Room No 106 දෙන්නම් බැටෙන් ගැහුවද? නැත්තම් හිතලා ලියුවද?

  • 14-07-2026

සිනමා විචාර දැන් ලංකාවෙ නැති තරම් .Film එනවා යනවා ..සමහර Film එනවා විතරයි දන්නෙ .ආව සැණින් ගැලවෙනවා..සමහර ඒවා පැල් බැඳගෙන දුවනවා.දවස ගාණෙ House full වෙනවා කියනවා.ඒත් House full  වෙච්ච පලියට ච්ත්‍රපට හොද චිත්‍රපට වෙන්නෙත් නෑ .

සුරංග අල්විස් අධ්‍යක්ෂණය කළ හැකි Room No 106 චිත්‍රපටය ගැන ලියවෙච්ච මේ විචාරය ඇහැ ගැහුණෙත් මේ ඔක්කොම අස්සෙ.ඒ විචාරය ගැන අපි අපේ මතය හෝ විනිශ්චය ගැන මොකුත් කියන්නෙ නෑ.ඒක සිනමා ප්‍රේක්ෂකයන්ගෙ සහ අදාළ පාර්ශ්වවල වගකීමක් .

සිනමා විචාර ලියවෙන්නෙම නැති යුගයක එය හුදෙක් ඔබේ කියවීම සහ විචාරය අරමුණු කරගෙන කිසිදු සංශෝධනයකින් තොරව ඉදිරිපත් කරන්න අපිට හිතුණා.....

කුරිරු මීනී මරුවාට මානව දයාව අනුකම්පාව දී මරුමුවට පත්වූ තැනැත්තියව හොල්මනක් බවට පත් කර තිර රචකයින්  කළිසම් ගළවා ප්‍රේක්‍ෂකයාට පස්සා පැත්ත  පෙන්වීම...!

පළමු කාරණය : තිරනාටකයනේ සිනමාවේ  ‘මූලිකම’ පදනම.

සමකාලීන සිදුවීම්, විශේෂයෙන්ම සිනමා මාධ්‍ය වගේ ප්‍රතිනිර්මාණකරණ  ක්‍ෂේත්‍ර වලට ප්‍රබන්ධ කරනකොට, කොයිතරම් නම් ඒක සංවේදී ප්‍රපංචයක් ද  කියන කාරණය අපි කල්පනාවට ගන්න  ඕන. දැන් මේ චරිතාපදාන රැල්ල පටන් ගත්තේ තේජා ඉද්දමල්ගොඩගේ  ක්ලැරන්ස්ගෙන් නේ. කෝටිපති  නිෂ්පාදකවරුයි  බාගෙට තැම්බුණු තිර නාටක රචකයොයි,සිනමාවේ පොරවල් වෙන්න දඟලන  අධ්‍යක්ෂකයොයි දැන් නිඳා-නොනිඳා  ඒ පස්සේ පන්නනවා. දැනටමත් ලතා වල්පොල,මිල්ටන් මල්ලවාරච්චි වගේ ජනප්‍රිය පුරා වෘත්තයන් මේ රැල්ලේ ගොදුරු බවට පත්වෙලා ඉවරයි.

මෑතක දී  අපිට අහන්න ලැබුණු ආන්දෝලනාත්මක  උදාහරණය මාලනී ෆොන්සේකානේ...මේ සත්‍ය කථාවේ  සිදුවීම  මම හිතනවා මාලනී ෆොන්සේකටත් වඩා අති සංවේදීයි. මොකද හේතුව මේක ඝාතනයක් සම්බන්ධ කථාන්දරයක්. මේ ඝාතනයට ලක්වුණු තරුණියගේ දෙමව්පියන්,සහෝදර සහෝදරියන්,නෑ දෑ හිත මිතුරන් තවම අපේ සමාජයේ ජීවත් වෙනවා. අනෙක් පැත්තෙන්  මිනීමරුවාගේ බිරිඳ දරුවො දෙන්නත්  තවම ජීවත් වෙනවා. මේ සමාජයට ඒ ළමයි ලොකු වෙමින් ඉන්නවා. එතකොට අපි මේ කතා කරන මොහොතෙදිත් පැය 24 පුරාම මේ දෙපාර්ශ්වයේම  ඒ අය නිදාගත්තත් ඒගොල්ලන්ගේ හිත් තුළ, පපු කුහර තුළ ඒ සිදුවීම ඒ මේ අත සක්මන්  කරනවා. ඒ වගේම ඒ ළමයින්ගේ අනාගතය පුරාම මේ තමුන්ගේ තාත්තා කළ අපරාදය රැව් පිළිරැව් දෙනවා  දෝංකාර දෙනවා. ඒ ළමයි ලොකු වෙලා මේ චිත්‍රපටය හොයාගෙන නරඹනවා අනිවාර්යයෙන්ම.

එතකොට සිනමාව වගේ මාධ්‍යයකින් මේ කතාවම ප්‍රතිනිර්මාණය වෙනකොට මොනතරම් ඒකට සංවේදී වෙන්න/පරෙස්සම් වෙන්න  ඕනෙද...? මේ සත්‍ය සිදුවීමේ ඥාතීන්ට කොහොම මේක බලපාවි  ද කියලා මුළින්ම හිතන්න ඕන. කොටින්ම කියනවා නම් මේ චිත්‍රපටය  ගැඹුරු සමාජ විද්‍යාත්මක විවරණයක් වෙන්නම ඕන.එහෙම වුණොත් තමයි සත්‍ය කථාවටත් එයින් ප්‍රබන්ධිත සිනමා කෘතියටත් ප්‍රේක්‍ෂක ආකර්ශණය හිමිවෙන්නේ.ඒත් මුළින්ම කියන්න ඕන  මේ විචාරයේ ලේඛකයා චරිතාපදාන සිනමාවට බෙහෙවින් ඇලුම් කරන ලේඛකයෙක් මිසක් ඒ ශානරය ප්‍රතික්‍ෂේප කරන අයෙක් නෙවෙයි.

