අත්හරින එක හිතන තරමට ලේසි නැහැ. දුකක් තියෙනවා නැත්තේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වේදිකාවේ සම්මාන පිට සම්මාන ලබා ගනිමින් ඒ වගේම පුංචිතිරයේ ,සිනමාවේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගෙන සිටි ගයනි ගිසන්තිකා කියන්නේ විවිධ කලා ක්ෂේත්‍රයන්වල සිය ප්‍රතිභාව පළකළ නිර්මාණවේදිනියක්. ඒවගේම සංගීතවේදිනියක් විදිහටත් ඇය සිය කුසලතා ප්‍රේක්ෂකයාට එකතු කළ  කලා ශිල්පිනියක්. ඒ වගේම ඇය කිවිඳියක්. කොහොම වුනත් දැන් මේ සියල්ලලෙන්ම නිහඩ වෙලා ඕස්ට්‍රේලියාවේ ජිවිතය ගෙවන ගයනි  පසුගිය දිනක නැවත ලංකාවට ඇවිත් කාලෙකට පස්සේ මුණගැහෙනවා. ගයනි යලිත් රට හැරදා ගොස් නිහැඩියාවකට සම වැදුනේ ඇයි? මේ කතාබහ ඇය සමගින්. ලංකාව අතහැර යාමෙන් ම අපි කතාව පටන් ගමු.

ප්‍රේක්ෂකයා ඔබට ලංවෙනවත් එක්කම තමයි ඔබ ටෙලි තිරයෙන් නොපෙනී යන්නේ?

ඇත්තටම මම සැමියා එක්ක මුලින්ම ඕස්ට්‍රේලියාවට යන්නේ 2007 වසරෙදි. ඒ කාලේ මගේ කලා ජීවිතේ පැත්තෙන් ගොඩක් නිර්මාණ ලැබුණ කාලයක්.  සැමියාගේ අධ්‍යාපන කටයුතු නිසා තමයි 2007 දි ඔස්ට්‍රේලියාවට යන්නේ.  

ඒ ගියත් මගේ සැමියා තරුගේ හිතේ තිබුනා එයාගේ අධ්‍යාපන වැඩ අවසන් කරලා ලංකාවට ඇවිත් නැවත ලංකාවට සේවය කරන්න. මටත් නැවත කලා කටයුතු ආරම්භ කරන්න වුවමනාව තිබුණා. ඒ අනුව අවුරුදු 7 කට පස්සේ  නැවත අපි ලංකාවට ඇවිත් සාමාන්‍ය පරිදි වැඩකටයුතු කළා. ඇත්තටම නැවත ඕස්ට්‍රේලියාවට යන්න බලාපොරොත්තුවක් තිබුනේම නැහැ. ඒත් ලංකාවට ඇවිත් ටික කාලයක් ඉන්න කොට ඒ තීරණය ඉක්මණින්ම අපිට වෙනස් කරන්න වුණා. ගොඩාක්ම ලංකාව හැරදා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ආවේ දරුවෝ දෙන්නාගේ අනාගතේ ගැන හිතලා. අපි මොන තරම් දේවල් කරත් පෞද්ගලික ජීවිතේ දේවල් නිසා සමහර දේවල් අකමැත්තෙන් වුනත් අත්හරින්න වෙනවා. 

කොහොමද මේ කාලයේ ගෙවන  ජිවිතේ? 

වෙනදාට නම් මම මේවගේ කතා බහට එන්නේ කලා කටයුත්තක් ගැන කතා කරන්න. නමුත් පහුගිය කාල වකවානුව තුළ එහෙම කලාකටයුතු වලට දායක වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. දැන් අපේ පදිංචිය ඕස්ට්‍රේලියාවේ නිසා. නිවාඩුවකට ඇරෙන්න දැන් ලංකාවට එවෙන්නේ නැහැ.  නමුත් මම රඟනොපෑවත් ඉඳ හිට ලංකාවට ආවම ප්‍රතිචාර වලින් නම් අඩුවක් තිබුණේ නැහැ. ඒ ආදරේ  තාමත් අඩු නෑ කියලා දැණුනා. පසුගිය දවස් වල සති දෙකකට වගේ ලංකාවට ඇවිත් ගියා.   මම ගොඩක්ම ආවේ අම්මලා බලලා යන්න .අම්මා එක්ක ටිකක් කාලය ගත කරන්න ඕන කියලා හිතුනා. ලංකාවේ හිටපු කාලෙම අම්මා එක්කම හිටියා. 

