පිස්සු පීකුදු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-06-01-ent-011පසුගිය දවසක රංගන ශිල්පී නිරෝෂන් විජේසිංහගේ කවිපොතක් පිටවුණා. නළුවෙක් කවි ගැන උනන්දු වෙනවා කියන එක මේ කාලේ ඇත්තටම පුදුමයට කරුණක්. විශේෂයෙන්ම ටෙලිනාට්‍ය නළුවෝ තොග ගාණට බඩමාලු මෙගා ටෙලිම බෙදාගන්න දඟලන හැටි දැක්කාම කවි ලියන්න තියා ශාරීරික වුවමනාවක්වත් හරි හැටි කරගන්න මෙයාලට වෙලාවක් තිබෙනවද කියලා සැකයි.

කොහොම වුණත් නිරෝෂන් විජේසිංහ කවි පොතක් ලියා පළ කිරීම අගය කරන්න ඕනෑ. නිරෝෂන්ලගේ පරම්පරාවේ නළු නිළියෝ කවි ලියනවා වගේ වැඩ නිසා රඟපාන එකවත් හරියට කරන්න උනන්දු වෙන්නේ නැති තත්ත්වයක් උඩ අද ඉන්න නළු නිළියෝ ගැන කතා කරන්න ගියාම කතාව කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ. මොකද අද අපේ රටේ ඉන්නේ මාර නළු නිළියෝ සෙට් එකක්නෙ. මේ අය ගැන කොලම් එකක් නෙවෙයි අරාබි නිසොල්ලාසය වගේ එකක් ලියන්න වුණත් පුළුවන්. ඒ තරමට අපේ නළු නිළියෝ ගැන ලියන්න දේවල් තියෙනවා. ඒ ලොකු කතා අතඇරලා පුංචි පුංචි දේවල් ටිකක් ලියන්නයි මේ හදන්නේ.

නිරෝෂන් කාලයක් තිස්සේ කවි ගැන උනන්දුවෙන් හිටපු කෙනෙක්. එහෙම උනන්දුවෙන් ඉඳලා සැරින් සැරේ ලියපු කවි ටිකක් එකතු කරලා තමයි මේ කවිපොත අච්චු ගහලා තියෙන්නේ.

නිරෝෂන්ගේ පොත එළිදක්වන දවසේ පුංචි අදහසක් දක්වන්න අවස්ථාවක් ලැබුණා. ඒකට හේතුව නිරෝෂන්ගේ කවියක් පළවෙනි වතාවට පත්තර කවිපිටුවක පළ කළේ මම නිසා වෙන්න ඇති. මම "ඉරුදින" පත්තරේ වැඩ කරන කාලේ කරපු කවි පිටුවට කීපවිටක්ම නිරෝෂන් කවි එව්වා. ඒකෙන් නිරෝෂන් කවි ලියන්න උනන්දු වුණා කියලා මිනිහම කියනවා. එක ටෙලිනාට්‍ය නළුවෙක් හරි කවියෙක් කරන්න පොඩි තල්ලුවක් දෙන්න පුළුවන් වීම ගැන සතුටු වෙන්න පුළුවන්.

2016-07-28-ent-62නිරෝෂන්ගේ පොතේ වැඩේදී මම කියන්න ඕන කියලා හිතපු දේවල් කීපයක්ම ඒ වෙලාවේ කිව්වේ නෑ. මොකද ඒ වෙලාවේ මම කියන්න ඉඳපු දේ අහන්නට ඕනේ නළු නිළියෝ ගොඩක් දෙනෙක් කලින්ම නැගිටලා ගිහින් ඉඳපු නිසා. ඒ කතා අහන්න ඕනෙ නළු නිළියෝ ටික හිටියා නම් කියන්න තිබුණා.

කොහොම නමුත් නිරෝෂන් කවියෙක් වීම ගැන මගේ සංතෝෂය විතරක් මම පළ කළා. මේ වැඩේ ප්‍රධාන දේශන කළේ ගීත රචක ලූෂන් බුලත්සිංහලයි, රත්න ශ්‍රී විජේසිංහයි දෙන්නා. නිරෝෂන්ගේ කවිපොතේ පෙරවදන ලියලා තියෙන්නෙත් ලූෂන් බුලත්සිංහල. ලූෂන්ගේ කතාවේදී රටේ පිරිහීම ගැනයි රූපවාහිනියේ පිරිහීම ගැනයි ළමා පරපුරේ රසඥතාවය ගැනයි වගේ කතා ගොඩක් කිව්වා.