සුරංගගේ මේ  චිත්‍රපටයේ වගේම ඊට පාදක  සත්‍ය කථාවේදීත්  අපරාධකරු හෙවත් මීනී මරුවා  පිරිමියා, අවසානයේ ඔහු   තමුන් විසින් තමුන්වම මරා ගන්නවා... ඇයි ඔහු ඔහුවම විනාශ කර ගන්නේ...? තමුන්ට තමුන්ගේ හෘද සාක්‍ෂියට මුහුණ දෙන්න බැරි නිසා…ඔහු විසින් ඔහුව මරා ගත්තා.එතකොට ඔහු මීනී මැරුම් දෙකකට සම්බන්ධයි. තිර නාටකය ලියපු රචකයාත්  තේරුම් අරන් තියෙනවා   ඔහු තමයි මේ ගැහැණු ළමයගේ ජීවිතේ උදුරලා ගත්තේ. එතකොට ඔහු වැරදි ගණනාවකට මුල් වුණු පුද්ගලයා...ඒ වගේම මේ මීනී මැරුම් දෙකින්ම ඔහු විසින් ඔප්පු කරනවා සැක හැර ප්‍රථම මීනී මැරුමේ ඝාතකයා කවුද කියලා !

එහෙමනං ඒ පිළිබඳව නිර්මාණය වෙන සිනමා නිර්මාණයක  කොහොම ද මේ ඝාතකයා ප්‍රේක්‍ෂකයාගේ සහනුකම්පනය දිනාගන්නා වීරයෙක් බවට පත්වෙන ආකාරයට තිර නාටකය සකස් කරන්නේ...? (ඔන්න විසාලතම වැරැද්ද...)

තරුණියගේ හිස කඳින් වෙන් කළ ඔහුව නිදොස් කොට නිදහස් වෙන ආකාරයේ  ප්‍රේක්‍ෂකයාගේ ඔලුව ඔල්මොරොන්දම් වෙන ආකාරයට Absurd Cine Magic show එකක් පෙන්නන්නේ...? (මෙන්න දෙවැනි කුරිරුතම අර්ථරූපණය)

මගේ අදහස අනුව මේ රචකයා නූගත් අවස්ථාවාදී  තක්කඩියෙක් ! සත්‍ය කතාවේදීත්, චිත්‍රපට තිර නාටකයේදීත්  පුලස්ති ඇයි තමුන් මේ මිනී  මැරුම කළා යැයි කියමින් බෙල්ලේ වැල දාගෙන දිවි නසා ගන්නේ...? එහෙමනං පුලස්ති Anti-Hero කෙනෙක් වෙන්නේ කොහොම  ද... තක්කඩි දුර්ජන  Villain කෙනෙක් නොවී..??!!  මම මේ විචාරයේ අගිස්සේ දී විද්වත්  සිනමා පාඨක ඔබට නිරාවරණය කරන්නම් අපේ සමාජයටම ප්‍රත්‍යක්ෂ  වුණු සත්‍ය කථාව මේ දුෂ්ඨ ගති ඇති සිනමා කණ්ඩායම විසින්  twist කරලා නළුවෝ ගොඩදාන වැඩක්/තමුන්ගේ තුච්ඡ  ආසාවල් ඉෂ්ඨ කරගන්නා පුරුෂ මූලික  පාරාදීසයක්  බවට පත් කරගත්තේ  කොහොම ද කියලා. මේ විචාරයට කිසිම හදිස්සියක් නැහැ , මේ මෝඩ පිච්චර් කාරයින්ගේ තක්කඩි  වෙළඳ මෝහය අතර මැදට කඩාගෙන පැනලා උන්ගේ සල්ලි මල්ලට විරෝධය දක්වන්න.මේ චිත්‍රපටයේ ආදායම් වාර්ථා තීරණය කරන්න ප්‍රේක්‍ෂකයාට විසල් බුද්ධියක් තියෙනවා. ඉතිං මම මේ විචාරය ඵල කරන්නේ ප්‍රේක්‍ෂකයින්ගෙන්  ෆිල්ම් එක හුදෙකළා  වුණාට පස්සේ .ඒ නිසා  සති දෙකක් උඹලා උඹලාගේ ස්වයං රවටා ගැනීමේ මෝහයෙන් උඩ පැනපල්ලා. මෙන්න මේක තමයි “සිනමාව” කියලා උඹලා - උඹලාව උඩ දමාගන්න මෝහයේ නළියපල්ලා...! බුද්ධිමත් ප්‍රේක්ෂකයින්ට මම හෙළි කරන්නම් යථාර්ථය ! හේතුව සිනමාව කියන විසාල කැන්වසය තියෙන්නේ විසාල සමාජමය පරිවර්ථනයක් කරන්න නිසා.
 
