ජාතික යොවුන් සේනාංකය සහ බැරිස්ටා රටේ දරුවත් වෙනුවෙන් එක්වෙයි
තාරුණ්‍යයට තිරසාර රැකියා අවස්ථා තිළිණ කරලන පරමාර්ථයෙන් ඇරඹි,බැරිස්ටා (Barista) වෘත්තීය පුහුණු පාඨමාලාවේ දෙවන කණ්ඩායමේ අධ්‍යයන කටයුතු ඇරඹුණා.
තරුණ පරපුර නිවැරදි මාවතකට යොමු කරමින්, ඔවුන්ට තිරසාර රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ අරමුණින් ජාතික යොවුන් සේනාංකය සහ Barista Coffee Lanka (පෞද්ගලික) සමාගම එක්ව සංවිධානය කරනු ලබන බැරිස්ටා (Barista) වෘත්තීය පුහුණු පාඨමාලාවේ දෙවන කණ්ඩායම සඳහා වූ මාස 06ක පූර්ණකාලීන පුහුණු වැඩසටහන ඊයේ (15දා) නිල වශයෙන් ආරම්භ කළේ.
මෙම පාඨමාලාවේ සමාරම්භක අවස්ථාව කොළඹ නවම් මාවතේ පිහිටි Barista Coffee Lanka ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා මීට පෙර මෙම පුහුණුලාභීන් සඳහා කටුනායක ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේදී ජුනි මස 01 වැනිදා සිට 14 වැනිදා දක්වා දින 14ක කාලයක් සාර්ථකව ජීවන කුසලතා (Life Skills) පුහුණුවක් ද ලබා දී තිබුණා.
මෙම වෘත්තීය පුහුණු පාඨමාලාව තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) පූර්ණ අනුමැතිය සහිත, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 03 මට්ටමේ පාඨමාලාවක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ. ජාතික යොවුන් සේනාංකය මගින් ලබාදෙන ජීවන කුසලතා පුහුණුවට අමතරව, බැරිස්ටා ආයතනය මගින් පැය 80ක න්‍යායික පුහුණුවක් සහ දිවයින පුරා පිහිටි බැරිස්ටා අවන්හල් ජාලය තුළ පැය 900ක පූර්ණ ප්‍රායෝගික පුහුණුවක් (On-the-job training) මෙහිදී සිසුන් වෙත ලබා දීමට නියමිතයි.
පාඨමාලාව හදාරන පුහුණු කාලය තුළදී රුපියල් 10,000ක මාසික දීමනාවක් මෙන්ම, දෛනික ආහාර, නිල ඇඳුම් සහ ප්‍රවාහන පහසුකම් ද පුහුණුලාභීන්ට හිමි වෙනවා. මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලුම තරුණ තරුණියන් සඳහා Barista ආයතනය තුළම පූර්ණකාලීන ස්ථිර රැකියාවක් හිමිවීම මෙහි ඇති සුවිශේෂීම කරුණයි.
මෙම ආරම්භක අවස්ථාව සඳහා Barista Coffee Lanka ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දිලුප පතිරණ සහ මානව සම්පත් හා පරිපාලන ප්‍රධානී හර්ෂ චානක ඇතුළු එම ආයතනයේ නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.ඊට අමතරව ජාතික යොවුන් සේනාංකය නියෝජනය කරමින් එහි අතිරේක අධ්යක්ෂ (පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය මහතා, සහකාර අධ්යක්ෂ (සංවර්ධන) ඉනෝකා ගුණවර්ධන නීති නිලධාරිනී චාන්දනී මැණිකේ ඇතුළු නිලධාරීන් මෙන්ම පාඨමාලාව සඳහා තෝරාගත් පුහුණුලාභීහු ද මෙම අවස්ථාවට එක්වුණා.







