සින්දු අයිතිය -වලිය ඉදිරියට

ප්රසංග සංවිධායකයෝ කියනවා ගීතයේ අයිතියට කර්තෘභාග ගෙවන්න ගියොත් ශෝ කරන්න වෙන්නෙ නෑ ශෝ කරලා හමාරයි අපිට ඒක කරන්න බෑ කියලා.
තවත් අය කියනවා මුලින් ශෝ කරන්න ත්රීවීලර් එකේ ආපු සමහර ප්රසංග සංවිධායකයෝ දැන් එන්නෙ සුපිරි ජීප් මොඩ්ල් වාහන වලින් කියලා.
අනික් අතට ජිප්සීස් නිර්මාතෘ සුනිල් පෙරේරා ඇතුළු ගායකයන් දෙතුන් දෙනෙකු ඇරෙන්න ලාංකික සංගීත ක්ෂේත්රයේ කිසිම ගායකයෙක් හෝ ගායිකාවක් එදා මෙදාතුර කිසිම ගී පද රචකයෙකුට හෝ සංගීතඥයෙකුට කර්තෘභාග ගෙවලා නෑ.ලංකාවෙ සහ වෙනත් රටවල ප්රසංග පවත්වමින් අවුරුද්දට කෝටිගණන් ඉපයුවත් ඒ එක ගායකයෙක් ගායිකාවක් රුපියලක්වත් ගී පද රචකයාටවත් සංගීතඥයාටවත් දෙන්නෙ නෑ.හැබැයි ගායකයා හෝ ගායිකාව වාහකයෙක් විදිහට ලෝකයටම අරන් යන ගීතය උපද්දවන්නෙ ගී පද රචකයා සහ සංගීතඥයා.
අනෙක් අතට cover songs කරන ගායක ගායිකාවන් මුල් ගායකයාට සහ ගායිකාවට කරන අසාධාරණය .
මෑතකාලීනව මැණිකේ මගේ හිතේ ගීතය ඇතුළුව බොහෝ ගීතවලට ඒ අසාධාරණය සිද්ධ වුණා.මැණිකේ මගේ හිතේ cover song එක කරපු ඒ ගායිකාවම ඉන්දියාවේ ගිහින් ප්රසංගවල ආත්මා ලියනගේගේ සින්දු කියන්න ගිහින් ඒ ආත්මාගෙ හිතට දනවන ආත්මීය ගී අමු අමුවෙ කෑවා නෙවෙයි මැරුවා.
ඒ වගේම රූපවාහිනී නාලිකාවල reality show වලදි කරන්නෙත් ඒ අසාධාරණයමයි.තරගය වෙනුවෙන් ඒ ගී ගැයුවට කමක් නෑ මුල් හිමිකරුවන්ට උපරිම සාධාරණයක් ඉටු කරලා.ඒත් ඊට පස්සෙ ඒ සමහර නාලිකා සහ ඒ තරගකරුවන් ඒ සින්දු තමන්ගෙ කරගෙන උපයන විදිහ තුහ් චී කියලා තමයි කියන්න තියෙන්නේ .
ගීත අයිතියේ වලිය බෝ කතා මැද ඇදෙද්දී ප්රවීණ ගී පද රචක නිලාර් .එන් කාසිම් මේ ගැන මෙහෙම කතා කළා.
ගීතය සම්බන්ධව ශිල්පීන් දෙතුන් පැත්තකට බෙදිලා අදහස් දක්වන ආකාරයක් පහුගිය දවස්වල සමාජ මාධ්ය වලින් දකින්නට ලැබුණා.

කවුරුවත් මෙහෙම බෙදෙන්න උවමනා නැහැ. මේ සම්බන්ධව රටේ පිළිගත් නීතියක් තියෙනවා.2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතට අනුගතව ක්රියාත්මක වෙනවා විනා නීතියට පයින් ගහලා කාටවත් කැලේ පනින්න බැහැ. එහෙම උනොත් බිඳවැටෙන්නෙ සමස්ත කර්මාන්තයමයි.
රජය පාර්ශ්වයෙන් බුද්ධිමය දේපළ සම්බන්ධව ක්රියාත්මක වන්නේ NIPO හෙවත් ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය. .ACPOSL නම් වූ සාමූහික සංගමය තමයි එම කාර්යාලයේ ලියාපදිංචි ගීත/සංගීත කර්තෘ හිමිකම් සඳහා කටයුතු කරන ශ්රී ලංකාවේ එකම නීත්යානුකූල සාමූහික සංගමය. එය ක්රියාත්මක වන්නේ ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) මාර්ගෝපදේශ අනුව. මීට අනුකූලව කර්තෘ භාග ගෙවීමේ කාර්ය පටිපාටිය ගැසට් කරලත් තියෙනවා.
එම මාර්ගෝපදේශ මත බුද්ධිමය දේපළ නීතිය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ හමුවක් පසුගියදා NIPO සහ ACPOSL ඒකාබද්ධව සංවිධාන කර තිබුණා. ගී පද රචකයන්, සංගීතවේදීන්, ප්රසංග සංවිධායකයන්, රජයේ නියෝජිතයන් වගේම කීර්ති පැස්කුවල්, පියල් පෙරේරා, සේනානායක වේරලියද්ද, කසුන් කල්හාර, කුමාරසිරි පතිරණ, භාතිය/සන්තුෂ් සහ නලින් පෙරේරා යන ගායක ගායිකාවන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වුණා. මේ සමග ඇත්තේ එහි ඡායාරූප.
බුද්ධිමය දේපළ නීතිය ක්රියාත්මක කිරීම සම්බන්ධව භීතියට පත් කිහිපදෙනෙකුගෙන් යුතු කල්ලියක් මෙයට එරෙහිව මාධ්ය වෙත අදහස් දැක්වීම නිසයි පසුගිය දවස්වල විසංවාදයක් ඇතිවුණේ.
එහෙම වැරදි අර්ථකථන කරන්නෙ නැතුව රටේ පවතින නීතියට අනුව අපි හැමෝම කටයුතු කරනවා නම් කිසිම ප්රශ්නයක් නැහැ. එතකොටයි ගීතයට සම්බන්ධ හැම පාර්ශවයටම සාධාරණයක් වෙන්නෙ.





