හුදෙකලාව අවනඩුවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අද කියන්න යන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් කතාවක්. වෙනස් කිව්වට අපි  දන්න කියන කෙනෙක් ගැනම තමයි. අදාළ ක්ෂේත්‍ර‘යේ බොහෝ ප්‍රවීණයන් නිසි පුටුවට කැඳවන්නේ නැති ඒත් දක්ෂතාවන් අතින් ප්‍රවීණයන් හා සම අසුන් ගන්න පුළුවන් කියලා තමන්ගේ කෙරුවාවෙන් මේ වනවිට ඔප්පු කරපු හාදයෙක් ගැනයි මේ කියන්න යන්නේ. තවත් පරක්කු කරන්නේ මොකටද. මේ කියන්න හදන්නේ කැළුම් ශ්‍රීමාල් ගැනයි.

කැළුම් ක්ෂේත්‍ර කිහිපයකම කරක් ගහන නිසා අපි කතා කරන්න යන ක්ෂේත්‍ර‘යේ මායිම මුලින්ම ලකුණු කරගමු. ඒක ලේසියි. අපි කතා කරන්නේ කැළුම් ශ්‍රීමාල් කියන ගීත රචකයා ගැන පමණයි. මිනිහා ක්‍රීඩාව පැත්තේ, මීඩියා පැත්තේ කරන සෙල්ලං ගැන මේකෙදී කතා කරන්න වෙලාවක් නෑ. මොකද කැළුම්ගෙ ගීත ගැන විතරයි මේ ඉඩ වෙන්කරන්න හිතුවෙ.

20170317sara-1

කැළුම් ශ්‍රීමාල් ලිව්වා කියලා මට අහුවෙන පළවෙනි ගීතය තමයි නාමල් උඩුගම කියන ‘සුදුමල් සුගන්ධිනී’ ගීතය. ඒක මම අහන්නේ සිරස ගුවන් විදුලිය පටන්ගත්තු කාලේ රසරිසිගී ප්‍රෝග්‍රෑම් එකෙන්. ඊට කලින් කැළුම් ලියපු ගීත තියෙන්න පුළුවන්. හැබැයි මම කැළුම් ලිව්වා කියලා දැනගත්තු පළවෙනි ගීතය ඒක. ඊට පස්සේ කැළුම් ලිව්වා කියලා ගීත ගණනාවක් රසරිසි ගී ප්‍රෝග්‍රෑම් එකෙන්ම අහන්න හම්බවුණා. නිරෝෂා විරාජිනිගෙ, අනුරාධ පෙරේරාගේ එහෙම ගීත කීපයක් ඒ අතරේ තිබුණා.

අපි මෙතනදී කැළුම්ගෙ ගීත රචකා කෙරුවාවේ හතරමායිමත් වටලන්න සූදානම් නෑ. ඒත් බොහෝ දෙනාට මඟ ඇරුණ තවත් බොහෝ දෙනා හිතාමතා මඟඅරින කැළුම් ශ්‍රීමාල්ගෙ ගීත රචනා හැකියාව ගැන පුංචි අදහසක් කියන්න ඕන කියලා අපි කල්පනා කළා. ඒක කරන්නෙම ප්‍රවීණ ගීත රචකයන් බොහෝ වෙලාවට ගීත රචනා ලැයිස්තු හදද්දී කැළුම්ලා වගේ අය ළඟට ඇවිත් ඒ ලැයිස්තුවට ඉර ගහන නිසා. මේ අය තමන්ගේ ලැයිස්තුවලට අමාරුවෙන් හරි නිලාර්. එන්.කාසිම් වගේ කෙනෙක්ගෙ නම එකතු කරගත්තත් ඉන් මෙහාට බොහෝ වෙලාවට ගීත රචකයො නෑ වගේ තමයි කතාව. මේ කියන්නේ සියලු ප්‍රවීණයක් ගැන නෙවෙයි. තරුණ පරපුර ගැන සෝදිසියෙන් ඉන්න ප්‍රවීණයෝ ඉන්නවා. හැබැයි ගොඩක් අය තමන්ගේ කුලකයට අලුත් අය ඇතුළු කරගන්නේ කලාතුරකින්.

මේ අතරෙ කැළුම් ශ්‍රීමාල් ඉන්නේ කොතැනද කියලා කැළුම් ලියපු සිංදු ටික පොඩ්ඩක් හාරා අවුස්සලා බලලා තීරණය කරන්න කියලා අපි ගීත ගැන උනන්දුවෙන අයට මතක් කරනවා.

කැළුම්ගෙ වචන හැසිරවීමේ හැකියාව හරි පුදුම එකක්. ඒක ඉරිසියා හිතෙන තරම් එකක් කිව්වොත් හරි. ඒකට උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්.

