වැව අද්දර කැලෑව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-1577

ගෘහ නිර්මාණ ශිල්පී රවීන්ද්‍ර අතුකෝරළ කියන්නේ ලංකාවේ වගේම විදේශයන්හි ප‍්‍රකට ප‍්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. රට වටේ සංචාරයට බොහෝම ආසා කරන ඔහු අනුරාධපුරයේ සංචාරයට බෙහෙවින්ම ප‍්‍රියයි. මේ විදියට අනුරාධපුරයෙ සංචාරය කරමින් සිටි දිනෙක ඔහුට හරි අපූරු අදහසක් ආවා. ලේක් ෆොරස්ට් නමැති අපූරු සංචාරක හෝටලය නිර්මාණය වූයේ එහි ඵලයක් ලෙසයි. මේක හැබැයි නිකම්ම සංචාරක හෝටලයක් නොවෙයි. විශේෂිත වූ කලාත්මක නිර්මාණයක් කිව්වොත් නිවැරදියි.

ඒ නිසාම තමයි අපට ලේක් ෆොරස්ට් ගැන ලියන්න හිතුණෙ.2019-08-09-ent-1572

යෝධ ඇළ ගැන ඔබ දන්නවනෙ. මේ යෝධ ඇළ මාවත දිගේ ඇවිත් අනුරාධපුරයට එන්න පුළුවනි. කලා ඔයෙන් පටන්ගෙන තිසා වැවෙන් ගමන නතර කරන යෝධ ඇළ රජරටට ගෙනෙන සිරියාව හරිම ප‍්‍රියමනාපයි. මේ මාර්ගයෙහි වැටී ඇති සුන්දර භූමියක් කෙරෙහි රවීන්ද්‍රට හිත ගියේ අහම්බයකින්. කාලාන්තරයක් තිස්සේ තමාගේ හිතේ මැවී තිබුණු කලාත්මක නිර්මාණය තනන්නට ඔහු මෙතන තෝරා ගත්තේ ඒ විදියටයි.

හරියටම කිව්වොත් තිසා වැවට යා හැකි පටු මාවතට නුදුරින් පොතානගම ඔහුගේ තේරීම විය. අපි හිතමු සංචාරකයින් පැමිණෙන්නේ පුත්තලම් මාර්ගයේ සිට කියලා. ඒත් නැතිනම් කුරුණෑගල මාර්ගයේ සිට හෝ අනුරාධපුරයට පැමිණෙන වෙනත් මාර්ගයක සිට කියලා. ඒ මොන මාර්ගයේ පැමිණියත් ලේක් ෆොරස්ට් තියෙන්නේ ඒ මාර්ගවලට මැදිවයි. සැතැපුම් ගණනාවක් ගෙවා අනුරාධපුරයට ළඟා වන සංචාරකයන් හට ගමනාන්ත ගත වීමට සුදුසුම ස්ථානයක මෙය තනා ඇති බව කියන්න පුළුවනි.

”අනුරාධපුරය කියන්නේ සාඩම්බර ඉතිහාසයක් ඇති ප්‍රෞඨ නගරයක්. තිසා වැව හෙළයේ අපූරු නිර්මාණයක්. තිසා වැවට මෙතැන සිට ඇත්තේ කෙටි දුරක්. පා ගමනින් යන්න පුළුවනි. මේ නිර්මාණයට මම මෙතැන තෝරා ගත්තේ ඒ නිසයි.”

රවී තමාගේ සංකල්පයෙන් බිහි වූ කලාත්මක නිර්මාණය පිහිට වූ භූමිය ගැන කියන්නේ ඒ විදියටයි.

කලා ඔයෙන් පටන් ගෙන තිසා වැවට ගලා බසිනා යෝධ ඇළ මාර්ගය කොතරම් සුන්දර දැයි කියා වචනයෙන් කිව නොහැකියි. ඒ සුන්දරත්වය ආභරණයක් කරගෙන නිර්මාණය වූ ලේක් ෆොරස්ට් වෙත ජේතවනාරාමය, රුවන්වැලි මහා සෑය, මිරිසවැටිය, ඉසුරුමුණිය ඇතුළු සිද්ධස්ථාන සියල්ල දර්ශනය වන්නේ සුන්දර චිත‍්‍රයක් මෙනි. මේ සුන්දර සිත්තම දෙස බලමින් වැවක් ළඟ සප්පායම් වෙන්න ඈත දුර පළාත්වලින් පැමිණෙන සංචාරකයින් බෙහෙවින්ම මනාපයි.