අපි බලන්ඩ ඕනේ මේ ගෑනු ළමයා, ඒ කියන්නේ මේ කසාද බැඳපු මිනිහාගේ ග්‍රහණයට හසුවෙච්ච ගැහැණු ළමයා...මේ ගැහැණු ළමයාව චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා “ නීච,වනචර,එපා කරපු  Villainous කෙනෙක්  හැටියට.(මේ චිත්‍රපට චරිතය රඟපාන නිළිය (තරුණිය) රඟපාන්න දන්නේ නැහැ.අනෙක රඟපාන්න තියෙන ආසාව හිංදා  චරිතයෙනුත් ඇයව නොමඟ යවලා තියෙන බව ඇගේ පුංචි මොළේට තේරුමක් නැහැ...) මම අහන්නේ සත්‍ය කථාව පාදක කරගෙන කරන චිත්‍රපට කථාවේ යථාර්ථය දැන දැන  විකෘත කරන්නේ ඇයි...?? තමුන් දන්නවා ද තමුන් කරන වැරැද්දේ බරපතළ නීතිමය/සදාචාරමය ස්වභාවය...? තමුන්ට ප්‍රබන්ධයකට අයිතිය ඇති නමුත් මුල් සත්‍ය කථාව විකෘත කරන්න බලයක් අයිතියක් දීලා නැහැ කවුරුවත් !
 
මොකක්ද සත්‍ය කථාවේ දී  මැරුම්කාපු  ගැහැණු දරුවා ඝාතකයාට  අනුව මැරුම් කන්න තරම්  කරපු  වැරැද්ද...?  දන්නේ නැත්නම් දැනගන්න...මීනී මරුවා  ඇයට දැඩි පර පීඩා කාමුකත්වයකින් ආදරය කිරීම( ඒ නිසාම ඇයව නිතරම සැක කිරීම...ඇයට අයිති ෆෝන් එකේ ඇගේ මිතුරන් හා නිතර නිතර භජනයේ යෙදීම ගැන ඇය හා රණ්ඩු සරුවල් ඇති කර ගැනීම. ඊර්ෂ්‍යා කිරීම. මේ හේතුව හෝ වෙනයම් තමුන්ගේ නොමේරු මොළයට දැනෙන  හේතුවත් හෝ පාදක වුණා කියලා ආදරය කරන්න කාමරයකට ගෙනිච්ච තරුණියක්ව ඝාතනය කරන්න කොහෙන් ලැබුණු අයිතියක් ද...?

(සිනමා තිර රචනාකරණය ගැන උනන්දු නම් මේ රචකයා කළ යුතුව තිබුණේ  Othello Syndrom වැනි ගැඹුරු මනෝ විද්‍යාවක් හැදෑරීම... නමුත් මෙහිලා මොහු ඒ කිසිවක් පිළිබඳව උනන්දු වුණු බවක් පෙනෙන්නේ නැහැ. පෙනෙන්න පරිකල්පනය දියුණු-තියුණු වෙන්න එපැයි... )

ඒ වෙනුවට මේ ගොරහැඩි පිරිමි තිර රචකයා ගැහැණු ළමයාව Taboo box එකකට දානවා මෙහෙම ; 

“...මේ නූගත් තිර රචනයේ ප්‍රබන්ධ කිරීම මඟින් මේ    ගෑණු ළමයා තමුන්ට වඩා වයසින් වැඩිමල් කසාද බැඳපු පුද්ගලයෙක් එක්ක සම්බන්ධයක් පවත්වලා තියෙනවා... ඔහුගේ පවුලට ද්වේශ කරල තියෙනවා... පවුල කඩලා  මේ කසාද මිනිහගේ ඇඟේ එල්ලෙන්ඩ හදලා තියෙනවා...” !

(මේ තිර නාටක රචකයින්ට ගැහැණියකගේ හිත කියවන්නට දේශීය පාදක ග්‍රන්ථ පරිශීලනය කරන්න  අවශ්‍ය නම් ඔවුන්ට පුළුවන්   පටන් ගන්න   ‘මනමේ’ නාට්‍ය පිටපතේ පෙරවදනින්...)
 
එතකොට නැවත වතාවක් මේ ගෑණු ළමයව මරා දමනවා තිර නාටක රචකයා/ සිනමාකරුවා විසින්...කව්ද මේකේ තිර රචකයෝ...? නාමාවලියේ සඳහන් වෙනවා සුනෙත් මාලිංග ලොකුහේවා කියලා මිනිහෙක් ගැන.  සෝෂල් මීඩියා  වල එක් තැනෙක තිබිලා මගේ නෙත ගැටුණා සුනෙත් මාලිංග ලොකු හේවා සමඟ සෙනෙස් බණ්ඩාර දිසානායක කියලා.චිත්‍රපටියේ  මුලින්ම titles වල ස්තුතියක් පිරිනමනවා ඩොක්ටර් සෙනෙෂ් බණ්ඩාර දිසානායක කියලා.

