මම හොඳට කන බොන කෙනෙක්, හැබැයි නරක කෙනෙක් නෙවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජිප්සීස් සංගීත කණ්ඩායමේ සුනිල් පෙරේරා හෙවත් ආදරණීය සුනිල් අයියා අද ජීවතුන් අතර නැත. වර්තමානයෙහි ජිප්සීස් කණ්ඩායමට නායකත්වය  ලබා දෙන්නේ සුනිල් පෙරේරා අයියාගේ මල්ලි පියල් පෙරේරාය. මේ පියල් පෙරේරා, ජිප්සීස් කණ්ඩායමට අපූරු තරුණ​යෙක් එක්කර ගත්තේ ගායන හා වාදනය වෙනුවෙනි. නමුදු ටික දිනක් ගතවන විට මේ තරුණයාට වැඩි දෙනෙක් කිව්වේ සුනිල් අයියාගේ ගීත ගයන්න   යැයි කියාය. ඒ තරමටම ඔහුගේ හඬ සුනිල් අයියාගේ හඬට සමීප බවක් ගෙන දීම ඊට හේතුවය. ඉතින් මේ විදියට සුනිල් අයියා ගැයූ ගීත ගයමින් ජිප්සීස් කණ්ඩායමට එක්ව සිටින ඔහු කවුද? 

ඔබගේ නම?  

කවිඳු ෂෙනාල් නිශ්ශංක.

වැඩි දෙනෙක් කතා කරන්නේ? 

ෂෙනාල් 

කවුද මේ ෂෙනාල්? 

සංගීතය ඔස්සේ යමක් කරන්න උත්සාහ ගන්න කොල්ලෙක්.

වයස? 

අවුරුදු 21යි. 

ඉගෙන ගත්ත පාසල, ගෙදර විස්තර සහ ගම ගැනත් කියමු? 

ගම ගම්පහ. පාසල් ගියේ කොළඹ නාලන්දාවට. අම්මා - තාත්තා අයියා සහ මම ගෙදර විස්තර එහෙමයි. සාමාන්‍ය පවුලක්. 

මොන වගේ ඉලක්කයක් ඇතිවද ඉගෙන ගත්තේ? 

ඉලක්කය කෙසේ වෙතත් ඉගෙනීම් හරියට කරන්න සිද්ධ වුණා. අපේ රටේ විදියට යා යුතු ක්‍රමයක් තියෙනවනෙ. ඉතින් ඒ විදියට යමින් ඉගෙනීම් කටයුතු කළා. හැබැයි ඒලෙවල් නම් කළේ නැහැ. ‘මෙච්චර කළ එකේ ඇයි මචං ඒලෙවල් කරන්නෙ නැත්තේ?’ කියලා යාළුවො ඇහුවා. ඒත් මට ඕන දේ කරන්න හිතාගෙන මියුසික් කරන්න පටන් ගත්තා. හැබැයි මානව සම්පත් කළමනාකරණ අංශයේ උසස් අධ්‍යාපනය අදියර තුනක් විතර පාස් වෙලා හිටියේ. ඒත් මගේ සම්පූර්ණ කැමැත්ත තිබුණේ මියුසික්වලට. 

මියුසික් අංශයට ආවේ රියැලිටි වේදිකාවෙන්ද? 

නැහැ. 

කොහොමද  ජිප්සීස් කණ්ඩායමට එක්වෙන්න අවස්ථාව ලැබුණේ? සුනිල් අයියා වගේ ඒ හඬට සමානව ගී ගයන්න පුළුවන් නිසාද? 

