සාම්ප්‍රදායික නැටුම් වැයුම් මැද ලංකාවට අලුත් හෝටල් පාසලක්

  • 29-04-2026


ජාතික යොවුන් සේනාංක 'දිගම්පතහ හෝටල් පුහුණු පාසල' සාම්ප්‍රදායික නර්තන වාදන අංගයන්හි රස මිශ්‍රිතව විවෘත කළා.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ස්ථාපිත, දැයේ තාරුණ්‍යය සවිබල ගන්වන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන ජාතික යොවුන් සේනාංකයට අනුබද්ධිත නවතම හෝටල් පුහුණු ශාඛාව ලෙස 'දිගම්පතහ හෝටල් පුහුණු පාසල' පසුගියදාක  අතිඋත්කර්ෂවත් ලෙස  විවෘත කෙරුණේ දේශීය  හෝටල් ක්ෂේත්‍රයේ නාමය බබළවන, වෘත්තීය නිපුණතාවයෙන් හෙබි අනාගත වෘත්තිකයන් බිහිකිරීමේ අරමුණින් .


එදා ඒ  අවස්ථාව වර්ණවත් කරන්න  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඇරියුම් ලද්දේ  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය  ගමගෙදර දිසානායකයි. ඇමැතිවරයා  උත්සව සභාව අමතමින් දැයේ තරුණ පරපුර වෙත අතිශය වැදගත් පණිවිඩයක් ලබා දුන්නා.


"මෙම පුහුණු ආයතන හුදෙක් රැකියා නිෂ්පාදනය කරන කර්මාන්තශාලා නොවේ. NVQ සහතිකය ලබාගත් පමණින් පසුදිනම රැකියාවක් අතට පත්වන්නේ ද නැත. අප මෙතැනින් සිදුකරන්නේ සාර්ථක වෘත්තීය ජීවිතයකට අවශ්‍ය මූලික සුදුසුකම සහ පෞරුෂය නිර්මාණය කිරීමයි. ඉන්පසුව පුළුල් වැඩ ලෝකය තුළ ඇති අප්‍රමාණ අවස්ථා සිය දක්ෂතාවයෙන් ග්‍රහණය කරගැනීම තරුණයා සතු වගකීමක්,"  නියෝජ්‍ය ඇමැතිවරයා කීවෙ එහෙම.
නූතන සමාජයට හුදෙක් දැනුමෙන් පමණක් සන්නද්ධ වූවන් නොව, අනුන්ගේ දුක හැඳිනෙන 'සහකම්පනයෙන්' යුත් පුරවැසියන් අත්‍යවශ්‍ය බවත්, විනය, නායකත්වය සහ පෞරුෂ වර්ධනය ඔස්සේ  එවන් අභිමානවත් පරපුරක් බිහිකිරීමට ජාතික යොවුන් සේනාංකය සිදුකරන මෙහෙවර ප්‍රසංශනීය වගත් ඇගයුම් ලෙසින් ප්‍රකාශ කළෙත් නියෝජ්‍ය අමාත්‍යවරයාමයි.  ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදී ශිෂ්‍ය කේන්ද්‍රීය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම සහ ජාතික තරුණ ප්‍රතිපත්තියක් සකස් කිරීම ඔස්සේ රජය තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් ගෙන ඇති ප්‍රතිපත්තිමය පියවර පිළිබඳව ත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළා.
ජාතික යොවුන් සේනාංකය මේ වන විට දැයේ තාරුණ්‍යය වෙනුවෙන් වෘත්තීමය අවස්ථා පුළුල් කරමින් දඹුල්ල, කතරගම සහ නවතම ශාඛාව ලෙස දිගම්පතහ ආදී වශයෙන් පුළුල් හෝටල් පුහුණු පාසල් ජාලයක් ක්‍රියාත්මක කරනවා.
මෙම සමාරම්භක උත්සවය සඳහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආසන සංවිධායක  සුනිල් බියන්විල, දඹුල්ල නගරාධිපති වසන්ත කේ. රාජමන්ත්‍රී, දඹුල්ල ප්‍රාදේශීය සභා සභාපති ඩබ්. එම්. තිලකරත්න, දඹුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්. එම්. සරත් කුමාර, දඹුල්ල ප්‍රාදේශීය සභා ලේකම් එන්. එම්. උපේක්ෂා කුමාරි යන මහත්ම මහත්මීහු ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.
එමෙන්ම, ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බී. ඒ. ගාමිණී වික්‍රමපාල මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ පැවති මෙම අවස්ථාවට, අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය, සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) ඉනෝකා ගුණවර්ධන, මධ්‍යම පළාත් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සේනක ප්‍රියශාන්ත, හෝටල් පුහුණු පාසලේ විදුහල්පති විශ්ව ගෞරව විශ්‍රාම කීර්ති මේජර් ආර්. සෙනවිරත්න, දිගම්පතහ පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපති ‍මේජර් ආර්.ඒ.සී.අයි. රණවීර  ඇතුළු විශාල පිරිසක්බ් සහභාගී වූහ.


මීට අමතරව, සංස්කෘතික ත්‍රිකෝණ හෝටල් සංගමය නියෝජනය කරමින් ජෙට්වින්ග් ලේක් හෝටලයේ සාමාන්‍යාධිකාරී නලින් හේරත්, අලියා හෝටලයේ සාමාන්‍යාධිකාරී කසුන් විජේරත්න යන මහත්වරුන් ද, සීගිරිය ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් අශාන් කාලිංග, සීගිරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රදීප් සිරිවර්ධන සහ ඉනාමලුව ස්විස් පුහුණු මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරී ඩබ්. ඩබ්. බී. ජී. බණ්ඩාර යන ආරාධිත නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්වුණා.
එමෙන්ම, ජාතික යොවුන් සේනාංකයේ පළාත් අධ්‍යක්ෂවරුන්, මධ්‍යස්ථානාධිපතිවරුන්, දඹුල්ල හෝටල් පුහුණු පාසලේ සහ දිගම්පතහ පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරීන් ඇතුළු ජාතික යොවුන් සේනාංක කාර්ය මණ්ඩලය ද, ආරාධිත දෙමාපියන් සහ පුහුණුලාභීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.