කැළුම් ලියපු ගීත කීපයක් විතරක් උදාහරණයට ගනිමු. ක්‍රිෂාන්ත එරන්දකගේ ‘නිලුපුලේ නිල’, නිරෝෂා විරාජිනිගෙ ‘දුහුල් මලක’, සංගීත් විජේසූරියගෙ ‘මල් පෙරහැර’, අමරිසරි පීරිස්ගෙ ‘ඔබ ඇපල් මලක්’, ඉමාන් පෙරේරාගේ ‘ලස්සන නිළියේ’ වගේ ගීත ගණනාවක් පෙළ ගස්සන්න පුළුවන්. මේ හැම එකකම කැළුම් වචන පෙරළියක් කරනවා. 

මේක මීට කලින් කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස් වගේ රචකයන්ගෙන් අපි දැකපු ලක්ෂණයක්. ගීත රචනාවලට අලුත් අලුත් වචන බය නැතුව ගේන්න කැළුම් බෙහෝවිට උත්සාහ කරනවා. දක්ෂ රචකයෙක් එකම තැන උලා කන හරකෙක් වගේ ඉන්නෙ නැතුව ලණුවෙ දිග සීමාවට ගිහින් ගිහින් එතැනිනුත් එහාට පුළුවන්නම් ඔළුව දාලා බඩු අහුල ගන්න ට්‍රයි කරනවා. කැළුම්ගෙ ගීතවල අපි මේ වචන හරඹය දකින්නේ ඒක දැනගෙන කරන මිනිහෙක් විදියට.

දැන් අපිට අහන්න ලැබෙන සිංදු කියන ඒවට බඩේ අමාරුව හැදෙනවනේ. ඒවා ඒ තරම් රහයි. මෙන්න බඩකඩුත්තු අතරේ කැළුම්ලගෙ ගීත තරමක් හයිලයිට් වෙනවා. දැන් සිංදු ලියන මල්ලිලා මේක උලා කාලා විනාස කරලා ඉවරයි. මේ රැල්ලට හැදෙන සිංදුවලින් සීයට අනූනමයක් විතර කටේ තියන්න බෑනේ. ඒ අතරෙ තමයි කැළුම්ලගෙන්වත් මේ මල්ලිල ආදර්ශයක් ගත්තොත් හොඳයි කියලා හිතෙන්නේ. මොකද ඊට කලින් පරම්පරාවලින් ආදර්ශ ගන්නෙ නෑනේ මේ අලුත් මල්ලිලා.

කැළුම් වුණත් රැල්ලට ගීත නොලියා බේරිලා ඉන්න උත්සාහ ගත්තොත් හොඳයි. එහෙම නැති වුණොත් ‘ඇතුල් හිතේ හිත පතුලේ’ වගේ ඕලාරික වැඩ දිගටම කරන්න වෙයි.

20160830Sara-1නන්දා මාලනී කියන ‘කොන්ක්‍රීට් වනන්තරේ නපුරු සර්පයා’ ගීතය චිත්‍රපටි ගීත ලියන්න පුළුවන් කියලා කැළුම් පෙන්නපු එක අවස්ථාවක් විතරයි. ‘බහුභූතයෝ’ චිත්‍රපටියේ තමයි මේ ගීතය තිබුණේ. මේ රචනාවෙන් කැළුම් ශ්‍රීමාල්ගෙ අනන්‍යතාව තියෙනවා. කැළුම් හින්දි තනුවලට කිත්සිරි ජයසේකරට සිංදු ගණනාවක් ලිව්වා. ඒ රචනාවලටත් අමුතු හැඩයක් දෙන්න කැළුම්ට පුළුවන් වුණා. වචනවලින් පොහොසත් රචකයෙකුට විතරයි. ඒ වැඩේ හරියට කරන්න පුළුවන්.

කැළුම් ශ්‍රීමාල් ලියපු සංගීත විජේසූරියගෙ ‘ළමාතැනී’ ගීතය වගේ ඒවා ප්‍රවීණයන් ගහගෙන ඉන්න වැටවල් හොල්ලන්න සමත් වෙනවා කියලයි මට හිතෙන්නේ. බොරු ක්ලැසික් දොරඅඟුලු කඩලා දාලා දක්ෂතාව උඩ ගේම් එක ප්ලේ කරන්න ග්‍රවුන්ඩ් එක සූදාන්‍ම් කරන්න ඕන කියන යෝජනාව තමයි අපි කරන්නේ.

ඒකෙන් කියන්නේ නෑ ප්‍රවීණයන්ගේ හැකියාවේ තරමට අපි ඔවුන්ගේ කෙරුවාවට අගෞරව කරනවා කියලා. ඒ ගෞරවය එහෙමම තියෙද්දී අපි යෝජනා කරන්නේ ගීත රචනා ලැයිස්තුවේ අගිස්ස දික්වෙනවට ප්‍රවීණයෝ කුහක වෙන්නෙ නැතුව ඒකට ඉඩ අරින්න කියලා. එතකොට ඒ ලැයිස්තුවෙ සුදුසු තැනට සුදුසු අයගෙ නම වැටේවි. එතකොට කැළුම් ශ්‍රීමාල්ලටත් ගීත රචකයන්ගේ පුටු පේළියේ සුදුසු අසුන හම්බ වේවි.

ප්‍රියන්ත කොඩිප්පිලි