ඊට පස්සේ කතා කරපු ඉඳුරාගාරේ සාදු සිංදු කියන්න පුළුවන් අය මහණ වෙලා ඉන්නවා කියලා කතාවක් කිව්වා. ඒ කිව්වේ ඒ සාදු ගැනමයි. ඒකට ඕඩියන්ස් එකේ ඉඳපු ගොඩක් අය හිනාවුණා. ඒ අය ඇත්තටම මොකට හිනාවුණාද කියලා මට නම් තේරුණේ නෑ. මම මගේ අදහස කියලා ඉවර කළේ මෙගාටෙලි නාට්‍ය නළුවෙක් වෙච්ච නිරෝෂන් විජේසිංහ කවියෙක් වෙද්දී දක්ෂ ගීත රචකයෙක් වුණු ලූෂන් බුලත්සිංහල අද මෙගා ටෙලි නළුවෙක් වෙලා. හැබැයි ඒකට නම් මෙතන ඉන්න කවුරුත් හිනාවෙන්න එපා කියලා මම ඒ කිව්වේ මට ඒ මොහොතේ ඇති වුණු ක්ෂණික අදහසක්. ඒකෙන් ලුෂන් බුලත්සිංහල අප්සට් වුණාද දන්නේ නෑ. ඒත් කරන්න දෙයක් නෑ. ඇත්ත කතාව ඒකනේ.

රූපවාහිනිය ලංකාවට හඳුන්වාදීපු කාලේ රූපවාහිනී ශිල්පියෙක් වෙච්ච ලූෂන්, අපේ රටේ රූපවාහිනී කලාවේ පුරෝගාමියෙක් නෙ. එහෙව් ලූෂන් ඊට අවුරුදු තිහ හතළිහකට පස්සේ මෙලෝ රහක් නැති කුජීත මෙගා ටෙලිවල පෙනී ඉන්න එක කොයිතරම් අප්සට්ද? ඒක එයාගේ අවුලක් මිසක්, අපේ අවුලක් නෙවෙයිනෙ. සල්ලි ඕනේකමට ඔය වැඩේ කරනවානම් ඊට වඩා ටිකක් වැදගත් දෙයක් කරලා සල්ලි හෙව්වා නම් ඒක ලූෂන්ට ගැළපෙනවා. මොකද ලූෂන් මෙගා නළුවෙක් වෙලා අපේ සාලෙට එද්දී අග්‍රගණ්‍ය ගීත ලියපු මිනිහට මොකද මේ වුණේ කියලා අපට කම්පාවක් ඇති වෙනවා. මොකද ලූෂන් ගීත රචකයෙක් විදියට අපිට සෑහෙන්න දැනිච්ච කෙනෙක්. ඒ නිසාම ලූෂන් මෙගා නළුවෙක් විදියට දකින්න කැමති නෑ. නළුවෙක් විදියට වුණත් ඊට උඩ රෑන්ක් එකක තමයි ලූෂන් ඉන්න ඕනේ. මොකද ලූෂන්ගේ දක්ෂ රඟපෑම් අපි මීට කලින් දැකලා තියෙනවා. ලූෂන් අපි මේ කියපු දේ තේරුම් ගනීවි කියලා අපි හිතනවා. නැත්නම් එයාලා දේශන තියලා රටේ කලාව පිරිහිලා රූපවාහිනිය පිරිහිලා, රසවින්දනය පිරිහිලා කියලා, කිව්වට වැඩක් නෑ බාල මෙගා නළුවෙක් විදිහට ඉඳගෙන. රටේ කලාව ගැන ලොකු ටෝක් දෙන්න රෙද්දක් ඇඳගෙන නම් මේ අයට බෑ.

කවිපොතක් ලියපු නිරෝෂන්ගේ උත්සාහය මේ මොහොතේ සාධනීය දෙයක් විදියට අගය කරන්න ඕනේ. නිරෝෂන්ගෙම වෘත්තීයේ ඉන්න අනෙක් නළු නිළියෝ මේ මොහොතේ කෙලින පිස්සු දිහා බලලා මෙගා ටෙලිවල රඟපාන්නේ නෑ කියලා තවුසන්ඩ් ටෝක් දෙන ගමන් ටොයිලට් හෝදන වෙළෙඳ දැන්වීම්වල පවා පෙනී ඉඳලා සල්ලි හොයන දිගින් දිගටම පුඤ්ඤසෝමගේ වර්ගයේ නළුවෙක් වේගෙන එන මහේන්ද්‍ර පෙරේරලාට වඩා නිරෝෂන්ලා තව හොඳයි.

