පෝයදාට බයිස්කෝප් අකැපද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-06-01-ent-011අපේ රටේ සිනමාවේ තියෙන බහුතරයක් ප්‍රශ්න ගැන අපි මීට කලින් කොයිතරම් නම් ලියලා ඇද්ද? ඒත් තාම ඒ ගොඩක් ප්‍රශ්න එහෙමමයි. මොකද ඒ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ඕන අය ඉන්නේ බීරි අලි වගේ. මේ ප්‍රශ්න අපිට කලින් ඉඳපු අයත් මේ විදියටම ලිව්වා. ඊටත් පෙර ඉඳපු අයත් ලියන්න ඇති. අපෙන් පස්සෙත් අපි මේ අවධාරණය කරන අවුල් ටික මේ විදියටම තවත් අයට ලියන්න වෙයිද දන්නේ නෑ. අපේ රටේ කලාව දවසින් දවස රූටලා යන විදියට නම් ඒක තමයි වෙන්නේ.

අද මතක් කරන්නේ තවත් පොඩි සීන් එකක් ගැන. කොටින්ම මේ කියන්න හදන ප්‍රශ්නෙ බලපෑම වැඩිපුරම තියෙන්නේ අපේ රටේ චිත්‍රපටි හදන අයටයි. අපේ රටේ චිත්‍රපටි ප්‍රේක්ෂකයන්ටයි. අපි මේ කියන්න හදන්නේ පෝය දවසට අපේ රටේ චිත්‍රපටි හෝල් වහන එක ගැන. මේක අද ඊයෙක සිදුවුණු දෙයක් නෙවෙයි. දැන් සෑහෙන කාලයක් තිස්සේ ඉඳලා කෙරෙන දෙයක්. ඒත් මේ වැඩේ අදට අවශ්‍යද කියන ප්‍රශ්නය ඔන්න මේ ගැන උනන්දුව තියෙන අය අතරට අපි අතඅරිනවා. මොකද මේ ප්‍රශ්නේ නිසා වෙන කවුරු නැතත් අපේ රටේ චිත්‍රපටකරුවෝ නම් අමාරුවේ වැටෙනවා කියන එක අපි දන්නවා. විශේෂයෙන් චිත්‍රපටි නිෂ්පාදකයන්ගේ මේ වැඩේට කැමැත්තක් තියෙන්න විදියක් නැහැ. මොකද බොහෝදෙනාට චිත්‍රපටියක් බලන්න යන්න කියලා ඉස්පාසුවක් හම්බවෙන පෝය නිවාඩුව දවසේ චිත්‍රපටි හෝල් ටිකට ඉබ්බෝ දානවානේ.

මේ ගැන ලියන්න කියලා හදිසියෙන් වගේ අදහසක් ඇති වුණේ මේ දවස්වල ලිබර්ටි ලයිට් හෝල් එකේ දුවන "දනක්" කියන හින්දි ෆිල්ම් එක බලන්න කියලා අපේ මිත්‍ර‘යෝ කීපදෙනෙක් පසුගිය ඉරිදා දතකට මැදගෙන ගියපු ගමන ගැන ඇහුවාම. මේ මිත්‍ර‘යෝ දවස් ගණනක් තිස්සේ ප්ලෑන් කරලා තමයි මේ ගමන ගිහින් තියෙන්නේ. ඒත් අපේ මේ මිත්‍රයන්ගේ අවාසනාවට වගේ පසුගිය ඉරිදම තමයි පොසොන් පෝය වැටිලා තිබු‍ණෙත්. හෝල් එක ළඟටම ගිහිං ආපහු හැරිලා එන්න වෙච්ච සීන් එක ඒ මිත්‍ර‘යෝ කීපදෙනා අපිත් එක්ක කිව්වේ “මොකාද මචං පෝයදාට චිත්‍රපටි හෝල් වහන්න කියලා තීරණය කරපු එකා* කියලා. ඒ පුද්ගලයන්ගේ හත්මුතු පරම්පරාවෙම ඥාතින්ට පිං දෙන ගමන්.

