතක් මල් ගෙන බුදුන් වඳින අම්මාගේ රුව, පැන් කලයක් ගෙන බෝධිය නාවන අම්මාගේ රුව, දරුවන්ගේ හිස් සිඹ සෙනෙහස දක්වන අම්මාගේ රුව ඔහුගේ හිතේ ඇඳිණි. 
දුරකතනය නාද වූයේ ඒ අතරතුරය. 
‘කව්ද?’ 
ඔහු දුරකතනය අතට ගත්තේ ඔහුගෙන්ම විමසමිනි. 
බණ්ඩාර ඇහැලියගොඩගේ නම දුරකතන මුහුණේ සටහන්ව තිබිණි. 
‘හලෝ...’
‘වට්ස්ඇප් බලපංකො. සිංදුවක් ඇති. ඒක බලලා කෝල් එකක් දීපං.’ 
බණ්ඩාර කී විට ගාමිණී වට්ස්ඇප් බැලුවේය. 
බණ්ඩාර ලියා තිබුණේ මව්ගුණ ගීතයකි. 
එය කියවූ ගාමිණී බණ්ඩාරට ඇමතුමත් ගත්තේය. 
‘බණ්ඩාරට කියන්න මම මේ හිත හිතා හිටියෙ අම්මා ගැන. සති තුනකින් ගමේ ගියේ නෑ. අම්මා බලාගෙන ඉන්නෙ මං එනතුරු. දැන් කතා කළා. හෙට එනවද කියලා ඇහුවා. ඒ අස්සෙ ඔයා ලියපු සිංදුව දැකපුවාම මගේ ඇස්වලට කඳුළු පිරුණ. බණ්ඩාර, ඒ සිංදුව ලස්සනට එයි...’
‘අඩුවක් මුකුත් දැනුණෙ නැහැනේ.’ 
‘මොන අඩුවක්ද? ලස්සනට ඒවි.’ 
බණ්ඩාරගෙන් සමුගත් ගාමිණීට දැන් බණ්ඩාරගේ පද වැල ද වද දෙයි. අම්මාවරු පුතුන් වෙත පෑ සෙනෙහසේ මහිමය ගැන සිතද්දී ඔහුට මතක් වූයේ මුහුණුපොතේ සටහන්ව තිබූ කතාවකි. 
එය මවක් හා පුතෙක් අතර සංවාදයකි. 
‘කවද හරි දවසක මගෙ ඇස් පෙනීම නතර වුණොත් මගෙ පුතා මොකද කරන්නේ.’
අම්මා පුතාගෙන් ඇසුවාය. 
‘එහෙම වුණොත් මම ලෝකෙ ඉන්න හොඳම දොස්තර ගාවට අම්මව එක්කගෙන යනවා. ගිහිල්ලා බේත් අරගෙන අම්මගෙ ඇස් දෙක සනීප කරනවා.’ 
පුංචි පුතා අම්මාගේ කම්මුලක තම කම්මුල තබාගෙන කීවේය. 
‘මගෙ හොඳ පුතා.’ 
අම්මා කීවේ පුතුගේ හිස සිප ගනිමිනි. 
‘හොඳයි අම්මා කියන්න මගේ ඇස් පෙනීම නැවතුනොත් අම්මා මොකද කරන්නේ.’
පුතා ඇසුවේය. 
‘මට නම් ලෝකෙ ඉන්න හොඳම දොස්තර හොයාගන්න බැරිවේවි. ඒ නිසා මං කරන්නේ මොකක්ද දන්නවද? මගේ පුතාගෙ ඇස් දෙක වෙනුවට මගෙ ඇස් දෙක පුතාට දෙනවා.’ 
අම්මලාගේ ආදරේ ඒ වගේ. 
ගාමිණී තමන්ටම කියා ගත්තේය. ඒ සමගම ඔහුගේ හිත ද හැඟුම්බර විය. අම්මා වෙනුවෙන් ආදරණීයම පද පෙලක් හිතේ උපනි. වහා කාමරයට ගිය ඔහු හිතේ උපදින ඒ වචන ලියන්නට පටන් ගත්තේය. 
ගාමිණී අබේවික්‍රම යනු දඩිබිඩි ලියන්නෙක් නොවේ. නවකතාවක් ලිව්වත් ඒ වෙනුවෙන් වසර දෙකක්වත් කල් ගනී. කවි ලියන්නේද ඉඳහිටය. එනිසා මේ ගීතය ගැන ඔහුටම පුදුම සිතිණි. 
පළමුව බිරිඳ පුෂ්පාට පෙන්වූ ගීතය ඊළඟට කියෙව්වේ බණ්ඩාරටය. 
‘සිංදුවකට හොඳයිද?’
අනතුරුව ඔහු ඇසුවේය. 
‘එවපංකො බලන්න.’ 
එවර ගාමිණී ඒ පදවැල වට්ස්ඇප් කළේය.
කාලය ගෙවුණේ මසකින් පමණි.
එක් රාත්‍රියක බණ්ඩාරා ගාමිණී ඇමතුවේය. 
‘අන්න උඹේ සිංදුව එව්වා. අහල බලපං.’ 
‘මගෙ සිංදුව. කව්ද කළේ?’ 
‘ඒ කතා වැඩක් නැහැනේ. අහපංකො.’ 
ගාමිණී ගීතය ඇසුවේය. ඔහුටම සවන් අදහාගත නොහැකි විය. 
’බණ්ඩාර මරුනෙ ඒක.‘ 
ගාමිණි කීවේය. 
’ක්‍රිෂාන්ත එරන්දක නේද කියන්නෙ. කාගෙද මියුසික්?‘
’දර්ශන වික්‍රමතුංගගෙ.‘
’මම මේ සිංදුවත් අරන් හෙටම ගමේ යනවා. අම්මාට අහන්න දෙනවා.‘ 
ගාමිණී තමන්ටම කියා ගත්තේය. දැන් මේ ගීතය මුළු රටේම මව්වරුන්ට පුතුන්ගේ ආදරය දනවන්නට ගැයෙන සෙත් කවක් වැන්න. 

ශාන්ත කුමාර විතාන

20210223Song-1