කෙසේ හෝ  දැන් මේ අය සම්බන්ධයිනේ මේකට. මේ අය ගත්තහම මේ අයත් වැඩිහිටියෝ. මේ අයටත් බිරින්දෑවරු - ඒ බිරින්දෑවරු එක්ක ආදරෙන් හදපු දරුවෝ ඉන්නවා. එහෙම පසුබිමක  මේ අය පිරිමියාගේ මානය(උත්තම පුරුෂය)  තමයි මේ ප්‍රබන්ධයේ  කල්පනා මාත්‍රයට නගලා තියෙන්නේ. එතකොට ඔවුන්ගේ ලෝකය ඇතුලේ ගැහැණියට තියෙන ඉඩකඩ පෙන්නලා තියෙන්නේ ඔන්න ඔය විදිහට. ඒ කියන්නේ අන්තිමේ දී මේ තරුණියව මරලා තියෙන්නේ/බෙල්ල කපලා තියෙන්නේ මාධ්‍ය විසින්. සත්‍ය කථාවේ දී අතුරුදහන් ඇගේ හිස කොටස මේ තිරිසන් අධම චිත්‍රපටකාරයෝ වීදුරු පෙට්ටියක බහා ප්‍රේක්‍ෂක අපට ප්‍රදර්ශණය කරනවා ඝාතනය වුණු තරුණියගේ ආත්මයටවත් සැනසීමක් නොදී...තරුණ නළුවෙක් පිස්සෙක් බවට පත් කරලා වියරු සංදර්ශණයක් පෙන්වනවා ඇගේ හිස සහිත කවන්ධය සමඟ.

කොහොමද ඔවුන් මධ්‍යස්ථ වෙන්නේ  එතකොට...??!! කොහොම ද යහපත් සිහි කල්පනාවක් ඇති මෝරපු සිනමාකරුවන් වෙන්නේ මේ අය...?!

පළමුව මේ තිර නාටක රචකයින් සත්‍ය සිදුවීම විකෘත කරමින් තමුන් විකෘත ලිංගික පර පීඩකයින් බව පෙන්වනවා. මේ පිරිමි දෙන්නම වරනගනවා ස්ත්‍රී  චරිතය තමුන්ගේ පිරිමි මානයෙන්... පුන පුනා මේ පිරිමියා(චරිතය) ලව්වා වර නඟනවා :  “... මට වදයක් වුණා චීෆ් ! මට වදයක් වුණා. මට බැරුව ගියා... මට හරියට කේන්ති ගියා...!!...”  

...ඒ කියන්නේ කවුද වදයක් උනේ...??  වධයක් වෙලා තියෙන්නේ  මේ ගෑණු ළමයා...(මොනවා..? කියවිය යුතුයි මොවුන් ඇඩ්ලින් විතාරණ නඩු තීන්දුව...පාසල් යමින් හිටපු මේ ගැහැණු ළමයා  රවට්ටගෙන ඇයගේ කුසට දරුවෙක් දුන්නහම...ඇය ඔහුට වධයක් ද...? නැත්නම්  ඔහු පාහරයෙක් ද...?? එතකොට කොහොම ද ඔහු උත්තම පුරුෂයෙක් වෙන්නේ...?)  දැන් ගෑනු ළමයෙක් තමුන්ට වදයක් නම් කවුද මේක පටන් ගත්තේ...?  සැබෑ ජීවිතයේදීත් චිත්‍රපටියෙදිත් කවුද පටන් ගත්තේ...  ඒ කියන්නේ ගැහැණු ළමයා පැනලා දුන්න කියලා ද මේ චිත්‍රපට කාරයින්ගේ සරල අර්ථ නිරූපණය ...?

අපි හොඳින් දන්නා පරම  සත්‍ය,  පිරිමියා තමයි අපේ  සමාජයේ තීන්දු ගැනීමේ බලය අතැති පුද්ගලයා ! හැම වෙලාවෙම ඕනම ක්ෂේත්‍රයක පිරිමියාට තමයි බලය තියෙන්නේ. අනෙක සත්‍ය කථාවේ මේ පුද්ගලයා නියෝජනය කරන්නේ නීතිය අයත් පොලිස් දෙපාර්තමේන්තුව. චිත්‍රපට කතාවේදීත් ඒ පදනම එහෙමමයි...ඒත්  චිත්‍රපටිය පෙන්නන්න යන්නේ මේ ගෑණු ළමයා  තමයි මේ අහිංසකයාගේ කරේ  එල්ලිලා තියෙන්නේ... එල්ලිලා මෙයාට වදයක් වෙලා... හරියට පිරිමි සමාජය කාලාන්තරයක් තිස්සේ ඉඳන් කියාගෙන එන කතාව තමයි

“...ගැහැණු කවුරුදු වරදේ  නොබැඳෙන...! ” හරි නේද උපමාව !

ඒ වගේම බබා හුකුං අදහසකුත් චිත්‍රපට ප්‍රබන්ධකයෝ  මතු කරනවා මේ දෙන්නා අතරේ ලිංගික සම්බන්ධයක් තිබිලා නැහැ කියලා. ප්‍රේම සම්බන්ධ වේවා,විවාහ සම්බන්ධ වේවා,අනියම් සම්බන්ධ ඕනෑම එකක් පදනම් වෙන්නේ ලිංගික බැඳීම මතයි කියන දේ ප්‍රතික්‍ෂේප කරනවා(ඇයි සුනෙත් අප්පච්චි එහෙනම් මේ ජෝඩුව කාමරයකට ගියේ  ඒ...?? ඇයි නිධානයේ කෑලි මේ තිර නාටකයට අහේතුකව අමුණන්නේ...?? විලී අබේනායක අයිරීන් කන්‍යාවියක හැටියට තබා ගන්නේ තුන් කුළුඳුල් බිල්ලක් හැටියට රක්‍ෂා කරන්න. මේ කථාවේ මේ පිරිමියා මේ ගැහැණු ළමයා ඇසුරු කරන්නේ නිධානයක් ගන්න නෙවෙයි හලෝ... )

