ප්‍රේමය මම උපරිමයටම විඳලා තියෙනවා විඳවලා තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රේමය නම් කිමැයි. ප්‍රේමණීය මිනිසුන්ගෙන් විමසාලන චාරිකාවේ අද නැවතුම තවත් සොඳුරු සිතැති මිනිසෙකු අද්දරය. ඩිල්ෂාන් පතිරත්න නම් ඔහු හඳුන්වා දීමට, නෙක වැනුම් ගලපනු බැරි නැත. එහෙත් සරලවම ඔහු, ප්‍රේමයේ බස මෙන්ම ප්‍රේමයේ හඬ ද සුසර කර දහස් දන ප්‍රේමය දිනුවෙකි. ඉදින් අපි ඔහු හා ප්‍රේමය පිළිබඳ ප්‍රේමණීය සංවාදයකට මුල පිරුවෙමු.

“ඇසුණු විට දැනුණු විට හැඟු‍ණු විට ප්‍රේමය, ඒ කවරක්දැයි ඔබට කියනු හැකිද?” ප්‍රේමණීය මිනිසෙකු මංමුලා කරවන අසාධාරණ ඒ පැනය, මේ සොඳුරු සිතැති මිනිසා අද්දර අපි තැබුවෙමු. මුවග සිනහවක් රඳවා, ඇසිල්ලක කල්පනා ලෝකය වෙත පිවිස නැවත පැමිනුණු ඔහු වචන ගලපන්නට වූයේය.

“සමහරක් මිනිස්සුන්ගෙන් සමහරක් දේවල් අහපුවාම, බැලූ බැල්මට හිතෙන්න පුළුවන් ඕනෑම දේකට උත්තර දෙන්න පුළුවන් කියලා. ඒ වුණාට එහෙම උත්තර දෙන්න අමාරු ප්‍රශ්න තියෙනවනෙ මල්ලි”‍
ඔහු සිනහ සෙමින් සහෘද ස්වරයෙන් පවසන්නට වූයේය. සැබෑවකි. එය නෑසිය යුතුව තිබූ පැනයක් බව අපි දනිමු. එහෙත් ඒ හී සර ප්‍රේමණීය මිනිසෙකු ළය විනිවිද දැකීම වෙනුවෙනි.
“ප්‍රේමය කියන්නෙ මොකක්ද කියලා ඇහුවම මට එහෙම එකපාරට උත්තරයක් දෙන්න බෑ. ඒකට හේතුව ප්‍රේමය මම උපරිමයටම විඳලා තියෙනවා. විඳවලා තියෙනවා. ඒ නිසා මට එහෙම උත්තරයක් දෙන්න බෑ. ඒත් මගේ ෆීලින් එක බොරුවක් නෙවෙයි. ඒකනෙ යමුනා මාලනී සින්දුවකත් ලිව්වේ.

ප්‍රේමය ලොව හැමතැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී”‍

ඩිල්ෂාන් පතිරත්න යනු විටෙක කවියෙකි, ගී පද රචකයෙකි. ඇරඹුමම ඔහු අප සංවාදය මත සෞන්දර්ය තවරාලූයේ එබැවිනි. එහෙත් සෞන්දර්යයෙන් මතු ප්‍රේමයේ ගැඹුරට, අපි ඇවිද ගියෙමු. ප්‍රේමය සුන්දර යැයි කීමට හැකි මුත්, ප්‍රේමය තුළ අතහැරීම, දුක, වේදනාවද පවතින බවත් ඒවාද ප්‍රේමයේ කොටස් බවත් මේ අපූරු මිනිසා අප හමුවේ පැහැදිලි කරන්නට විය.

“මිනිහෙක් පරිණත වෙනකොට, වයසට යනකොට ඕක එච්චර ලෙහෙසි ප්‍රශ්නයක් නෙවෙයි.”‍

“මිනිසකුට ප්‍රේමය ජීවිතයේ විවිධ තැන්වල විවිධ අයුරින් මුණගැසිය හැකිය. ප්‍රේමය ජීවිත ඔස්සේ ගලා යයි. ගලා යන ප්‍රේමය සියලු‍ තැන්හි එක ලෙස පවතීද? එය වෙනස් වේද?”

අප ඔහු හමුවේ තැබූ මෙම පැනය ද සංවාදය තවත් දීර්ඝ කරන්නට නිමිති සැපයූවක් විය.

