කිං රත්නම් සහ අපේ කිංලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20180309Sara-1

මේ දවස්වල තිරගත වෙන චිත්‍රපටයක් තමයි කිං රත්නම්ගේ ‘කෝමාලි කිං’ කියන දෙමළ චිත්‍රපටය. මේ චිත්‍රපටයේ විශේෂත්වය මේක අපේ රටේම හැදුණු චිත්‍රපටියක් වීමයි. ශ්‍රී ලාංකික දෙමළ තරුණ සිනමාකරුවෙකු වෙච්ච කිං රත්නම්ගේ මේ චිත්‍රපටිය කාරණා කීපයක් නිසා අපේ රටේ සිනමාවට වැදගත්.

අපේම රටේ හැදුණු දෙමළ චිත්‍රපටි කියන්නේ හරිම දුර්වල දෙයක්. එහෙව් කාලෙක කිං රත්නම්ගේ මේ මැදිහත්වීම වැදගත්. අපිට මතකයි ධර්මසේන පතිරාජ වගේ සිනමාකරුවෙකු හදපු ‘ පොන්මනි’ වගේ චිත්‍රපටියක්. ඒ වගේ හැදුණු දෙමළ චිත්‍රපට හැරුණුකොට දෙමළ චිත්‍රපටි නිෂ්පාදනය වෙන්නෙම නැති තරම්. කිං රත්නම්ගේ මේ මැදිහත්වීමත් එක්ක මේ ප්‍රවණතාව දිගටම ඇදිලා ගියොත් ඒක ඉතාම හොඳ දෙයක්.

‘කෝමාලි කිං’ චිත්‍රපටිය අපිටත් බලන්න ලැබුණා පසුගිය දවසේ. කට පුරාම ‘ටොප් බයිස්කෝප්’ එකක් කියලා විලිලැජ්ජ නැතුව කියන්න පුළුවන් වැඩක් මේක.

අපේ රටේ හැදුණු සමහර සිංහල චිත්‍රපට බලල හති වැටිලා ඉඳපු අපට ‘කෝමාලි කිං’ ගෙනාවේ සුපිරි ආතල් එකක්. දෙමළ චිත්‍රපටියක තිබිය යුතු අනන්‍යතා ලක්ෂණ රැකගනිමින් අපේ රටේ බහුතර ප්‍රේක්ෂකයාට අල්ලලා යන විදියට මේ චිත්‍රපටිය කරන්න කිං රත්නම් සමත්වෙලා තියෙනවා. කිං රත්නම්ගෙන් පළවැනි චිත්‍රපටිය විදියට මේක ඉතාම කදිම වැඩක්.

කිං රත්නම්ගේ පවුල් පසුබිම් සිනමාවට නෑකම් කියන එකක්. කිං රත්නම්ග් සහෝදරයා ජූඩ් රත්නම් එහෙමත් සිනමාවේ කරක්ගහන හාදයෙක්. කිං රත්නම්ට ඒක නිසා සිනමාවට ආගන්තුක වැඩක් නෙවෙයි.

හරිම සිම්පල් බයිස්කෝප් පොඩ්ඩක් හදාගන්නේ කොහොමද කියලා අපේ සිංහල චිත්‍රපටි හදන සමහර පණ්ඩිත අයියලා වුණත් කිං රත්නම්ලගෙන් ඉගෙන ගත්තට පාඩු නෑ.

20160830Sara-1පසුගිය කාලේ එක දිගට හැදුණ සිංහල චිත්‍රපටි බොහොමයක් කටේ තියන්න බැරි තරමේ මේ ලෝකේ රහක් නැති වහුකුණු. ඒවට ඇත්තටම චිත්‍රපටි කියලා කියන්න බෑ. ඒවටත් චිත්‍රපටි කියලා කියනව නම් ඇත්ත චිත්‍රපටිවලට මොකක් කියන්නද කියලා හොයන්න වෙනවා.

දැන් දිග සිංහල චිත්‍රපටි පෝලිමක් තියෙනවා කියලා අපේ චිත්‍රපටි අධ්‍යක්ෂවරුම නාහෙන් අඬනවා. ඒ පෝලිමේ තියෙන ඒවායින් ගොඩක් අපිට නරඹන්න හම්බවෙලා තියෙනවා. අපේ නිරීක්ෂණයේ හැටියට ඇත්තටම එතනින් බහුතරය පොල් කුඩු ජාතියේ බඩු. ඒවා ෆිල්ම් හෝල් එකට දාන එකත් පාඩුවක්. ඒ තරම් දිග පෝලිමක් නිර්මාණය වීමෙන් සිද්ධවෙලා තියෙන්නේ ඒ අතරේ තියෙන හොඳ උසස් තත්ත්වයේ චිත්‍රපටිත් ඒ පෝලිමේ රස්තියාදු වෙන්න සිද්ධවීම.

කිං රත්නම් හරිම සරල පුංචි සිදුවීමක් ඉතාම කදිමට පැය දෙකක් විතර කාලයකට ගොඩනගන්න සමත් වෙනවා. ඒ ගොඩනැගීම හරිම සිනමාත්මක ‘බ්ලැක් කොමඩි’ මොඩ්ල් එකේ චිත්‍රපටියක් වෙච්ච ‘කෝමාලි කිං’ චිත්‍රපටියේ ආරම්භක දර්ශනයේ ඉඳලා අවසාන දර්ශනය දක්වාම ඒ ‘කොමඩි පන්ච්’ එක එක ලෙසටම රඳවගන්න සමත්වීම  හරිම අපූරු වැඩක්. චිත්‍රපටියට සම්බන්ධ වෙච්ච හැම ශිල්පියෙක්ම තම තමන්ගේ ජොබ් එක උපරිම මට්ටමෙන් කරන්න ට්‍රයි  එකක් දීලා තියෙන බව පේනවා. චිත්‍රපටියේ කැමරාකරණය, සංස්කරණය ඇතුළු අවශ්‍ය අංග සියල්ල කිං රත්නම්ගේ අධ්‍යක්ෂණය එක්ක කරට කර තියෙන නිසා තමයි වැඩේ මේ තරම් උස්සගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටියේ රඟපාන්නෙත් මහා පළපුරුදු නළු නිළියෝ නෙවෙයි. ආධුනික පිරිසක් එක්ක මේ වගේ වැඩකට අතගහන්න හිතපු සිතුවිල්ල සාර්ථක කරගන්න ඒ පිරිස කිං රත්නම්ට උපරිම සහයෝගයක් දෙනවා.

ඇත්තටම මේ වගේ තවත් චිත්‍රපටි එන්න ඕන එතකොට අපේ රටේ දෙමළ භාශිත චිත්‍රපටි රැල්ල පොහොසත් වෙනවා වගේම කයිවාරුවලින්ම රජවෙලා ඉන්න සිංහල චිත්‍රපටි හදන වැඩි බැරි ටාසන්ලගෙත් රෙදි ගැලවෙනවා. එතකොට වැඩකාරයෝ විතරක් ඉන්න වේවි. එතකොටවත් මේ චිත්‍රපටි පෝලිම නතර වේවි.

ප්‍රියන්ත කොඩිප්පිලි