පාරුවේ පොත් හැන්දෑවක්

  • 13-05-2026

 


ආහ්......ඒ එදා දම්පාට හැන්දෑවක්.ඉර අවරගිර හැංඟිලා යන්න හරි ළඟයි.

හැන්දෑව කවියක්.........

මගෙ හිත මට එහෙම කීවා.....



Dark chocolate එක්ක  Red Wine වීදුරුවක් ....
හිත අස්සෙ හැම අහුමුල්ලකම කිති කවන හීතල හුළඟක් .....
තුඩු තුඩු හිත් අග්ගිස්සට අනින අමුතු වැස්සක්......
ඒ ඔක්කොම එක්ක නොකිළිටි සුවඳ දැවටුණු පොතක්...........

පොතක් නෙවෙයි පොත් ගොන්නක් එතන තිබුණා....
වයින් වෙනුවට රුසියානු සුවඳින් හිත මන්මත් කරන වොඩ්කා තිබුණා.....
ආදරයට අනුරාගයේ බිඳිති මුහු කරන ඩාක් චොක්ලට් වෙනුවට  උණු උණු අල පෙති පිරවූ බඳුන් තිබුණා තක්කාලි රස සෝස් එක්ක.......


ඉතින් මේ හැන්දෑව  ගෙවුණේ පාරුවේ....
මම මේ කියපු තත්ත්පර උදාවෙන්නට පෙරාතුව පාරුව යැයි නම් ලද බෝට්ටුවට ගොඩවුණේ පැටි වියෙහි දුවලා පුතාලා...

ඉතින් එදා පාරුවේ නැගලා මේ පුංච් ඈයෝ එක්ක දියවන්නාවේ කුරුලු කූජනත් සාරෙට විඳින ගමන් නිලට නිලේ දිදුලන සොබා චමත්කාරයේ අංශුමාත්‍ර සහ විසල්මාත්‍ර සොයමින් අයිස් කෝපි සුවඳත් එක්ක අපි යාත්‍රා කළේ සාහිත්‍යය ,පරිසර විද්‍යාව එක්ක සාර සුබාවට ස්වභාවික පරිසරය එකට මුහුවෙච්ච තත්ත්පර සමුදායක .....

අනේ ඉතින් 
මේ අහන්න.......
මට කියන්න.....අපි කොච්චර ආදරේද පොත් පිටු සුවඳට........අපිට ඕනෑ වුණේ පාරුවට ගොඩ වෙච්ච ඒ පුංචි හිත් අස්සෙත් පොත් සුවඳ තවරන්න ......

ඔයා දන්නවද හුවාං බෙයිජියා ගැන...
එයා තමයි චීන ළමා සාහිත්‍යයේ දී හමුවන ගැඹුරුම හුස්මකින් ළමා හදවත් ස්පර්ශ කළ අකුරු අයිතිකාරිය......
එයා ලියපු පොත් සිංහලයට අනුවර්තනය වී තිබුණේ 
මට හොඳ කෙනෙකු වෙන්න ඕනේ
සහ 
බඹර පියාසැරිය නමින්.......
ආදරණිය තනූජා අයගම එදා ඒ පොත් පිටු අතරට හරි ලස්සනට පුංච් එවුන්ව  ගෙනිච්චා......
ඒ පොත් සිංහලයට පරිවර්තනය කර තිබුණේ පහන් ප්‍රකාශකයින්...
Good Reads Lanka සිංහලයට නගා තිබුණෙ ගම වෙනස් වෙලා සහ මහා ඇල දිගේ ගෙන ආ සීයාගෙ බයිසිකලය ...ඒ පොත් ගැන පුංච් පැංචියන් එක්ක කතා කළේ රිද්මිකා ප්‍රභාංගි.
ඒ සියල්ල අතරෙහි 
ආචාර්ය වසන්ත වැලිඅංග අනේ අපි හැමෝම සිරුරින් පාරුවේ තියලා හදවතින් එක්ක ගියා සුන්දරම සවාරියක්......

අහන්න.....

කඳු හෙල් ගංඟා නිම්න දිගේ තුරුවැල් රූස්ස කුරුලු කූජන අතරෙහි සිහිල් සුළං රැල්ලේ සුවඳ විඳිමින් අපි ආසාවෙන් ඔහේ ඇවිද්දා වසන්තගේ වස්සාන සාර සුව දැවටිච්ච වචන දිගේ......


හරිත ජලය සහ සශ්‍රීක කඳු

ලස්සන මුහුදු බොක්ක

ජාතික උද්‍යාන

කාබන් ශුන්‍ය අනාගතය

කියන්නෙ නෙප්චූන් ප්‍රකාශන පෞද්ගලික සමාගම දේශීයව ප්‍රකාශයට පත් කරන ලද ප්‍රබන්ධ නොවන පොත් හතරක්....

ඒ අකුරු වියමනෙහි අයිතිකාරයා පාරුවට සොබා වසන්තයක් අරන් ආව වසන්ත

බීජිං හි ෆීනික්ස් ජුවනයිල්  සහ ළමා ප්‍රකාශන ආයතනය තමයි මේ පොත්වල මුල් අයිතිකාරයන්.....

මිනිසුන් ස්වභාවධර්මයෙන් උපන් ආත්මයන් වන අතර සොබාදහමේ අනිවාර්ය අංගයකි......

ඒ එක් පෙරවදනක එක් වාක්‍යයක්......

මේ අහස පොළොව අතර සොබාදම් අම්මාගෙ තුරුලට අයිතිවෙන යම් වත්කමක් වෙත්ද ඒ සියල්ල කොන්දේසි විරහිතව විශ්වීයම වෙයි....ඉතින් මෙතෙකැයි මෙපමණකැයි කිව නොහැකි වටිනාකම් අක්ෂර සන්තකයේ දරා හිඳින සුභාවිත සුභාෂිත සුලාලිත පරිසරවේදයක ඒ අකුරු අතර ස්නේහයෙන් සැරි සරන්නයැයි මා අඬගසන්නේ දරුවනි ඔබට පමණක් නොවේ......

ලෝකටට ආදරණීය නිල්වන් හෙටක් අවැසිනම් මුතුන් මිත්තන් දක්වා හැම දෑස් ඒ පොත් අතරෙහි ඉඳින් සැරිය යුතුමය.......

ඉඳින්  නිමා නොවූ බොහෝ දෑ අස සන්ධ්‍යාව නිමා විය...
අවසන ස්තූතියි කියන්නම්

දිනේෂ් කුලතුංග
ප්‍රදීප් ගමගේ
සමන්ත ඉන්දීවර
මොහොමඩ් සෆීර්......

සුලවතුනි ඔබට........

(මෙම පොත් කියවීමේ වැඩසටහන ජාත්‍යන්තරව පවත්වන වැඩසටහනේ පළමු ෆීනික්ස් ජාත්‍යන්තර ළමා කියවීමේ වැඩසටහන ලෙස සිදු කරන ලද අතර ඉදිරිපත් කරන ලද සියලුම පොත් මුලින් ප්‍රකාශයට පත් කරන ලද්දේ චීනයේ ජියැන්ග්සු පළාතේ නැන්ජිං හි ෆීනික්ස් ජුවනයිල් සහ ළමා ප්‍රකාශන සමාගම විසින් වගද අපි ගෞරව පූර්වකව මතක් කර හිඳිමු )