ජෝන් ද සිල්වා සහ ජෝන් බාස්ලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජෝන් ද සිල්වා රඟහලට ස්වීප් එක ඇදෙන්න යනවා කියලා ඔන්න නාට්‍යකාරයෝ කලබල වෙලා. යහපාලන ආණ්ඩුව ජෝන්ද සිල්වා රඟහලේ නවීකරණ වැඩ කෙළෙවරක් කරගන්න බැරි නිසා ඒක පුද්ගලික අංශයට දෙන්න යනවා කියලා තමයි ආරංචි.

මේ ගැන පසුගිය දවසෙ නාට්‍යකරුවො කීපදෙනෙක් එකතුවෙලා සාකච්ඡා කළා. පරාක්‍රම නිරිඇල්ල ඇතුළු කට්ටිය තමයි මේ හමුවීම කැඳවලා තිබුණේ. අනේ කියන්න කණගාටුයි සියතට දෙසීයකට වැඩේට එන්න කියලා දැනුම්දීලා තිබුණත් විසිපහකට තිහකට වැඩිය නම් කට්ටිය හිටියෙ නෑ.

ඒ ඉඳපු අයත් නාට්‍යකාරයෝම නෙවෙයි. මීට කලිනුත් නාට්‍යකරුවෝ එකතුවෙන වැඩක් සංවිධානය වුණා. ඒකත් දන්නෙම නැතුව ගිලාබහින අයිස්බර්ග් එකක් වගේ නොපෙනී ගියා කියලා තමයි වැඩේ ඉඳපු එම්. සෆීර් නාට්‍යකරුවා කිව්වේ. අපේ කලාකරුවෝ කිසිම වැඩකට එකතු කරගන්න එකනම් ලාහට ගෙම්බෝ එකතු කරගන්නවාටත් වඩා ගොඩක් අමාරු වැඩක්. ඒ තරම් සාමූහික හැඟීමක් තමයි අපේ කලාකරුවො අතරෙ තියෙන්නේ.

පසුගිය කාලය පුරාම ආණ්ඩුවක් බලයට පත්වෙනකොට කලාකාරයො පිරිසක් ඒකට කර තියනවා. ඒ පිරිස මැතිවරණ වලදී තමන් සහාය දෙන දේශපාලන පක්ෂයට ඉල්ලීම්, යෝජනා කප්පරක් ඉදිරිපත් කරනවා. දේශපාලකයොත් ඒ වෙලාවට ඒවා හිස්මුදුනින් පිළිඅරගෙන අත්සන් කරලා ගිවිසුම්ගත වෙනවා. ....කාරයොත් හිතන්නේ ආණ්ඩුව පත්වුණු ගමන් ආණ්ඩුව හැම ප්‍රශ්නෙටම කලින් කලාකරුවන්ගේ ඉල්ලීම් ටික, පොරොන්දු ටික ඉටුකරාවි කියලා. මෙතෙක් බලයට පත්වුණු හැම ආණ්ඩුවක්ම වගේ කළේ තමන්ව බලයට පත්කරන්න දරදිය ඇදපු කලාකාරයින්ව බලයට පත්වුණු ගමන් රම්පේ කරපිංචා වගේ පැත්තකට තල්ලු කරන එක. යහපාලන ආණ්ඩුවත් මේ පුරුද්දෙන් පිට පැනලා නැ කියලා ආණ්ඩුව කරන කියන වැඩවලින් පේනවා.

20160830Sara-1පසුගිය අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උලෙළවෙලාවේ කලාකරුවො ආණ්ඩුවට රිදෙන්න සාමකාමී විරෝධතාවක් පළකළා. ඒකෙන් ආණ්ඩුව පාඩමක් ඉගෙන ගන්නෙවත් කලාකරුවො අත්‍යවශ්‍ය කොටසක් කියලවත් ගණන් ගත්තේ නෑ. තම තමන්ගේ සියළු සැප සඳහා ඇති තරම් මුදල් වෙන් කරගන්න ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව කලාකාරියින්ට කොකා පෙන්නනවා දැන්. එයාලගේ සැප වාහනවලට කෝටි ගණන් මුදල් වෙන්කර ගන්න ආණ්ඩුව ජෝන්ද සිල්වා රඟහලේ ඉතුරුවෙලා තියෙන නවීකරණ වැඩ ටික කරන්න සල්ලි නෑ කියලා, ඒ පුද්ගලික අංශයට බාරදෙන්න යනවා. මේක අලුත් කරලා පුද්ගලික අංශයට දෙනවා කියන්නේ අපේ එදාවේල ටුවර්ස් නාට්‍යකලාව පැදුරෙනුත් බිමට වැටෙන එක.