මේ නිසාම මේ ප්‍රශ්නය ගැන යමක් ලිව්වොත් හොඳයි කියලා හිතුනෙම අපේ මිත්‍ර‘යෝ ටික පත්වෙච්ච අවුලට මීට කලිනුත් ඕන තරම් අය පත්වෙලා ඇති නිසා. අනෙක් අතට බොහෝ දෙනෙකුට මාසෙකට සමහර විට ලැබෙන එකම නිවාඩු දවස වන පෝය දවසට හරි බයිස්කෝප් එකක් බලලා පොඩි සංතෝසයක් ලබන්න තියෙන අවස්ථාවත් මේකට හරස් වෙච්ච නීතිය නිසා නැති වෙනවා.

අපි පෝය දවසටත් චිත්‍රපට හෝල් අරින්න කියලා යෝජනා කරපු ගමන් ඔන්න සමහර කට්ටිය රෙදි කරට අරගෙන සටනට එන්න බැරි නෑ. මොකද මේ හරහා බෞද්ධාගමට එරෙහිව අපි කුමන්ත්‍රණයක් කරනවා කියන්නත් බැරි නෑ. ඒත් අපි මතක් කරන්නේ මේ නීතිය දාපු කාලේ ඒකේ අදාළ කමක් තිබුණා වුණත් අදට ඒවා අදාළද කියන එක. මේ ක්‍රමය දිගටම නඩත්තු කිරීමෙන් අපේ රටේ කාටහරි වෙච්ච සුගතියක් තියෙනවාද කියලත් අපි දැනගන්න කැමතියි. මේ නිසා චිත්‍රපටිකාරයන්ට කෝටි ගණන් මේ වෙනකොට පාඩු වෙලා තියෙන බව නම් සැකයක් නැහැ. ඒත් මේ නිසා අපේ රටේ සංස්කෘතියට හෝ සදාචාරයට හෝ බුද්ධාගමට මේකෙන් මොකක්ද වෙලා තියෙන දේ කියලා දන්න කෙනෙක් අපට කියන්න. හැත්තෑ ගණන්වල තමයි අපි දන්න විදියට මේක ගැසට් නිවේදනයක් මගින් ස්ථාපිත කරලා තියෙන්නේ. රැඟුම් පාලක මණ්ඩලය හරහා ජාතික චිත්‍රපට සංස්ථාවට ආපු යෝජනාවක්ද මේක මේ තීන්දුව ගන්න හේතු වෙච්ච කාරණා මොනවා වුණත් ඒකෙන් අපේ රටේ සිනමා නිර්මාණයන්ට විශාල මුදලක් අහිමි වුණා කියන එක ගැන නම් විවාදයක් නැහැ.

මේ දවස් වල තිරගත වන "ආදරණීය කතාවක්" චිත්‍ර‘පටයේ නිෂ්පාදක චමින්ද ගමගේ පසුගිය දවසක කිව්වේ ඉරිදා වගේ දවසක වැටිච්ච පෝය නිවාඩුව නිසා "පිකප්" වෙන්න පටන් ගත්ත චිත්‍රපටියෙන් විශාල මුදලක් අහක යාවි කියලයි. මේ වගේ චිත්‍රපටිකාරයන්ට මේ වෙනකොට අහිමි වෙච්ච මුදල කීයද කියලා කියන්න බැහැ.

අපි මේ යෝජනාව හරහා ගේන්නේ බෞද්ධ විරෝධී අදහසක් නෙමෙයි. පුළුවන් අය පෝයදාට පන්සල්වලට යනවා. යන්නේ නැති අය මරණවා කිව්වත් පන්සල් යන්නේ නෑ. චිත්‍රපටියක් බලන්න ඕනකම තියෙන අය පෝය දවසේ ගිහින් චිත්‍රපටියක් බැලුවාම හෙණ ගහනවාද? අපිට පෝය විදියට ඒක පාපකර්මයක් නෙවෙයි. ඒත් සමහර චිත්‍රපටි බලන එක නම් පාපකර්මයක් තමයි. මොකද සමහර සිංහල ෆිල්ම් බලනකොටත් අපට හිතෙනවා ඒවා බලන්න වුණේ පෙර කළ පාපකර්මයකට කියලා. ඒක වෙනම කතාවක්.