ඔබ වගේම ඔබගේ සැමියා තරුපති මුණසිංහ ඔබ දෙපලම කලා නිර්මාණ කටයුතු වලට තදින්ම බැඳිලා හිටපු දෙන්නෙක්. ඒ නිසා කලාව අත්හැරලා ඉන්න පුළුවන්ද?

අත්හරින එක හිතන තරමට ලේසි නැහැ. දුකක් තියෙනවා නැත්තේ නැහැ. 2006 මම මුලින්ම මෙල්බන් ගිය කාලේ තමයි මගේ කලා ජීවිතේ හොඳම කාලේ. එතකොට මට පුතාලා ලැබිලත් නැහැ.  මම හොඳ නිර්මාණ ගණනාවකටම දායක වුණා.
හොඳ පිටපත් ලැබුණා. හොඳ අධ්‍යක්ෂවරු මුණ ගැහුණා. හොඳ නිර්මාණ බිහිවුණා. සම්මාන ඇගයීමට පාත්‍ර වුණා. ඒ දේවල් එක්ක ඒ මතක එක්ක මම තාමත් ජීවත් වෙනවා.  ඒ ගැන හිතලා අද මම සතුටු වෙනවා. ඒ කොහොම වුනත් මම විදෙස් ගතවෙලා නැවත ලංකාවට ගිය අවස්ථා කිහිපයකදීම  මට වේදිකාවෙන් ,ටෙලිනාට්‍යවලින්, සිනමාවෙන් ආරාධනා ගොඩක්  ලැබුණා. මගේ වෘත්තිය රංගනය නිසා ඒ වෙලාවේ මම ගොඩක් නිර්මාණ භාර අරගෙන වැඩ කළා. තරුත් ලංකාවේ ඉද්දි ගොඩාක් සංගීත නිර්මාණ වලට දායක වුණා.නමුත් තරුගේ පශ්චාත් උපාධියට පස්සේ ඔහුගේ පර් යේෂණ කටයුතුවල සහ පොත් ලිවීම වැනි කාර්යයන් වල යෙදෙනවා. නමුත් ගීත නිර්මාණ නතර කරලා නැහැ මෙල්බන් වල ගීත නිර්මාණ කිහිපයක් කළා. අපි දෙන්නාටම වෘත්තිමය වශයෙන් කලාවෙන් අයින් වෙලා ඉන්න ටිකක් අපහසුයි. 

කොහොම වුණත් කාලෙකට ඉහතදි ලංකාවට ඇවිත් සුපුරුදු විදිහටම වැඩ පටන් ගත්තා නේද ?

ඔව් ඕස්ට්‍රේලියාවේ අවුරුදු 8 ක් විතර ඉඳලා ලංකාවට ඇවිත් මම නැවත කලා කටයුතු පටන් ගත්තා. මම ඒ කාලය තුළ  වේදිකාවේ ටෙලිනාට්‍ය වල ගොඩාක් වැඩ කළා. සැමියාත් ඒ කාලේ කැළණිය විශ්ව විද්‍යාලයේ ජේHIaG කථිකාචාර්යවරයෙක් විදිහට වැඩ කළා.  එහෙම ඉන්නකොට මහත්තයාගේ වෘත්තිමය ප්‍රශ්න ටිකක් ආවා.සහ දරුවන්ගේ ආධ්‍යාපනය පැත්තෙන් වඩා හොඳ පරිසරයක් හැදෙන්න ඕන කියලා සිතුවා. ඒ සියල්ල ගැන හිතලා නැවත අපි ඕස්ට්‍රේලියාවට යන්නේ 2021 කොවිඩ් කාලෙදිමයි.   ඒ වෙනකොට මම ටෙලි නාට්‍ය කිහිපයකටම දායක වෙලා ඉන් සමහර ඒවා විකාශනය වෙන අවධියක තමයි හිටියේ.  සමහර මම කරපු චරිත වලට වෙන අය දායක කරගන්න සිද්ධ වුණා. සමහර චරිත මරන්න වුණා. ඒ වගේම තවත් වැඩ ගොඩකට මට ඒ වෙනකොට ආරාධනා ලැබිලා තිබුණේ.විදෙස් ගත වෙද්දි සිහින ගෙනෙන කුමාරි ටෙලි නාට්‍යයේ තමයි වැඩ කර කර හිටියේ.  ඒත් ඉතින් දරුවෝ වෙනුවෙන් සියල්ලටම තිත තියලා  කලා ජීවිතෙන් ඈත්වෙන්න වුණා. 