නාට්‍යකරුවන්ට යන්තම් නාට්‍යයක් පෙන්නගන්න තිබුණු නාට්‍යකලාව ගොඩක් අද නාට්‍ය කරුවන්ට අහිමි වෙලා. ඒ වෙනුවට නවීන නාට්‍ය ශාලා පිළිබඳව යෝජනා නම් ගොඩක් එහෙට මෙහෙට පාවෙනවා.

ඒත් ඒවා යථාර්තයක් වෙන්නේ කවද්ද කියලා දෙයියොත් දන්නේ නෑ. අපිට පේන විදිහට මේ ආණ්ඩුවට කලාව හෝ කලාකරුවෝ ගැන ඒ හැටි ඕනකමක් නෑ. කලාකරුවෝ තමයි තමන්ගේ ඕනකමට යහපාලන ආණෟඩුව ගේන්න කරගැහුවේ. යහපාලන ආණ්ඩුව කලාව සංස්කෘතිය පිළිබඳව හිතන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න පත් කරපු සංස්කෘතික ඇමති සහ නියෝජ්‍ය ඇමති දිහා බැලුවත් ඇති. ඒකෙන් හොඳට පැහැදිලි වෙනවා මේ ආන්ඩුව කලාව සංස්කෘතියට දීලා තියෙන තැන. ඉතින් මේ වගේ ජෝන්බාස්ලා එන්න මොන කලාවක සංස්කෘතියක්ද. මේ ජෝන්බාස්ලට ජෝන්ද සිල්වා එක ගැන හැඟීමක් නැති එක පුදුම වෙන්න දෙයක් නෑ. කලාවට සහ කලාකරුවන්ට හොඳම එකෙන් කෙලවපු පසුගිය රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවලා යහපාලන ආණ්ඩුව ගෙනාවේ ඊට වඩා පොඩි හරි හොඳක් වෙයි කියලා හිතලා. ඒත් මේ ආණ්ඩුවත් ආනන්ද කුමාරස්වාමිගේ බෝඩ් ලෑල්ලක් ගලෝදාපු රජපක්ෂ ආණ්ඩුව ගියපු ට්‍රැක් එකේම වගේ යන්නේ.

මේ ආණ්ඩුව සිනමාව, නාට්‍ය කලාව, ටෙලිනාට්‍ය කලාව වගේ ඒවා ගොඩ දානවා කියලා කලාකරුවන් තාමත් හිතනවා. ඒ බලාපොරොත්තු සුන්නදූලි කරලා දාන්න මෙස් ආණෟඩුවට බැ. මොකද මීට කලින් පත්වුණු ආණ්ඩුවලටත් වඩා යහපාලන ආණ්ඩුව ප්‍රගතශීලී පොරොන්දු සහ බලාපොරොත්තු රාශියක් රටට දුන්නා. මිනිසුන්ගේ ඒ බලාපොරොත්තු හැරෙන තැපෑලෙන්ම නන්නත්තාර වුණොත් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැව්වට වඩා කුජීත විදිහට මේ ආණ්ඩුවත් ගෙදර යවන්න බැරි නෑ. මේ ආණ්ඩුවේ ලොක්කෝ තමන් දීපු ප්‍රගතිශීලී පොරොන්දු අමතකකරලා ඒ වෙනුවෙන් තම තමන්ගේ සැප ගැන විතරක් හිතනවානම් මේ ආණ්ඩුවේ අය ගැන කියන්න වෙන්නේ 'බල්ලොත් එක්ක බෑ' කියලා තමයි.

ප්‍රියන්ත කොඩිප්පිලි