දැන් ඇත්තටම මාධ්‍ය  විසින් වාර්තාකරන ලද සිදුවීමක දී තිර කතා රචකයකුට මේ කතාන්දරය මාධ්‍ය  වලට වඩා යථාවබෝධය ලබන්න පුළුවන් තව ක්‍රමවේද කීපයක් තියෙනවා. එකක් පොලිස් වාර්තාව. දෙවෙනි එක නඩු වාර්තාව.ඊ  ළඟට මේ සිදුවීමට සම්බන්ධ දෙපාර්ශ්වයේම පවුල් සාමාජිකයෝ, වැඩිහිටියෝ,මිත්‍රයෝ .තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉතාමත් ලෙහෙසියෙන් මේ අධ්‍යයන චාරිකාවේ නියැලෙන්න පුළුවන්. එහෙම තියෙත්දී  දැන් අපිට පේනවා මේ කිසිම තොරතුරක් ඉවසීමෙන්   හරිහැටි ග්‍රහණය කරගෙන මධ්‍යස්ථ කෝණයකට මානයකට නොයා  තමුන්ගේ අත්තනොමතය ලියලා තියෙනවා කියලා. මොකක් ද අත්තනොමතය...? පුලස්තිගේ පුරුෂ මූලික මතය !!
 
 දැන් හරියාකාරව පරිසමාප්තියට පත් නොවුණු (half boiled වුණු) මේ  තිර නාටකය අතට ගන්නවා අධ්‍යක්‍ෂක වරයා. ඔන්න ඊට පස්සේ වෙන දේ. මුළින්ම තාත්තව අමතක කරනවා. ඒ කියන්නේ තාත්තා දැන් Outdated !  පුතා Updated !! පුතා  පොර !! (හරියට සිංදු කියන්නවත් බැරි එකෙක්ට ෆිල්ම් එකේ music කරන්න දෙනවා : අපි නෙවෙයි Director කියන්නේ...)
 
චිත්‍රපටය  එක්තරා මොහොතක දී වාර්තා ස්වරූපයක් ගන්නවා. මොහොතකදී investigation එකක් බවට පත්වෙනවා... රහස් පරීක්ෂක කතාවක් බවට පත්වෙනවා. අහ් ඒ අස්සේ වෙනම ආත්ම භාෂණයක්-Monologue බවටත් පත් වෙනවා. ඒ කියන්නේ මේ චිත්‍රපටිය පටන් ගනිද්දිම මේ ප්‍රධාන චරිතය වන පිරිමියාගේ මානයෙන් මේ කතන්දරය පටන් ගන්නවා. ඒ කෝණය ඒ කියන්නේ උත්තම පුරුෂ කෝණය මුල සිට අග දක්වාම යනවා. ඒ අස්සට අර කියපු ශානරයන් උත්තම පුරුෂ කෝණය අස්සට ගෙනැවිත්. ඒ අස්සෙම  Horror Scenes පවා තියෙනවා.
 
මේ පිරිමියා තමයි මේකෙ අපිට හිතන විදිය පෙන්නලා දෙන්නේ? හිතවන්නේ...! ඉතිං ප්‍රේක්‍ෂකයා මීනී මරුවා එක්ක තදාත්ම්‍යකට-ස්වාත්මීකරණයකට  යන එක අහන්නත් දෙයක් ද...? ඒ වගේම මැරුම් කාපු වින්දිතයා(තරුණිය) ප්‍රේක්‍ෂකයාගේ මනැසේ දුෂ්ඨ හැතිරියක් වෙන එක අහන්නත් දෙයක් ද...??  එතකොට ‘උත්තම පුරුෂය’ පිරිමියාට  හිමිවෙනකොට දැන් මෙතන අසාධාරණයට ලක්වෙලා තියෙන්නේ ගැහැනු කෙනානේ...? මැරුම් කන්න උණේ තරුණියටනේ...? මේ අනියම් සම්බන්ධය පටන් අරගන්නේ පිරිමියා. අනියම් සම්බන්ධය පිරිමියා පටන් ගන්න කොට ඒකේ ගොදුරක් වෙන්නේ ගැහැණියනේ... හැබැයි ගැහැණියට ‘උත්තම ස්ත්‍රීත්වය’ ලැබිලා නෑ...ඇයට සත්‍ය කථාවේදීත් ඒ ස්ථානය ලැබිලා නැහැ. නිර්මාණයෙදීත්  ලැබිල නෑ, හැබැයි කථා ශරීර දෙකේදීම ගැහැණියට ජීවිතය අහිමි වෙලා...ඝාතනය වෙලා...මරලා ..??!!  මරපු එකා ‘උත්තම පුරුෂයෙක්’ වෙලා...ප්‍රේක්‍ෂකයාගේ අනුකම්පාව ලබනවා. මොකක් ද යකෝ මේ න්‍යාය... Dr. senesh Bandara Dissanayaka Theories...? ද...??!!
 