සිනමාව තුළ ඔබට ලැබුණ පරාසය ගැන තෘප්තිමත්ද?

අනිවාර් යෙන්ම ඔව් . විශේෂයෙන් ලෙස්ටර් ජේමිස් පීරිස් මහත්මාගේ අවසන් නිර්මාණය වන අම්මාවරුනේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. මට ඒ වෙනුවෙන් 2006 වසරේ සරසවි සම්මාන උළෙලේ හොඳම සහය නිළිය ට හිමි සම්මානය පවා ලැබුණා. මට සිනමාවේ ඉන්න දැවැන්තම අධ්‍යක්ෂකවරුන් සමග වැඩ කරන්න අවස්ථාව ලැබුණා.   මම සිනමාවේ මහා ලොකු ජනප්‍රිය චරිතයක් නොවුනට මට ලැබුන චරිත වෙනුවෙන් නිරන්තරයෙන්ම මම ඇගයීම් වලට ලක්වෙලා තියෙනවා. 

අද ගෙවන ජිවිතේ සතුටින්ද? 

අද ගෙවන ජීවිතේ ගැන ගොඩාක් සතුටුයි .මට පුළුවන් කාලේ ම වැඩ කළා. විවිධ චරිත කළා. ඉදිරියට ඕස්ට්‍රේලියාවෙත් වැඩ කිහිපයක් කරන්න හිතාගෙන ඉන්නවා. පිටපතක් ලැබිලා තියෙනවා ටෙලිනාට්‍යකට ඒවා ඉදිරියට වෙයි. කොහොම වුණත් මෙහේ කලා වැඩ කිහිපයකට සූදානමක් තියෙනවා. 

මම ඕස්ට්‍රේලියාවේ වෘත්තියක් කරන්නේ නැහැ. නමුත් මම  පාඨමාලාවක් කරා පහුගිය කාලේ වෘත්තිමය සුදුසුකමක් හදාගන්න .ඒත් මට වෘත්තියක් කරන්න ලොකු ආසාවක් නැහැ. ලංකා බතික් කියලා මගේම ව්‍යාපාරයක් කරනවා මෙල්බර්න් වල ඉඳලා. ඒවා එක්ක මං දරැවන්ගේ වැඩත් කරන් විවේකිව ගෙදරට වෙලා ඉන්නවා.

ඔබ කලාවට ඇල්මක් දක්වන්නේ පාසල් වියේදිමද  ?

ඔව් මම  පාසල් කාලේ ඉඳලම පාසල් වේදිකාවේ නිර්මාණවලට සම්බන්ධ වුණා. පසුව මම ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාඨමාලාව හැදෑරුවා. එතනින් යෞවන  නාට්‍ය සම්මාන හරහා තමයි මම වේදිකාවට එන්නේ. යෞවන සම්මාන නාට්‍ය උළෙලේ චාරුක සුරවීරගේ තිත්ත කුසලාන වේදිකා නාට්‍ය  හරහා තමයි මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ. ඒ හරහා ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගෙන් මට අවස්ථාව ලැබුණා.  ධර්මසිරි බණ්ඩාරනායක මහත්මාගේ ට්‍රෝජන් කාන්තාවෝ වේදිකා නාට්‍ය,තුමිඳු දොඩම්තැන්නගේ අරැන්දතී ,ප්‍රසන්න විතානගේගේ හොරු සමඟ හෙළුවෙන් වගේ ප්‍රසිද්ධ වේදිකාවේ මම බොහෝ නිර්මාණ වලට දායක වෙන්න අවස්ථාව ලැබුණා.පසුකාලීනව ලැබුන හැම අවස්ථාවම ලැබුණේ වේදිකාවෙන් ලැබුණු පන්නරය නිසා කිව්වොත් හරි.
කොහොම වුණත් අරුන්දතී වේදිකා නාට්‍ය මගේ කලා ජීවිතේ වගේම මගේ ජිවිතෙත් එළිය කරපු නාට්‍යයක්. මොකද මට තරු ව මුණගැහෙන්නේ අරුන්දතී ටෙලි නාට්‍යයෙන්.

නදීශා අතුකෝරළ / ඡායාරූප -  සජීව ලක්ෂාන්