ඇත්තටම එහෙම දෙයක් නිසා නෙවෙයි. අනෙක සුනිල් අංකල් කියන්නෙ ලෙජන්ඩ් කෙනෙක්. එයාව අනුගමනය කරන්න අපට හිතන්නවත් බැහැ. හැබැයි මම සංගීත ශිල්පියකු ලෙස ගී ගයද්දී හැමෝම කිව්වේ ඒ වගේ කියායි. ඒක මම හිතලා කළ දෙයක් නෙවෙයි. පටන් ගත්තෙ බටහිර සංගීත අංශයෙන්. රාත්‍රි සමාජ ශාලා සහ හෝටල්වලදී මට නිතරම ගයන්න වුණේ බටහිර ගීත විතරයි. නමුත් එක් අවස්ථාවකදී අපේ බෑන්ඩ් එකට සිංහල ගීත ගයන්නත් සිදුවුණා. ජිප්සීස්ලගෙ ගීත කට පාඩම්. ඊට පස්සේ ඉතින් ට්‍රයි එකක් දීලා බැලුවා. ක්ලැරන්ස් මහතාගේ, සුනිල් පෙරේරා මහතාගේ ගී ගයද්දී යාළුවො කිව්වේ මචං පොඩ්ඩක් හඬ පාලනය කරලා කියන්න එතකොට සුනිල් පෙරේරාම තමයි කියලයි. ඒත් මම ඒක එච්චර ගාණකට ගත්තෙ නැහැ. එහෙම ඉන්නකොට බෑන්ඩ් එක වෙන්වුණා. මම තනිවම මගේ ගමන යන්න පටන් ගත්තා. එතකොට  කිව්වෙ මචං ඔයා නම් සුනිල් වගේම ගයනවා කියලයි. 

ජිප්සීස් කණ්ඩායමට මාව තෝරාගෙන තියෙන්නේ සුනිල් අංකල්ගේ  ගායනයට ආදේශකයෙක් විදියට නෙවෙයි. දුෂාන් ජයතිලක අයියා ජිප්සීස් කණ්ඩායමෙන් ඉවත් වෙලා යද්දී ජිප්සීස්ලට අවශ්‍ය වාදන ශිල්පීන් ගැන පියල් අංකල් දුෂාන්ට කියලා තියෙනවා. ඉතින් ඒ විදියට තමයි දුෂාන් අයියා, මාව හඳුන්වා දුන්නෙ. බටහිර ගීත ගයමින් ගිටාරය වාදනය කරන ශිල්පියෙකු ලෙස තමයි මම ජිප්සීස් කණ්ඩායමට බඳවා ගත්තෙ. ඒත් කාලයක් යනකල් මම සුනිල් අංකල්ගේ ගීත ගැයුවේ නැහැ. ඒවා කිව්වේ පියල් අංකල්. කොහොමටත් මම ගියෙත් සුනිල් අංකල්ගේ ගී ගයන්න නෙවෙයිනෙ. අද මට පොඩ්ඩක් හරි එහෙම ගයන්න පුළුවන් නම් ඒක ලොකු ගෞරවයක්. එතුමාට කිට්ටු කරන්න නම් අපි කාටවත් බැහැ. ජිප්සීස් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස බටහිර ගීත ඇතුළු විවිධ තාලයට ගීත ගයමින් වාදන ශිල්පියකු ලෙස කටයුතු කරන්න ලැබීම ලොකු අවස්ථාවක්. 

නමුත් අද බොහෝ දෙනා ඔබට කියන්නෙ සුනිල් අයියගෙ ගීත ගයන්න කියලා නේද? 

අද වනවිට නම් ඇත්තම කතාව ඒකයි. මම ඒක හිතලා කරන දෙයක් නෙවෙයි. 

ෂෙනාල්ගේ ප්‍රියතම ගායකයා...

ගිටාර් එක අතට ගත්තොත් ඉංග්‍රීසි ගීත හැර මම වැඩියෙන්ම කැමති ක්ලැරන්ස්ගේ ගීත ගයන්නයි. සිංදු කියන්න හේතුව වුණෙත් එතුමා. 

ජිප්සීස් බෑන්ඩ් එකේ සාමාජිකයකු වූ පසුව මොන වගේ හැඟීමක්ද ඇති වුනේ? 