චිත්‍රපටය  පටන් ගන්නේ මීනී මරුවා  අපේ හිත කීරි ගැහෙන ආකාරයට උගේ ආත්මීය බසින් ලියුමක් ලියනවා. අධ්‍යක්ෂකයා  ලස්සන location එකක ප්‍රධාන නළුවාගේ 35 වෙනි චිත්‍රපටයට පට්ට දිය ඇල්ලක් ගලාගෙන යන Pond එකක ස්ථානගත කරනවා. අධ්‍යක්ෂකයාත් මාරයි/ තිර නාටක රචකයාත්  මාරයි /ඇයි, අධ්‍යක්ෂකයන්ගේ සංසදයම මාරයි... මේ පුරුෂ මූලික කෝණය නිසා  එතකොට එයා අහිංසකයි. එයා අන්තිමට වයිෆ්ගෙනුත් සමාව ඉල්ලනවා... අම්මගෙනුත් සමාව ඉල්ලනවා මගේ අතින් වැරැද්දක් මෙහෙම වුණා කියලා.ලස්සන Tight Close up එක...කඳුළු රූටා ගලනවා කම්මුල් දිගේ. හැබැයි ඌට ගොදුරු වෙච්ච තරුණියව...හැම වෙලාවේම හොල්මනක් බවට පත් කරලා... මැරිලත් පස්සෙන් එනවා...ගෙදරටත් එනවා...ඇඳටත් එනවා...අල්මාරිය ලඟටත් එනවා...කෑම මෙසෙයටත් එනවා. වෛරාසක්ත හොල්මනක් හැටියටම පිටිපස්සෙන්ම  එනවා මේ මීනී මරුවාගේ. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට මෙයා බෙල්ලෙ වැල දාගන්නවා... අර කෙල්ල  හොල්මනක් වෙනවා. හේතු-ප්‍රත්‍ය ඥානයක් නැහැ...අධ්‍යක්ෂකයා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැහැ රූපගත කරනවා. මේක තමයි සුරංගගේම හොඳම සිනමා පටය... !(නිළි ගැහැණු ඇවිත් කියන්නේ...)
 
ඉතින් මේ වගේ තක්කඩි  තිරනාටක ලියන්නෙ කොහොමද කියලා අලුතෙන් ක්ලාස් එකකුත් දාගෙන දෙමාපියන්ගෙන් සල්ලි අරගෙන ළමයින්ට කියලා දෙනවා මෙන්න මෙහෙමයි තිරනාටක ලියන්නේ කියලා. ඇතුල්වීම 2000/= Course Fee එක 88000/= එකතුව 90000/= මේ  නැගලා යන්නේ සිනමාව.
 
අපි ජී.බී.සේනානායකගේ  කෙටි කතාව පාදක කරගෙන තිස්ස අබේසේකර ලියන විලී අබේනායකගේ Monologue එක විමසමුකෝ. එහි  විලී  අබේනායක  පශ්චත්තාපයෙන් ලියුමක් ලියමින් කරන  කතාවෙදි මොනම වෙලාවකවත් තමුන්ගේ බිරිඳගේ පපුව මැද්දට කිනිස්සෙන්  ඇන්නට ඒ බිරිඳගෙන් සමාව ඉල්ලන්නේ නෑ. ඒ වගේම අධ්‍යක්ෂකවරයා ඒ තිර නාටකය අරගෙන විලී අබේනායකව සාධාරණීකරණය කරන්න රූප රචනය කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහුව ඒ මීනී මරණ තැනට තල්ලු කරන සමාජ  ආර්ථික බලවේග රූපයට නඟනවා...ඒ තමයි  මහා සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස්. මනමේ කතාවේදීත් මහා ඇදුරු ගැහැණිය කෙරේ සානුකම්පිත දෘෂ්ඨිය හෙළනවා.
 
දැන් මම එළඹෙන්නම් මීනී මරුවාට (වැරදිකරුවාට) ‘උත්තම පුරුෂ කෝණය’ ලබාදීලා වින්දිතයාව  (ඝාතනයට ලක්වුණු තරුණිය) දුෂ්ඨ චරිතයක්  Villainous බවට පත් කරලා සත්‍ය කථාවත් විකෘත කරලා සිනමා ප්‍රබන්ධයත් හේතු-ඵලවාදී පීල්ලෙන් ඉවතට අරගෙන නැවත වතාවක් ඝාතනය වුණු තරුණිය ප්‍රේක්‍ෂකයා ඉදිරියේ අනේක වාරයක් ඝාතනය කරන්න මේ පිරිමි හැතිකරය පෙළඹෙන්නේ  ඇයි ද කියලා...?
 
1.මහා ඇදුරු  සරච්චන්ද්‍ර දුටුවා සේ ස්ත්‍රිය දෙස සානුකම්පිතව  බලන්නට හැකි දියුණු සංස්කෘතිකවත්  මනසක් සහ මනුෂ්‍යත්වයක් නැතිකම.
2. සිනමා කුලප්පු  මාෆියාවේ ගොදුරු බවට තමුන් පත්වීම.
3. ප්‍රධාන නළුවා ගොඩ දමන තක්කඩි අරමුණක් ඉදිරියට ගෙන ඒම.
4. ස්ත්‍රීත්වය පිළිබඳ අබ මල් රේණුවක තරම්වත් ගෞරවයක් මේ පුද්ගලයින් තුළ නොමැතිකම.
5. ඉහත සඳහන් සදාචාරාත්මක, ශාස්ත්‍රීයමය සාධක අභිබවා යන නීතිමය සාධකයක් ද තිබේ. එය නම් ඝාතනයට ලක්‌ වූ තරුණියගේ චරිතයට හානි වන සේ තොරතුරු විකෘති කිරීම මඟින් ඇගේ පෞද්ගලික ජීවිතයට කැළලක් ඇති වන අයුරින් කතාව ප්‍රබන්ධ කිරීම. මේ චිත්‍රපට කණ්ඩායමම ඊට වගකිව යුතුයි !
 