“ඒක හරියට සිදුරකින් ඇතුළට වතුර කාන්දු වෙනවා වගේ දෙයක්නෙ. ඒ මොහොතේ අපිට තියෙන ලොකුම අඩුව ප්‍රේමය විසින් පුරවනවා. එතකොට ඒ වෙලාවේ ඒක වෙනස්.”‍

විවිධ තැන්වල ප්‍රේමය විවිධ හැඩතල ගන්නා බව ඩිල්ෂාන් පතිරත්න පැහැදිලි කරන්නට වූයේය.

“වයසට ගිහිල්ලා කාලයත් එක්ක හැරිලා බැලු‍වම ලොකු මැජික් එකක් නෑ වගේ දැනෙන්න පුළුවන්. නමුත් ඒ මොහොත පුරවන්නෙ ප්‍රේමය. ප්‍රේමයත් එක්ක ජීවත් වෙන්න තියෙනවා නම් මරු. හැබැයි ප්‍රේමය කියන්නෙ සාහිත්‍යයම නෙවෙයි.”‍
අප සහෘදයා සාහිත්‍යකරුවෙකි. ඔහු කී කතාව අපූරු එකක් වූයේ එබැවිනි. ප්‍රේමයේ හැඩතල, ප්‍රේමයේ දැනීම් විවිධ තැන්වල විවිධ ස්වරූප ගන්නා බව ඔහු පැහැදිලි කළේය. ප්‍රේමය පිළිබඳ සපත කොට කීමට නොහැකි බවත්, හෙටත් ප්‍රේමයක් මුණගැසිය හැකි බවත් මේ ප්‍රේමණීය මිනිසා අප සමඟ කීය. එසේ නම් ප්‍රේමයට ඇති සීමා වාරණ පිළිබඳව ද අප කතා කළ යුතුමය. එම හැඟු‍මෙන් ඊළඟ පැනය අපි ඔහු හමුවේ තැබුවෙමු. එය ද නිශ්චිත පිළිතුරක් නොමැති පැනයක් බව අපි දැන සිටියෙමු.
“සංස්කෘතිය සදාචාරය නීති රීති වගේ ගොඩක් දේවලින් ප්‍රේමයට සීමා සලකුණු කරලා තියෙනවා අපි ජීවත් වෙන ලෝකය ඇතුළේ. මෙතැනදි ප්‍රේමයට අසාධාරණයක් සිද්ධ වෙනවද? නැත්නම් ප්‍රේමයත් එක්කම මේ දේවල් පැවතුණාට කමක් නැද්ද?”
පිළිතුරු තරමක් බරසාරය.

“ඔය දෙකේම අපි ඉන්නවනෙ. මම හරි පරිස්සමට උත්තරයක් දෙන්නම්. සාර්ථක විවාහ ජීවිතයක් ගත කරමින් සිටින කෙනෙක්, තමන්ගේ සැමියාට හෝ බිරිඳට පමණක් එක සිතින් ආදරය කරමින් ඉන්නවා. ඒක නරක දෙයක් නෙවෙයි, හොඳ දෙයක්නෙ. එයා හදාගන්නවා දෙයක්, ප්‍රේමය කියන්නෙ සම්මතයම තමයි කියලා. ඒකෙත් වරදක් නෑ. එයාට අනුව ඒක හරි.”‍

ප්‍රේමය සම්බන්ධව පවතින සම්මත සම්මුතීන් හි වරදක් නැතිද? අපි තරමක් වික්‍ෂිප්ත වීමු. එහෙත් පැහැදිලි කිරීම අවසන් වී නොතිබුණි.

“ඔන්න තව කෙනෙකුට කලින් කෙනා හදාගත්ත සම්මතයෙන් පිට තැනක ප්‍රේමයක් ඇති වෙනවා. එයා ඒක විඳිනවා. එයා කියනවා ප්‍රේමය තුළ අසම්මතයත් සාධාරණයි කියලා. ඒක අසාධාරණයි කියලා කියන්නත් බෑනෙ. ඔය හදාගත්ත හැම නිර්ණායකයක්ම තම තමන්ට දැනෙන පරිදි හදාගත්ත ඒවා. හැබැයි ඔය කොච්චර කිව්වත් අපි අන්තිමට සංස්කෘතික රාමුවේ හිර වෙනවා. මොකද අපි සංස්කෘතික රටක්නෙ.”‍