මේ නීතිය සංශෝධනය කරනවානම් ඒක කරන්න වෙන්නේ ගැසට් නිවේදනයක් හරහා වෙන්න ඇති. විධායක ක්‍ර‘මේ අයින් කරනවා කියලත් දස අතේ දිවුරල බලයට පත්වුණු ජනාධිපතිවරු ඉන්න රටේ ඒ වගේ කාලෙට ගැලපෙන්නේ නැති නීතියක් සංශෝධනය කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි. මේ වැඩේට අපටත් වඩා පෙරමුණ ගන්න ඕන අමාරුවෙන් චිත්‍රපට හදලා ඒවා පෙන්න ගන්න දහදුකක් විඳින චිත්‍රපටිකාරයොම තමයි. මොකද මේක ඍජුවම එයාලාගේ ප්‍රශ්නයක්.

අපි අහන්නේ පෝය දවසට චිත්‍රපට හෝල් ටික වහලා රකින්න හදන සදාචාරය හෝ ආගමික භක්තිය මොකක්ද කියලා. පෝය දවසට ස්ත්‍රී දූෂණ වෙද්දී, මිනී මැරුම් වෙද්දී, මංකොල්ලකෑම් වෙද්දී ඒවා ගැන වගේ වගක් නැතුව ඉන්න අය මේ වගේ දෙයක් ගැන නම් කලබල වෙලා රෙදි කරට ගන්න එපා.

මේ ප්‍රශ්නයේදි තර්කයක් එන්න පුළුවන්. පෝය නිවාඩු දවසට චිත්‍රවපටි හෝල් වල නඩත්තු කටයුතු කරන්න පුළුවන් කියලා. ඒත් පෝය නිවාඩුවට සේවකයෝ මේ වගේ වැඩට එන්නේ නෑ. අපි දන්න විදියට. වෙන රටවලත් මේ වගේ දෙයක් නෑ. ගොඩක් හෝල් දිනපතා නඩත්තු කටයුතු කරනවා.

තවත් අය කියන්න පුළුවන් චිත්‍රපටි හෝල්වල තියෙන තැබෑරුම් නිසා පෝය දවසට චිත්‍රපටි හෝල් අරින එක ප්‍රශ්නයක් කියලා. ඒත් සුපර්මාර්කට් ඇතුළේ තියෙන සුරාසැල් පෝයට වහන ක්‍රමයට චිත්‍රපටි හෝල් වල තියෙන සුරා සැලුත් කිසි ප්‍රශ්නයක් නැතුව වහන්න පුළුවන්. අපි දන්න විදියට ගිහියන්ටත් වඩා අද වැරදි කරන හාමුදුරුවරු මේ යෝජනාවට කලබල වෙන්න ඉඩ තියෙනවා. ඒත් චිත්‍රපටි බලන්න උනන්දුව තියෙන අය විවිධක්‍රම හරහා පෝය දවසටත් චිත්‍රපටි බලනවා. පියෝ ටී.වී. හරහා, ඉන්ටර්නෙට් හරහා ඕන කෙනෙකුට ඕන දවසක චිත්‍රපටි බලන්න පුළුවන්. කාටවත් ඒවා නවත්තන්න බෑ. ඒක නිසා වැඩිපුර සෙනඟ ටිකක් ඇවිත් චිත්‍රපටිකාරයන්ට කීයක් හරි තුට්ටු දෙකක් සොයාගන්න පුළුවන් හොඳම දවසෙත් බොරු නීතියක් හරස් කරලා චිත්‍රපටි හෝල් ටික වහලා තියෙන එක අපරාධයක් කියලයි අපි කියන්නේ. මේ වැඩේට එකඟ නම් චිත්‍රපටි හදන අයට මේ යෝජනාව ඉදිරියට ගෙනියන්න පුළුවන්. මොකද මේකෙන් වෙන කාටවත් නොවෙයි වැඩිපුරම වාසියක් ලැබෙන්නේ ඒ අයටම නිසා.

බොරු සදාචාර හදාගෙන බලෙන් කොටුවෙලා ඉන්නවට වඩා කාලෙට ඔබින විදියට නීති රීති වුණත් වෙනස් විය යුතුයි. පෝය දවසට චිත්‍රපටි හෝල් වහපු එකෙන් අපේ රට ලබපු භෞතික හෝ ආධ්‍යාත්මික දියුණුවේ තරම කවුරු හරි අපට කිරලා මැනලා පෙන්නුවොත් අපි මේ යෝජනාව අකුල ගන්න සූදානම්. බලමු අපේ මේ යෝජනවාට ලැබෙන ප්‍රතිචාර කොයි වගේද කියලා.

 

ප්‍රියන්ත කොඩිප්පිලි