අපේ සිනමාව පෙළන විසාලතම අර්බුදය වස්තු බීජයන් තිබුණා වුව එය සිද්ධි-කාරණා වලින් වර්ධනය කරන්නට සමත් දියුණු තිර නාටක රචකයින්ගේ හිඟයයි. ඒ හිඟය නිසා මෙවැනි සත්‍ය සිදුවීම් මේසයට ගෙන මුල් සිදුවීමට බරපතළ ලෙස හානිදායක ප්‍රබන්ධයන් සිදු කිරීමට පෙළඹීම මුල් සිදුවීමට සම්බන්ධ,ජීවත්ව සිටින අයවලුන්ට ද සිත් තැවුල් ඇති කරයි. මේ විචාරයෙන් බලාපොරොත්තු වන්නේ සිනමා විචාරයකට වඩා මුල් සිදුවීමට සම්බන්ධ අයගේ සංහිඳියාවයි. එසේ නොවුණහොත් මේ චරිතාපදාන කුලප්පුව හැදුණු මී හරක් සහ ධනපති ව්‍යවසායකයින්   විසින් ඊ ලඟට ඝාතනය කරන්නේ මාලනී ෆොන්සේකා සහ ඇගේ සමීපතමයින්ගේ ජීවිතයි ! පුරා වෘත්තයක් බඳු ලතා වල්පොලගේ සහ ඇගේ සමීපතමයින්ගේ ජීවිතයි ! පුරා වෘත්තයක් බඳු මිල්ටන් මල්ලවාරච්චිගේ සහ ඇගේ සමීපතමයින්ගේ ජීවිතයි !
 
-         ධර්මජිත් පුණර්ජීව
 
පසුවදන :
 
දැන් මම එන්නම් මේ අසංවේදී පුරුෂ මූලික  තිර නාටකය නළුවාගේ අතට ආවහම නළුවා එය නළුවාගේ දැක්ම අනුව දැකිය යුතු අන්දම ගැන අධ්‍යාපනික  විශ්ලේෂණයකට.
 
ඒ සඳහා මම උපුටා දක්වන්නම් නෙමිරොවිච්-ඩැන්චෙන්කෝ කියන රුසියාවේ  Moscow Art Theatre  කියන පුරෝගාමී සම-අධ්‍යක්‍ෂක වරයා කියන දාර්ශනික කතාවකික්. 

චරිතයක  මෙම නිර්මාණකරණ  මොහොත ඔහු  පැහැදිලි කරන්නේ  සැසඳීමක් මාර්ගයෙන් : ඔහු කියනවා “...ශාකයක් බිහි කිරීම සඳහා ඔබ බීජය පොළොවේ වැපිරිය යුතුය ; එම බීජය දිරාපත් වී, ඉන්පසු ඉන් අනාගත ශාකයේ මුල් මතුවිය යුතුයි..” කියලා.

හරියටම ඒ විදිහටම, කතුවරයාගේ නිර්මාණයේ බීජය නළුවාගේ ආත්මය තුළ රෝපණය විය යුතුයි ; එය දිරාපත් වීමේ අවධිය පසු කර මූලයන් විහිදුවා, ඉන් නව නිර්මාණයක් බිහි විය යුතුයි. එම නිර්මාණය නළුවාට අයිති වුණත් , එහි හරය අතින් ගත්තහම  එය  රචකයාගේම නිර්මාණ-සන්තතියක් කියලා තමයි කියන්ට වෙන්නේ.

සූදානම් වීමේ කාලය ඇතුළත සිද්ධි-කාරණා-Given Circumstances නිමවා ගත්තේ වී නම්,  පසුව එන දෙවැනි  දෙවන කාල පරිච්ඡේදය : 

1.හැඟීම්වල අවංකභාවය, 2.චරිතයේ හදවත, එහි අභ්‍යන්තර පිළිබිඹුව , 3. එහි අධ්‍යාත්මික ජීවිතය නිර්මාණය කරනවා අනිවාර්යයෙන්ම. 

චරිතයක මේ චිත්තවේගීය අත්දැකීම අපගේ නිර්මාණශීලීත්වයේ මූලික, වැදගත්ම අවධියයි.

චරිතයක් ජීවත්වීම සහ අත්විඳීම කියන  නිර්මාණාත්මක ක්‍රියාවලිය කාබනික එකක් වෙන  අතර එය මිනිසාගේ ස්වභාවය පාලනය කරන භෞතික හා අධ්‍යාත්මික නීති මත, ඔහුගේ හැඟීම්වල සත්‍යතාව සහ ස්වාභාවික සුන්දරත්වය මත තමයි  පදනම් වෙන්නේ.  මෙම කාබනික ක්‍රියාවලිය ආරම්භ වී වර්ධනය වන්නේ කොහොම ද, මෙහි නළුවාගේ නිර්මාණාත්මක කාර්යය සමන්විත වෙන්නේ කොහොම  ද?
 
චරිතයේ  අභ්‍යන්තර ආවේග සහ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මත !

