රටේම දක්ෂ දරුවන් එකම වේදිකාවකට කැන්දන ජාතික යොවුන් සේනාංක කලා උළෙල -2026
ජාතික යොවුන් සේනාංකයෙන් සිව්දිගට හමා එන යෞවනයේ අපූර්ව රිද්මය ඔබටත් දැනෙනවාද?....
අසීමාන්තික කලා කෞශල්‍යයන්හි සුන්දර නිම් වළලු සොයා ඉගිලෙන යෞවනයට, සිය අපූර්ව ප්‍රතිභාවන් ලොවට විකසිත කරන්නට ඉඳින් අගනා තෝතැන්නක් නිර්මාණය වී තිබේ. ඒ, ශ්‍රී ලාංකේය යොවුන් කලා පරපුර තුළ ස්ව අනන්‍ය ස්වර්ණවත් මුද්‍රාවක් සනිටුහන් කරන, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ජාතික යොවුන් සේනාංකය අභිමානයෙන් ගෙන එන "ජාතික යොවුන් සේනාංක කලා උළෙල - 2026" යි. ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂතුමන්ගේ පූර්ණ ආශිර්වාදය සහ මඟපෙන්වීම යටතේ සිරිලක පුරා විසිරුණු යොවුන් කලා තරු අහුරු සොයා යන මේ අපූර්ව චාරිකාවේ අභිමානවත් කූටප්‍රාප්තිය, එළඹෙන අගෝස්තු 19 වැනිදා පස්වරු 3.00 ට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය 'ආග්‍රා' නව ශ්‍රවණාගාරයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් සනිටුහන් වනු ඇත.
හුදෙක් තරඟකාරී සමුච්චිතකරණයකින් ඔබ්බට ගොස් මානවවාදී සෞන්දර්යක චමත්කාරය සොයා යන මෙම සුවිශේෂී කලා වේදිකාව, 2026 පළමු සහ දෙවන කණ්ඩායම් නියෝජනය කරන ජාතික යොවුන් සේනාංක කැඩෙට්වරුන්ට පමණක්ම වෙන්වූ අසපුවක් වීම මෙහි ඇති සුවිශේෂීම ලක්ෂණයයි. ඔවුන්ගේ කලා හැකියාවන් මැනවින් හඳුනාගෙන, කලාව තුළින් ජාතික එකමුතුව සහ නායකත්ව හැඟීම වර්ධනය කිරීම අරමුණු කරගත් මෙම කලා උළෙලේ ජාතික මට්ටමේ තරඟ අගෝස්තු 18 වන දින යක්කල පුහුණු මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කෙරේ. එහිදී නර්තනයේත් වාදනයේත් සුභාවිත, සුභාෂිත රිද්ම සුසංයෝජනයන් මෙන්ම, නවීන ඩිජිටල් කලාවේ විස්මිත රටාවන් ද කැටි කරගත් වීදි නාට්‍ය, කෙටි චිත්‍රපට, ජංගම දුරකථන ඡායාරූපකරණය, නිවේදනය, පුවත්පත් ලිපි රචනය හා ටික්ටොක් (TikTok) නිර්මාණ යනාදී අංශ රැසක් ඔස්සේ මේ යොවුන් ප්‍රතිභාවන් මැනවින් ඇගයීමට ලක් කෙරෙනු ඇත.
මෙම කලාකාමී ප්‍රවේශයට සමගාමීව, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ජාතික යොවුන් සේනාංකය යනු අධ්‍යාපනය නම් වූ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මඟහැරුණු යෞවනයන්ට සමාජයේ අභිමානවත් වෘත්තිකයින් ලෙස නැගීසිටීමට සුවිශේෂී වූ දෙවන අවස්ථාවක් උදාකර දෙන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයයි. දිවයින පුරා විසිරුණු මධ්‍යස්ථාන 58ක් හරහා වාර්ෂිකව දොළොස් දහසකට ආසන්න තරුණ ප්‍රජාවකගේ ජීවන කුසලතා ඔප්නංවමින්, රුපියල් ලක්ෂය දක්වා වූ වෘත්තීය පුහුණු ශිෂ්‍යත්ව, ස්විට්සර්ලන්ත රජයේ අනුග්‍රහය සහිත SHMA ආගන්තුක සත්කාරක පුහුණුව මෙන්ම ජාත්‍යන්තර බැරිස්ටා (Barista) කෝපි කර්මාන්ත පාඨමාලාව ද ඔස්සේ ඔවුන්ව සෘජුවම සාර්ථක වෘත්තීය මාවතකට යොමු කරලීමට යොවුන් සේනාංකය නිරන්තරයෙන් ඇපකැප වී සිටියි. ජීවන කුසලතා ලබා, යොවුන් සේනාංක හෝටල් පුහුණු පාසල් හරහා ලත් පන්නරයෙන් අද වන විට සමාජයේ ඉහළ රැකියාවල නියැළෙමින් තම ජීවන මඟ වඩාත් සරු කරගත් තරුණ තරුණියන් රැසක් ඒ සඳහා කදිම නිදසුන් සපයයි.
තරඟකාරී අධ්‍යාපනය තුළ විශ්වවිද්‍යාල වරම් අහිමි වූවද, සහජ සෞන්දර්ය හැකියාවන්ගෙන් පිරිපුන් ඒ දරුවන් වෙනුවෙන්ම 2022 වර්ෂයේදී යක්කල සෞන්දර්ය පුහුණු පාසල ස්ථාපිත කිරීම ද මේ මානවවාදී ප්‍රයත්නයේම තවත් එක් සාර්ථක දිගුවකි. නවාතැන් සහ ආහාර සම්පූර්ණයෙන්ම නොමිලේ සපයමින්, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත ලලිත කළාවේදී බෙර හා නර්තන උසස් ඩිප්ලෝමාව (NVQ Level 06) සහ ගායනවේදී සහතික පත්‍ර පාඨමාලාව ඔස්සේ ඔවුන්ගේ කලාත්මක දක්ෂතාවයන්ට වෘත්තීය වටිනාකමක් ලබා දෙන්නේ යෞවනයේ අපේක්ෂාවන් මල්ඵල ගන්වමිනි. නූතන ශ්‍රම වෙළෙඳපොළේ අභියෝගයන්ට නිර්භීතව මුහුණ දිය හැකි, වගකීම් සහගත කලාකාමී පරපුරක් දැයට දායාද කරන ඒ සුන්දර මානයන් සොයා යන ගමන නිසැකයෙන්ම ජාතික යොවුන් සේනාංකයේ නොසැලෙන අභිමානයම වනු ඇත.





