ලේක් ෆොරස්ට් හෙවත් වැව අසල පිහිටි කැලෑව යන අරුත දනවන මෙතැන නිර්මාණය කර ඇත්තේ ගස් වැල් සපිරි කැලෑවක් මෙනි. වහලයේ පියසියට මෙන්ම, පොළවට අතුරා ඇත්තේ දැව වර්ගයි. කාමර වෙත යන මඟ ගස් වැල්වලින් සමන්විතයි. සඳලූතලවල පවා ඇත්තේ ගස් වැල්. ඒ නිසා බැලූ බැලූ අත දර්ශනය වන්නේ හරිත පැහැයයි.

ලේක් ෆොරස්ට් රාත‍්‍රිය ආලෝකවත් වන්නේ ද සූරිය බල ශක්තිය මගින්. මෙම පරිසරයෙහි ඇති ගස් වැල් සහ වගාව සඳහා යොදා ගන්නේ කාබනික පොහොරයි. වස විසෙන් තොර පරිසරයකැයි කීම වඩා අගනේය. නිදහසේ කාමරයට වී සිටින විට දැනෙන්නේ හරියට වැව් තාවුල්ලේ සිටින්නාක් වගේ.

හැන්දෑවේ ලස්සන දැක බලා ගැනීමට මෙහි පිහිනුම් තටාකය අවට කලාපය කදිම ස්ථානයක්. රත් පැහැ ගත් හිරු තිසා වැවේ ගිලී යන මොහොත සුන්දර සිත්තමක් වගේ.

සඳ එළිය වැටෙන දිනවලට සංචාරකයින් පසුදා පහන් වන යාමය තෙක් නිදි වරා සිටීමට රිසි වන්නේ, මැවෙන අපූරු දර්ශනය නිසාය. මහා සෑය, හෙවණැලි වැව් ජල කඳ මතට මුසු වී ඇති දර්ශනය මොන තරම් නම් සුන්දර දැයි කියා කීමට වචන නැති තරම්ය.

”බොහෝ දෙනෙක් මෙතැනට එන්නේ පොත්පත් ලියන්න, ඒත් නැති නම් එයාලගෙ බෞද්ධ දර්ශනයේ අවශ්‍යතාවයන් සපුරා ගන්න. විවිධ අධ්‍යයනයන්හි යෙදෙන විදේශිකයින් මෙතැනට එන්නේ නිදහසේ ඒ අධ්‍යයනවල නිරත වන්නයි. ඒ වගේම බෞද්ධ සම්මන්ත‍්‍රණ වැඩමුළු එහෙමත් මෙතැන පවත්වන්න පුළුවනි. දානමය පිංකම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් දානය පිළියෙළ කර ගැනීමට වෙන් වූ මුළුතැන්ගෙයක් සහ දාන ශාලාව වෙනමම නිර්මාණය කර තිබෙනවා. අටමස්ථානය වැඳ පුදා ගන්න එන බැතිමතුනට සහ උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න එන බැතිමතුනට අපි කිරි ආහාර පිළියෙළ කොට සකස් කර දෙනවා.”

ගෘහ නිර්මාණ ශීල්පී රවීන්ද්‍ර අතුකෝරළ තමාගේ මේ අපූරු නිමැවුම ගැන සහ එහි ඇති අනෙකුත් හැඩතල ගැන එලෙස කියයි.

”අන්තර්ජාතික ආහාර වට්ටෝරුවක සිට අපේකමට වඩාත් ලෙංගතු අහරක රසය මෙන්ම සුවඳැල් සහලේ බතක රස ද ඇති පදමට ආස්වාදය කළ හැකිය.

යෝග භාවනාවල යෙදීමට වෙනම තට්ටුවක් අපි තනා තිබෙනවා.

ඒ වගේම කුරුල්ලන් නැරඹීමට වැව වටේ රවුමක් යාමට සියලූ පහසුකම් අපි සූදානම් කරලා තියෙන්නේ. බයිසිකලේ පවා අපි ලබා දෙනවා.”

රවී තව තවත් විස්තර අපට කීවේ එලෙසින්.

 

සඳුන් ගමගේ

 

2019-08-09-ent-1578  2019-08-09-ent-1573 2019-08-09-ent-1574 2019-08-09-ent-1575 2019-08-09-ent-1576