Inner Impulses and Inner Action

දැන් මම අහන්නේ චිත්‍රපට 35 ක චරිත රඟපාලා පළපුරුද්ද/කළ පුරුද්ද ඇති නළුවෙක් හැටියට පුලස්ති කියන චරිතය කියවනකොට ඉහත දාර්ශනිකයා කියනවා වගේ පුලස්තිගේ අධ්‍යාත්මික ජීවිතය නිර්මාණය කරලා තියෙන

1.හැඟීම්වල අවංකභාවය, 2.චරිතයේ හදවත, එහි අභ්‍යන්තර පිළිබිඹුව බිමල් කියන නළුවාට දැනුණා ද...? නැත්නම් මේ පොළොවේ පයගහලා ජීවත් වෙන නළුවෙකු හැටියට මේ සත්‍ය කථාවට සහනුකම්පනයක් දැනිච්ච මනුස්සයෙක් හැටියට සුනෙත් සහ සෙනේෂ්ගෙන් අහන්න හිතුණේ නැති ද මේ කථාවේ පුලස්ති මෙච්චර තමුන්ට අවංක මිනිහෙක්-අධ්‍යාත්මයට නැඹුරු මනුස්සයෙක්  නම් ස්ත්‍රී චරිතයක් අමානුෂික විදිහට බිලි  ගත්තු පුලස්තිගේ  සාමාජීය  සිද්ධි-කාරණා සියුම් ලෙස  විග්‍රහ නොවෙන්නේ ඇයි...? මේ පුලස්ති කියන මිනිහගේ ‘අධ්‍යාත්මික ජීවිතය’  පුස්සක් නෙවෙයි ද මචං ?? කියලා.

අඩුම තරමින් “...මේක සත්‍ය කථාවක් නිසා මිනිස්සු හොඳින් දන්නා කථාවක් සිනමාවට ගේනකොට මේ කල්පිතය විශ්ව සාධාරණ ලෙස ප්‍රබන්ධ කරන්න ඕන නේද මචංලා...” කියලා ඔහුට අහන්න තිබුණා මේ අයගෙන්.

බිමල් කියන නළුවාගේ  නිර්මාණාත්මක ආවේගයන් ස්වභාවිකවම ඉන්ද්‍රීයමය  ක්‍රියාවට මඟ පාදන පුලස්තිගේ  ආවේගයන් විසින් තමයි  අනුගමනය කරන්නේ. නමුත් සත්‍ය සිදුවීමේ ඒ පුද්ගලයාගේ  ආවේගය කියන්නේ ඒ වන විටත්  නළුවාගේ අභින  ක්‍රියාවකට පරිවර්ථනය නොවූවක්. නළුවාගේ ප්‍රතිවිරෝධාත්මක  ආවේගය කියලා කියන්නේ අභ්‍යන්තර ආශාවක් , චිත්‍රපට 35 ක් රඟපාලත්  තවමත් තෘප්තිමත් නොවූ ආශාවක්, ඒ වගේම අභින  ක්‍රියාව නළුවාගේ  ආශාවේ බාහිර හෝ අභ්‍යන්තර තෘප්තියක්. සත්‍ය කථාවේ මීනී මරුවාගේ  ආවේගය ඉල්ලා හිටියා වගේ නළුවාත් මෙතැන දී ඉල්ලා හිටිනවා චරිතය දුෂ්ඨ වුණත්   අභ්‍යන්තර ක්‍රියාවක්-රමණයක්  , ඒ අභ්‍යන්තර ක්‍රියාව හෙවත් රමණය  අවසානයේ බාහිර පාරිශුද්ධත්වයක්  ඉල්ලා හිටිනවා. අවසාන විග්‍රහයේ දී සත්‍ය කථාවේ චරිතයයි-චිත්‍රපට කථාවේ චරිතයයි-ඒක රඟපාන නළුවයි තුන් දෙනාම තක්කඩි මරුවෝ! 

මම බිමල්ගෙන් මෙහෙම අහන්නම්... ප්‍රේක්ෂකයින් සමූහයක්‌ ඉදිරියේ තමුන්  ජෝතිපාලගේ ගීතයක් ගයත්දී තමුන් ඉතාම පරෙස්සමින් එහි melody එකයි  Pitch එකයි රැකීම  ගැන ඇයි බරපතළ  අවධානයක්  දෙන්නේ...? ජෝතිපාල හා ඔහුගේ ගීත සමාජයේ මනෝ-මූල බව ඔබ දන්නා නිසා නේද... ඒවාට අසාධාරණයක් වුණොත් ප්‍රේක්ෂකයාට එය  අහුවෙන බව බිමල් දන්නවා . එතැනින්ම තමුන්ගේ ගායන වෘත්තියට එය දැඩි ලෙස බලපාන බවත් බිමල් දන්නවා.ඒ හන්දා බිමල් සංගීතයේ දී පුළුවන් තරම් අවංකව ශාස්ත්‍රයට බරක් දෙනවා.
මම දැකලා තියෙනවා තමුන් සංගීතයට දෙන සාවධානය බිමල් රඟපෑමට දෙන්නේ නැහැ. කෙටියෙන් කියන්න තියෙන්නේ සංගීතය වගේ රඟපෑම හදාරන්න කියලා විතරයි ! එතකොට චරිතයක යතාර්ථවාදී melody එකයි  Pitch එකයි දෙකම  අහුවෙයි.ඒ වගේම මේ වගේ misinterpreted තිර නාටක කියැවූ සැණින් දෙවරක් නොහිතා  අල්ලලා වීසි කරලා දායි!.
 
මගේ අවසන් නිගමනය :  ක්‍රියාවෙන් පොහොසත් තිර නාටකයක් හැටියට තමුන් සත්‍ය කථාව  දක්ෂ ලෙස වියමන් කළා යැයි උද්දාමයට පත්වන නමුත් මෙය  රචකයින්ගේ  සිත්ගන්නා සුළු බාහිර කුමන්ත්‍රණයක්. ඒ නිසාම  මෙය දෘෂ්ඨීමය දෝෂයක්.

In brief,that the Screen play rich in action is one with a cleverly woven and interesting external plot. But this is an error.