Make it as a Culture with it’s roots : Ceylon Tea Lounge



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-15-ent-123

සාමාන්‍ය මිනිසුන් ගෘහ නිර්මාණ ශිල්පයට වඩාත් ආසක්ත වන්නේ සමස්ත වාස්තු නිර්මාණයේ චරිතාංගවලට (Characteristics) වඩා නිවසක හෝ වෙනත් ඕනෑම ගොඩනැගිල්ලක අභ්‍යන්තර අලංකරණය හෙවත් Interior එකට යැයි කීම ඔවුන්ගේ දැනුවත්භාවයට අවමන් කිරීමක් නොවේ. එය සාමාන්‍ය මනුෂ්‍යයෙකු අන් හැමදේටම වඩා මතුපිටින් පෙනෙන අලංකරණයට පළමුවෙන් වශීකෘත වන හෙයිනි. සියලු දේට වඩා අභ්‍යන්තර අලංකරණ විධි ගැන මිනිසුන් වැඩි වැඩියෙන් කතාබහ කරන්නේ ඒ නිසාවෙනි.

මෙවර Architecture විශේෂාංගය වැඩි වශයෙන් කේන්ද්‍ර වන්නේද එවැනිම Interior එකක් පිළිබඳවය. කොළඹ, කොල්ලුපිටියේ, ඩුප්ලිකේෂන් පාරේ ඉතාම මෑතකදී නිර්මාණය වූ Ceylon Tea Lounge හි නිර්මාණ පසුබිම මේ සමග දිගහැරේ.

Euro Asia Corporation (Pvt) Ltd සමාගමේ තේ නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතියේ ප්‍රදර්ශනාගාරයකට එක්කොට, තේ සංස්කෘතියේ අපූර්වත්වය දෙස් විදෙස් රසකාමීන්ට රස විඳීමට සුසැදි ස්ථානයක් ලෙසින් Ceylon Tea Lounge අවන්හල නිර්මාණය කර තිබේ. වර්ග අඩි හාරදහසකට ආසන්න භූමි ප්‍රමාණයක් ආවරණය කරමින් 45-60 අතර අමුත්තන් ප්‍රමාණයකට සංග්‍රහ සත්කාර කළ හැකි අවන්හලක් ලෙස මෙහි නිර්මාණ කාර්යය මෙහෙයවන ලද්දේ වරලත් වාස්තු විද්‍යාඥ කුමුදු එස්. මුණසිංහ විසිනි.

කුමුදුගේ ස්වීය නිර්මාණ කෞශල්‍යය මතුවන නූතනවාදී සුසංයෝගී (Modern Fusion) වාස්තු විද්‍යා ශෛලිය, ජාත්‍යන්තර වෙළෙඳ පොළට ආමන්ත්‍රණය කිරීමට තැනුණු මෙම Tea Lounge එක සඳහා සුභාවිත නිර්මාණ සම්ප්‍රදායක් ගොඩනංවයි. කෝපි සංස්කෘතිය (Coffee Shop) ජාත්‍යන්තරව හා දේශීයවද ජනප්‍රිය සම්ප්‍රදායයක් වී ඇති නමුත්, තේ වෙළෙඳ පොළ ජනප්‍රිය වූවාට තේ සංස්කෘතිය තවමත් දේශීය වශයෙන් සැඟවී ඇති නිසා එය ආකර්ෂණීය විෂයයක් කිරීම වෙනුවෙන් මෙම නිර්මාණ කාර්යය උර දරයි.

ප්‍රධාන පිවිසුම තඹ පැහැය ගත් තේ දලු (කොළ) දෙකකින් නිර්මාණ වීම හරහා එහි පිවිසෙන අමුත්තන්ට තේ නිෂ්පාදනයේ තේ දලු, තේ කොළ, තේ කුඩු සහ තේ පානය යන සෑම චරිත ලක්ෂණයක්ම අත්දකින්නටත්, ආස්වාදනය කිරීමටත් පසුබිම සලසයි. අවන්හලේ අභ්‍යන්තරය අලංකාර කිරීම මෙහි ප්‍රධාන නිර්මාණ කාර්යය වන නිසා එහි වර්ණ භාවිතය සම්පූර්ණයෙන්ම කළු, තද දුඹුරු, ලා දුඹුරු, කහ සහ තඹ පැහැය ආදී තේ කොළ, තේ කුඩු ආදියේ ස්වාභාවිකත්වය මතු කරන වර්ණ සුසංයෝග කිරීමට දැරූ උත්සාහය භාවිත නිර්මාණශීලීත්වය ඉස්මතු කරයි.

පයින් සහ මහෝගනී ආදි ලී වර්ගවලින් සම්පූර්ණයෙන්ම මෙරටදී නිර්මාණය කරන ලද ගෘහභාණ්ඩ මේ සඳහා භාවිත කර තිබේ. එමෙන්ම ජනප්‍රිය කෝපිහල්වල ඇති Lettering සම්ප්‍රදායේ ආභාසය එක්කරමින් තේ සංස්කෘතියට යාවන විවිධ වචන ඉංග්‍රීසි අක්ෂරවලින් ගොනු කිරීම මෙහි අභ්‍යන්තර අලංකරණයේ විලාසිතාව ඉස්මතු කිරීමට ගත් උත්සාහයකි.

 

2017-11-15-ent-122

 

මෙහි ආලෝකකරණය මගින් සමස්ත අවකාශය කාණ්ඩ දෙකකට ඡේදනය කර ඇතැයි හැඟේ. කහ පැහැති ටංග්ස්ටන් එළියෙන් ආලෝකමත් වන අවන්හලේ ප්‍රධාන කොටස් සම්පූර්ණයෙන්ම පාහේ අමුත්තන් තේ සංස්කෘතියේ හා අවන්හලේ මන්මත් කරවන ගතියට හසුකරගැනීම සඳහාම වසඟකාරී පරිසරයක් මැවීමට උපක්‍රමශීලීව භාවිත කර ඇත. නමුත් අවන්හලේ පිවිසුම් කොටසට නිල් පැහැති ආලෝක කිරණ විහිදුවන ආලෝකකරණ උපාංග එක්කිරීමෙන්, අවන්හලේ ප්‍රධාන අවකාශයත් පිවිසුම් කොටසට මායිම්ව ඇති මාර්ගයේ කලබලකාරී පරිසරයත් එකිනෙකින් බෙදා දක්වන ඡේදන රේඛාවක් සේ ක්‍රියා කරයි.

 

Location: R.A. De Mel Mw, Col -03.

Floor Area: Approx 4000 Sqft

Architect: Kumudu S. Munasinghe

Assistance: Yasasi Kolonne

 

Text and Photography : Malaka Weligodapola

 

2017-11-15-ent-120 2017-11-15-ent-121   2017-11-15-ent-124 2017-11-15-ent-125 2017-11-15-ent-126 2017-11-15-ent-127 2017-11-15-ent-128