ඒක ඇත්තටම හිතා ගන්න බැරි තරමේ දෙයක්. පියල් අංකල්  කෝල් කළාම මට විශ්වාස කරන්න බැරි වුණා. ලංකාවේ දැනට තියෙන පැරණිම සංගීත කණ්ඩායම වගේම ජනප්‍රියම සංගීත කණ්ඩායම ජිප්සීස්. නොකැඩී ප්‍රේක්ෂක ප්‍රතිචාර අඛණ්ඩව ලබන එකම කණ්ඩායම. මගේ සිහින අතර තිබෙන එක් සිහිනයක් සැබෑවීමක්. පියල් අංකල්, ලාල් අංකල්, රංග ඇතුළු හැමෝටම තියෙන්නේ අපටත් වඩා තරුණ අදහස්. මමයි රනුකයි තමයි ඒ කණ්ඩායමට නවක. 

ෂෙනාල් අඳින පළඳින විදිය හරි වෙනස්. ටැටූ එහෙමත් සිරුරේ දකින්න ලැබෙනවා. ඇයි මේ වෙනස? 

ඒ කාලයේ ඉඳලා මම මගේ ස්ටයිල් එකක් හදාගෙන යන්ක කැමතියි. කාලයක් අපේ රටේ කරාබු දාන, පච්ච හෙවත් ටැටූ ගහන අය දිහා බැලුවෙ අමුතු විදියට. පොඩි කාලයේ ඉඳලම මම ආසා කළේ රොක් මියුසික්වලට. මගේ සිරුරේ තියෙන ටැටූවලින් වැඩි හරියක් රොක් මියුසික්වලට අදාළ සිංදු දෙකක කොටස්. ඒ රිද්මය තමයි මට එදා ඉඳලා තිබුණෙ. 

ෂෙනාල්ගේ ඔය විදිය ගැන පෙම්වතිය මොනවද කියන්නේ? 

මට තවම නම් එහෙම ගැහැණු ළමයෙක් නැහැ. කාටවත් පෙන්වන්න හෝ සමාජයේ කැපී පෙනෙන්න නෙවෙයි මම විලාසිතා කරන්නේ. මගේ කැමැත්තට මගේ ආසාවට තමයි ඒ ඔක්කොම කරන්නේ. ලැබෙන ප්‍රතිචාර දිහා බලද්දී නම් පෙනෙන්නෙ වැඩි දෙනෙක් මගේ මේ විදියට කැමැති බවයි. 

ඇයි පෙම්වතියක් ආදරයක් නැත්තේ?  ඒ ගැන හිතන්නෙ නැද්ද? 

දැන්ම ඕන නැහැ. මම නිදහසට බොහොම කැමති කෙනෙක්. ඒ නිසා ඒ ගැන තවම හිතලා නැහැ. 

ෂෙනාල් මොන විදියෙ කෙනෙක්ද? 

සෑම දෙයක් ගැනම වෙනස් විදියට හිතන කෙනෙක්. වෙලාවකට තනියම ඉන්න කැමැතියි. තවත් වෙලාවකට පිරිසක් එක්ක ඉන්න කැමැතියි. හැබැයි මම නරක මනුස්සයෙක් නෙමෙයි. 

නරක නැහැ. හැබැයි අමුතුයි?

අන්න හරි. විනාශකාරී චරිතයක් නෙමෙයි. තහනම් දේ කරන කෙනෙක් නෙවෙයි. හැබැයි මම හොඳට කන බොන කෙනෙක්. ඒ වගේම ශරීර සෞඛ්‍ය ගැනත් හිතන කෙනෙක්. 

සුනිල් අයියාගෙ ගීතවලින් ෂෙනාල් වඩාත්ම කැමති? 

මා සතුටින් බව ඔබට පෙනෙයි නම්, ඔබ දුටු ඒ මුල් දිනේ සහ වයසට යනවා ගීතවලට පුදුම විදියට මම ආසයි. වයසට යනවා සිංදුව සුනිල් අංකල් හැර අපට ගයන්න බැහැ. 

ජීවිතය ගැන කිව්වොත්? 

ජීවත්වන මොහොත සතුටින් ඉන්න. 

සඳුන් ගමගේ