අර "දොරමඬලාව" වගේ ප්‍රෝග්‍රෑම් වල බහුභූත දොඩවන ජයලාල් රෝහණලාට වඩා නිරෝෂන්ලා මේ වෙලාවේ ප්‍රගතිශීලීයි. මේවා කිව්වාම කට්ටියට ටිකක් රිදෙයි. ඒත් ඇත්ත ඒක තමයි.

කොහොම හරි ටෙලිනාට්‍යයකට ඔළුව දාන්න කෙල්ලෝ කොල්ලෝ හරිහමන් නළුවෙක් නිළියක් වෙන්න උත්සහ ගන්නවට වඩා දඟලන්නේ මොන විදියකින් හරි 'හිට්' වෙන්න. ෆීල්ඩ් එකේ හිට් වෙන්න මේ අය නොකරන මඟුලක් නෑ. ඉතින් මේ අයට වෙඩි තියනවා කිව්වත් පොතක්පතක් ගැන උනන්දු වෙන්නේ නෑ. නළුවෙක් නිළියෙක් වුණාට පස්සේ මේ අය ඊළඟට බැරිමරගාතේ සිංදු කියන්නේ, නටන්න, නිවේදන නිවේදිකාවෝ වෙන්න තමයි හදන්නෙ.

මේ කිසිම දෙයක් ගැන හරි හැදෑරීමක් නැතුව ප්‍රසිද්ධිය ප්‍රයෝජනයට අරගෙන මොනවා හෝ මඟුලක් කරලා පොරවල් වෙන්න තමයි කල්පනාව. අපේ නළු නිළියෝ තමන්ට කරන්න පුළුවන් මොනවද බැරි මොනවද කියලා අවබෝධයක් නැතුව පිස්සු කෙලින හැටි දකින්න ඕන නම් බලන්නකෝ ඔය දෙරණ නාලිකාවේ ස්ටාර් සිටි ප්‍රෝග්‍රෑම් එක. බැරිමරගාතේ ඔය දූලීකා මාරපන එහෙම තප්පදෝරු නැටුම් නටන කොට පුදුම සංතෝෂයක් තමයි හිතෙන්නේ. සිංදු කියන්න පුළුවන් නිරෝෂා විරාජිනිලා තමන්ට ඔළුවක් නෑ කියලා පෙන්නුවෙත් මේ ප්‍රෝග්‍රෑම් එකෙන්ම තමයි. ලොකු ලොකු දේශපාලන ටෝක් දීලා මාර පොරක් කියලා පෙන්නන් හදන මධුමාධව අරවින්දලා මේ ප්‍රෝග්‍රෑම් එකේ නටලා නටලා මඟදී කැපුණාම විනිශ්චය මණ්ඩලයට බැණ බැණ යන්නේ පොඩි කාලේ කලිසමේ කක්කා ගියපු ළමයි නාහෙන් අඬනවා වගේ. අයියෝ අපේ රටේ මහ ලොකු කලාකාරයන්ගේ හැටි.

මෙන්න මේ තත්ත්වය ඇතුලේ තමයි තමන්ගේ පාඩුවේ පොතක් පතක් කියවගෙන කවියක් ලියාගෙන ඉන්න නිරෝෂන් විජේසිංහලා ගැන පොඩි සතුටක් හිතෙන්නේ.

මොන තරම් කුජීත වැඩ කරන ගමන් වුණත් මේ කලාකරුවෝ පත්තරවලට ඉන්ටර්විව් එකක් දෙනකොට කලාව ගැන එහෙම දෙන දාර්ශනික ටෝක්නෙ බලන්න ඕනේ.

ඇරිස්ටෝටල්ලා, ප්ලේටෝලාවත් නොදන්න දාර්ශනික ටෝක් තමයි අපේ නළු නිළියෝ දෙන්නේ. මෙහෙව් කලාකරුවෝ පිරිසක් ඉන්න රටක ඉතින් මොන අඩුපාඩුවක්ද අප්පා.

 

ප්‍රියන්ත කොඩිප්පිලි