හදවත් දිනා ගැනීම මගේ සුන්දරම හීනයක්
අමේලියා... මෙවර ‘Popular awards’ උළෙලේ දී ජනප්‍රියම සංගීත කණ්ඩායම ලෙසින් Avatar සංගීත කණ්ඩායම සම්මාන ලැබුවා. ෙමාකද හිතෙන්නේ?
ඇත්තටම හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායම විදියට Avatar සංගීත කණ්ඩායම සම්මාන දිනා ගනිද්දී ගොඩක් සතුටුයි. අපේ සංගීත කණ්ඩායමට අපේ රසික රසිකාවියන්ගෙන් ලොකු ආදරයක් ලැබෙන බව අපි දැනගෙන හිටියා. ඒ අයගෙන් අපිට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ලැබුණු ආදරයත් එක්ක ලැබුණු සම්මානය ගැන තියෙන සතුට වචනවලින් කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරමට ඒක පුදුමාකාර සතුටක් වුණා.
Avatar සංගීත කණ්ඩායමට ඔයා සම්බන්ධ වෙන්නේ කොයි කාලයේද?
සංගීත කණ්ඩායමත් එක්ක මම ගිය වසරේ දී සම්බන්ධ වුණා. ඒ වෙද්දි ඒ සංගීත කණ්ඩායම ආරම්භ කරලයි තිබුණේ. ඉතින් නබීන් අයියා මට මේ සංගීත කණ්ඩායමට කතා කළා. චතුරංග අංකල් එයාගේ Avatar සංගීත කණ්ඩායමට මාව එකතු කර ගත්තා. සංගීත කණ්ඩායමට සම්බන්ධවෙලා මුලින්ම මාතර තිබුණු එළිමහන් සංගීත ප්‍රසංගයක මම ගායනා කළා. Avatar සංගීත කණ්ඩායමේ අයියලා ආදරෙන් මතක් කරන්න ඕනෑ. ඒ අයගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.
සංගීත කණ්ඩායමේ එකම කාන්තා නියෝජනය අමේලියයි. සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙන්න කැමැත්තක් තිබුණද?
ඔව්... පුංචි කාලේ ඉඳන් මම සංගීතයට හරි කැමතියි. මුලින්ම මම සංගීත ක්ෂේත්රයේ තනියම හෙමිහිට ගමනක් ගිය කෙනෙක්. ඒ වුණාට වෙනසකටත් එක්ක සංගීත කණ්ඩායමකට එකතු වෙන්න ආසා කළා. කණ්ඩායමක් විදිහට සංගීත ගමනක් යන්න මම ආසා කළා. අද මට හිතෙනවා මම හරිම සංගීත කණ්ඩායමට එකතු වුණා කියලා. Avatar සංගීත කණ්ඩායමේ අපි හැමෝම එකමුතුවෙන්, සහයෝගයෙන් කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරනවා. එවැනි සංගීත කණ්ඩායමකට සම්බන්ධ වීමම මගේ වාසනාවක් කියලයි මම හිතන්නේ.
සංගීත කණ්ඩායමට සම්බන්ධ වීම ගැන දෙමාපියන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?
කොහොමටත් මගේ ඩැඩීට තමයි සංගීත කණ්ඩායමෙන් මුලින්ම දුරකථන ඇමතුම ලැබිලා තිබුණේ. ඒ වෙද්දි මගේ වයස අවුරුදු 15 යි. මම සංගීත ක්ෂේත්රයට සම්බන්ධ වෙනවට ඩැඩීගේ කැමැත්තක් තිබුණා. ඩැඩීටත් සංගීත කණ්ඩායමක් මුල් කාලයේ දී තිබිලා තියෙනවා. එතකොට මම ගොඩක් පොඩියි. මට අවුරුදු දහයේ දී ඉඳන් මම සංගීතය ඉගෙන ගත්තා. පුංචි කාලේ මට සින්දු කියන්න ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. හැබැයි මාව උනන්දු කළේ මගේ ඩැඩියි. මමීත් ඒකට කැමතියි. සංගීත කණ්ඩායමෙන් මේ ලැබුණු ආරාධනාවත් එක්ක මම මුල දී චුට්ටක් බය වුණා. සංගීත කණ්ඩායමේ හිටපු එකම ගැහැනු ළමයා මමයි. හැබැයි දවස් දෙක තුනක් වැඩ කරද්දී ඒ හැමෝම එක්ක වැඩ කරන්න ආසා හිතුණා.
