අද ලෝකෙම කතා කරන, යොහානි - මේ ඇගේ පියා ගැන කවුරුත් නොදැන හිටපු කතාව යි

  • 07-10-2021

යොහානි ද සිල්වා කියන නම මේ වෙද්දි ඔබට මට නුහුරු නුපුරුදු නමක් නෙවෙයි. ජාත්‍යන්තරයෙත් රැව්පිළි රැව් දෙන "මැණිකේ" ගීතය ප්‍රතිගායනය කිරීම නිසාම ඇයට මහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා.

ඇයට ඉන්දියානු සංචාරයකට ඇරයුම් ලැබෙන්නෙද එහි ප්‍රතිඵලයක් ලෙසයි. එම ගමනාන්තයේදී ඇය සුරූපී ජැක්ලින් වද මුණ ගැසී තිබුණා.

මේ අතර, යොහානි ගැන, පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අපූරූ සටහනක් සිය මුහුණු පොතට එකතු කර තිබුණා.

යොහානි දුව, මගේ උණුසුම් සුභ පැතුම්!

විශේෂ බලකා බලසේනාධිපති ලෙස ඔබේ පියා 2006 එවක කර්නල් ප්‍රසන්න ද සිල්වා වව්නියාවේ සිට කල්ලාර් වෙත මා කැඳවන්නේ මාවිල්ආරු නිදහස් කර ගැනීම සඳහායි. 2006 අගෝස්තු 3 වැනිදා මා ප්‍රසන්නට සතියකින් මාවිල්ආරු නිදහස් කරගැනීම සඳහා විශේෂ බලකායට (1SF /2SF/3SF) ලබාදුන් නියෝගයෙන් පසු පාබල, කාලතුවක්කු, කමාන්ඩෝ රෙජිමේන්තු හා ගුවන් හමුදාවේද සහාද ඇතිව අගෝස්තු 10 වැනිදා "ජලය යුද සාධකයක්" ලෙස එදා එල්ටීටීඊ ත්‍රස්තවාදීන් යොදා ගත් මාවිල් ආරු සොරොව්ව යුද හමුදාව විසින් මුදා ගත් අතර ප්‍රභාකරන්ට "මානුෂිය සාධක" යුද මෙවලම් කර නොගන්නා ලෙස පළමු පාඩම එදා ඉගැන්වීය.

මාවිල් ආරු වලින් පසු සාම්පුර්, වාකරේ, කදිරවේලි, වෙරුගල් ඇතුළු නැගෙනහිර පළාතේ ත්‍රීමලයේ සිට මඩකලපුව දක්වා සියලු මෙහෙයුම් වලදී කර්නල් ප්‍රසන්න ද සිල්වා මා භුමියේ විශේෂ බලකා මෙහෙයුම් අණ දීමට කැඳවු අතර ඔබේ පියාට මා නැගෙනහිර ක්‍රියාන්විතයේදී යම් විවේකයක් දුන්නේ තොප්පිගල මෙහෙයුමේදී.

ඒ වගේම අවසන් සටනේ 55 හා 59 සේනාංකාධිපති ලෙසත් සටන් බිමේදී ප්‍රසන්න දැක්වූ උපක්‍රමශීලි, කාර්යශුර හා සාමුහික අභිලාශය සඳහා වූ වීරත්වය හා නායකත්වය හා එමගින් යුද හමුදාව ලබා ගත් ජයග්‍රහණ එදා පියා මෙන් අද ජ්‍යාතන්තර සංගීත වේදිකාවේදී, දුව ඔබ විසින් ලබා ගැනීම ඔබ අපේ මව්බිමට ලබා දෙන්නේ විශාල කීර්තියක් හා ජයග්‍රහණයක්.

- ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා -