පොලිස් කෝලම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දවස්වල රටේ නැගලම යන මාතෘකාව තමයි පොලිස්පතිගෙ දුරකථන ඇමතුම. මේ ටෙලිෆෝන් කෝල් එක මෙච්චර දුරදිග යාවි කියලා පොලිස්පතිවත් හිතන්න නැතුව ඇති. ඒත් අද ඒක දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් වෙලා. පොලිස්පතිට කෝල් කරපු 'සර්'කවුද කියලා තමයි දැන් කවුරුත් හොයන්නේ.

මේ කියන්න යන්නේ පොලිස්පතිගෙ ඒ ආන්දෝලනාත්මක කෝල් එක ගැන නෙවෙයි. හැබැයි ඒ පොලිස්පතිගෙම වෙන කෝල් එකක් ගැන. පසුගිය දවසක මහවැලි කේන්ද්‍රයේ පැවැත්වූවා එඩ්වින් ආරියදාස මාධ්‍ය ප්‍රවීණයාට උපහාර උලෙළක්. එඩ්වින් ආරියදාසගේ 95 වැනි උපන්දිනේටයි මේ උපහාර උලෙළ පැවැත්වුවෙ. ඔහුගේ හිතවත් බොහෝදෙනෙක් මේ වැඩේට ඇවිත් හිටියා. මේ වැඩේ අතරමග එකපාරට පොලිස්පති පූජිත් ජයසුන්දර ආවා. ඇවිල්ලා ටික වේලාවකින් මෙයාට කෝල් එකක් ආවා. ඒකට උත්තර දීගෙනම හෝල් එකෙන් එළියට ගියපු පොලිස්පති ඒ කෝල් එක ඉවරකරලා ආපහු ඇවිත් වාඩි වුණා. ඊට පස්සේ ටික වේලාවකින් ආපහු මෙයාට කෝල් එකක් ආවා. ඒකට සභාව මැද්දෙම %හලෝ හලෝ^ කිය කිය උත්තර දුන්නා. හැබැයි ඒ එක්කම ආපහු එළියට ගියා. ටික වේලාවකින් එයා යන්නම ගියා. පස්සේ ආරංචි වුණා එයා එඩ්වින් ආරියදාසගේ වැඩේ වාඩිවෙලා ඉන්න එක එයා එක්ක ආපු කැමරාමන් කෙනෙක් වීඩියෝ කරගෙන ගියා කියලා. එයා එන්න කලින් ඒ උත්සවේට එන අයගෙ නම් ලැයිස්තුවක් කලින් ඉල්ලලා තිබුණා කියලා. අපි දන්නේ නෑ හරියටම එහෙම කළාද?. එහෙම කළානම් ඒ ඇයි කියලත්. හැබැයි ඒ සභාව මැද්දේ මහ හයියෙන් ටෙලිෆෝන් එකට ආන්සර් කරපු එකට නම් කාගෙත් කැමැත්තක් තිබුණු පාටක් නෑ. පොලිස්පති නෙවෙයි මොන ලොක්කා වුණත් ප්‍රසිද්ධ සභාවක ටෙලිෆෝන් එකට මහ හයියෙන් උත්තර දෙන එක සවුත්තුයි කියලා දැනගන්න ඕන. මේ සිදුවීම වුණේ පොලිස්පතිට අර ආන්දෝලනාත්මක කෝල් එක ආවට පස්සේ. මිනිහා ඒකෙන්වත් පාඩමක් ඉගෙන ගෙන නෑ. එයාට කෝල් ගන්න හරි, කෝල්වලට උත්තර දෙන්න හරි අවශ්‍ය නම් අනිත් අයට හිරිහැරයක් නොවෙන විදිහට කරන්න ඕන. නැත්නම් මේ වගේ වැඩවලට නෑවිත් ඉන්න ඕන. එයා පොලිස්පතිද වෙන කවුද කියලා අපට වැඩක් නෑ. මේ වගේ ප්‍රසිද්ධ තැන්වල හැසිරෙන්න දැනගන්න ඕන.

මේ වගේ ගොංපාට් සමහරු තමන්ගේ ලොකුකම පෙන්නන්නත් කරනවා. හැබැයි ඒකෙන් පේන්නේ ඒ අයගෙ ලොකුකම නෙවෙයි ගොංකම. පොදු තැනක අන් අයට කරදරයක් නොවන විදියට හැසිරෙන්න දන්නේ නැති අය කොහොමද රටේ ප්‍රශ්න විසඳන්නේ.

යහපාලන ආණ්ඩුව ආවම කවුරුත් හිතුවෙ මොකක් නැතත් රටේ නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය අවම වශයෙන් හෝ හොඳට වැඩකරයි කියලා. ඒත් දැන් එහෙම වෙන පාටකුත් නෑ. කලින් තිබුණු ආණ්ඩුව කාලේ හිටපු පොලිස්පතිලා කරපු කුජීත වැඩවලට ලොකු විරෝධයක් ආවා. රටේ මිනිස්සුන්ගෙන් දැනුත් එහෙම වෙන එක එච්චර හොඳ නෑ.

20160830Sara-1පොලිස්පති විදියට පූජිත් ජයසුන්දර පත්වුණාට පස්සේ මෑන් ගැන මාර මාර කතා ෆේස්බුක් එකේ එහෙම තිබුණා. පොලිස්පතිගෙ ඉස්කෝලෙ අය ඒ ගැන අඩම්බරවෙමින් එක එක ජාතියේ කතා දාලා තිබුණා. පූජිත් ජයසුන්දරට මාර කවිසිතක් තියෙන සංවේදී පුද්ගලයෙක් කියලත් සමහරු කියලා තිබුණා. දැන් ඒ කතා කියපු හාදයෝ කොහෙ ගිහින්ද හොයාගන්න බෑ. මේ පොලිස්පති වගේ මිනිසුන්ට සහතික දෙන්න ගියපු කට්ටිය හොයාගෙන දැන් මොකද කරන්නේ කියලා අහන්න ඕන.

මේ පොලිස්පතිගෙ පොලිස් කෝලම නිසා ආණ්ඩුවටත් ලොකු ලොකු විවේචන එනවා. මේ වගේ කීපදෙනෙක් තව හිටියොත් තව හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන්. පොලිස්පතිට කවුරුහරි බේරගන්න දුරකථන ඇමතුම් දුන්නා  කෙනා  කළෙත් යහපාලනයට ලොකු මඩ තලියක්. ඒ මඩපාර දැන් හොඳට වැඩ කරනවා. යහපාලනය යටතේ කවුරු හරි හොරු දූෂිතයෝ රකින්න උත්සාහ කරනවානම් ඒ අය යහපාලනයට ගැලපෙන්නේ නෑ. ඒ අය යහපාලනයට මුවාවෙලා ඩබල් ගේමක් වෙන්න ඇති ගහන්නේ. මේ වගේ ඩීල් කාරයෝ පසුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලේ වැහිවැහිලා හිටියා. ඒ අයගෙ කෙරුවාවල් වල හොඳ වැඩිකමට රාජපක්ෂ ආණ්ඩුව හැඳිගෑවිලා ගියා. යහපාලන ආණ්ඩුවෙත් ඒ ජාතියේ බඩු නම් ඉන්නේ යහපාලන ආණ්ඩුවටත් කොයි වෙලාවේ ස්වීප් එක ඇදෙයිද කියලා කියන්න බෑ.

ප්‍රියන්ත කොඩිප්පිලි