මුල්ම වතාවට මාතර එළිමහන් සංගීත ප්‍රසංගයේ ගීත ගැයීමත් එක්තරා අමතක නොවන අත්දැකීමක් නේද?
ඔව්.. සංගීත කණ්ඩායමත් එක්ක මම මුලින්ම සම්බන්ධවෙලා ගීත ගායනා කළේ මාතර එළිමහන් ප්රසංගයේදියි. එදා ළහිරු පෙරේරා අයියත් ගීත ගායනා කරන්න ආවා. වෙනත් කලාකරුවෙක් හෝ කලාකාරියක් ගීත ගායනා කරද්දි මම වේදිකාවෙන් බහිනවා. හැබැයි ළහිරු අයියා මට වේදිකාවෙන් බහින්න දුන්නේ නැහැ. ප්‍රසංගය අවසානයේ දී ළහිරු අයියාගෙන් මට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ මගේ පළමු ප්‍රසංගය කියලා ළහිරු අයියා දැනගෙන හිටියේ නැහැ. ඔහු මම ගීත ගායනා කරන දිහා බලාගෙන ඉඳලා තියෙනවා. දවසින් දවස මම බොහෝ දේවල් ඉගෙන ගන්නවා. අදටත් සංගීත කණ්ඩායම මට උපරිම සහයෝගය ලබා දෙනවා.
අමේලියාගේ පවුලේ විස්තර ටිකක් කියන්න?
මගේ පවුලේ මම, ඩැඩී, මල්ලියි නංගියි ඉන්නවා. මගේ සීයා ආරියපාල විජේසූරිය. එයා වෙස් මුහුණු කෝලම්වලට ප්‍රසිද්ධයි. අපි අම්බලන්ගොඩ ඉන්නේ. බොහෝ සංචාරකයන් වෙස් මුහුණු බලන්න අම්බලන්ගොඩට එනවා. වෙස් මුහුණු කෝලම්වලට අම්බලන්ගොඩ හරි ප්‍රසිද්ධයි. පුංචි කාලේ ඉඳන්ම මම නර්තනයේ යෙදෙනවා. අවුරුදු තුනේ ඉඳන් මමත් පෙරහරවල නර්තනයේ යෙදෙනවා. ඒ වෙස් මුහුණු පැළඳගෙනයි. ඒ සාමාන්‍ය වෙස් මුහුණක් කිලෝ හතරක් පහක් බරයි. අපි පන්දම් එක්ක, ගින්දර එක්ක නර්තනයේ යෙදෙනවා. දැන් මට ඒ නර්තනයත් හොඳට පුළුවන්. මම විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරනවා.
නර්තනය හා සංගීතය දෙකෙන්ම ඔයා වැඩියෙන්ම කැමති මොන ක්ෂේත්රයටද?
ඒ කලාවන් දෙකටම මම කැමතියි. ඒ අතරින් මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක සංගීතය පැත්තෙන් ටිකක් ඉස්සරහින් ඉන්නවා කියලා හිතෙනවා. මග තොටේ දී හම්බවෙන අය එක්ක කතා කරද්දී පුදුම සතුටක් ලැබෙනවා. මිනිසුන්ගේ හදවත දිනාගන්න මම හරි ආසයි. ඒක මගේ හීනයක්. අද වෙද්දී ඒ හීනය හැබෑවෙලා තියෙනවා කියලා මට හිතෙනවා.
ඉදිරි බලාපොරොත්තු සහ ඉලක්ක මොනවද?
පුංචි කාලේ ඉඳන්ම ජනප්‍රිය ගායිකාවක් වෙන්න ආසා කළා. ඒක යම්තාක් දුරකට හැබෑවෙලා ඉවරයි. මම වෛද්‍යවරියක් වෙන්න ආසා කරනවා. තාම ඒ හීනය හැබෑ කරගන්න ඉගෙන ගන්නවා. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ ගායිකාවක් වෙන හීනයකුත් මට තියෙනවා.
දිශානි ජයමාලි