අවසන් වදන් පෙළ අතර සැඟවුණු සිනහවක් ද වූ බව කිව යුතුය. එහි අරුත යථාර්ථය පිළිබඳ ඔහු තුළ වන විශ්වාසයක් හෝ අවබෝධයක් විය නොහැකිද? අපි සිතුවෙමු. ඩිල්ෂාන් වෘත්තියෙන් නීතිඥවරයකු වීමත්, කලාව සමඟ ආධ්‍යාත්මිකව බැඳී සිටීමත් හේතුවෙන් ප්‍රේමය සමඟ මානව ගනුදෙනු සිදුවන ආකාරය පිළිබඳ අපූරු කතා රැසක් අප සංවාදයට උදාහරණ බවට පත් විය. ඒ සියල්ල මෙහිලා ලියා තැබිය නොහැකිය. එහෙත් විටෙක සම්මතය ප්‍රතික්ෂේප කරන මිනිසුන් තවත් විටක සම්මතය වැළඳ ගන්නා ආකාරය ඩිල්ෂාන් උදාහරණ සහිතව විස්තර කළේය.

“අපි සම්මතයට ගියාම සම්මතය හොඳයි කියනවා. අසම්මතයට ගියාම අසම්මතය හොඳයි කියනවා. ඒක බොහොම ලස්සන හැඟීමක්. හොඳ නරක පැත්තකින් දාලා ඒ මොහොතේදි ඒක දරාගත්තා නම් ලේසියි කියලා මම හිතන්නෙ. හැබැයි ගොඩක් අල්ලගන්න ගියොත් නම් කෙලවෙනවා.”‍
මේ ප්‍රේමණීය සංවාදය සිනහව සපිරි ළබැඳි හැඩයක් ගත් බවද නොකියාම බැරිය. අප ඇවිද ගිය දුර අච්චුව අකුරු තුන් හාරදහසකට සීමා කරනු නොහැකිය.
ඩිල්ෂාන් පතිරත්න මෑතක ලියා ජනාදරයට පත් වූ ගීයක් අප මතකයට නැගුණි. මේ චාරිකාවේ තැනකදී අප හිටිහැටියේම මෙවන් පැනයක් ඔහු හමුවේ තැබුවේ එබැවිනි.

“ප්‍රේම කතා සම්පූර්ණ නැද්ද? ඇයි ප්‍රේමය අසම්පූර්ණයි කියන්නෙ?”

ප්‍රේමණීය පද පේළි ගැලපීමේ රුසියකු වන ඩිල්ෂාන් මෑත ලියූ අසම්පූර්ණ කතාවක් පිළිබඳ ගීය අප නිමිත්ත බවට පත් විය.
“ඒක මල්ලි ඇත්ත කතාවක්. මම හිතන්නෙ ප්‍රේමය ප්‍රකාශනයක් විදිහට ගන්නකොට අසම්පූර්ණයි තමයි ඒ කතාව. සම්පූර්ණ ප්‍රේම කතා ඇති බැලූ බැල්මට. ඒත් එහෙම තියෙන්න බැහැ. මට හිතෙනවා හැම ප්‍රේම කතාවක්ම අසම්පූර්ණයි කියලා. දවසින් දවස ප්‍රේමය පිරෙනවා කියන්නෙම එතැන පිරෙන්න හිස්තැනක් තියෙන්න එපැයි. අපි ප්‍රේමය හොයනවා. මම හිතනවා පවතින කතාවක් නම් අසම්පූර්ණයි. සම්පූර්ණ වෙච්ච ගමන් කතාව ඉවරයි.”‍
එසේනම් මේ දිගු ප්‍රේමණීය සංවාදය අකුරු කර සම්පූර්ණ කරන්නේ කෙසේද? අපේ හැඟු‍මත් එවැන්නක්ම විය. බොහෝ දුර ඇවිද ගිය චාරිකාවේ සංක්ෂිප්ත කියැවීම නිමා කරන්නට, අසම්පූර්ණ ප්‍රේමය පිළිබඳ ඩිල්ෂාන් පතිරත්න නම් ප්‍රේමණීය වදනින් රටා වියන්නාගේ ගී වියමනම සුදුසු යැයි අපට සිතුණි.

“ලියා අවසන් කරන්නට බැරි
විඩාබර පෙම් කතාවක්...
කියා දෙන්නම් ආයෙමත් අපි
හමුවුණොත් එක වතාවක්...
සුපුන් සඳටත් තියෙනවා
ඇති අසම්පූර්ණ කතාවක්...”‍

• සටහන: චමිඳු නිසල් ද සිල්වා