අපි හැමෝම ජීවත් වෙන්නෙ ටික කාලයයි
ලොක්ඩවුන් එකත් එක්ක ගෙදරට වෙලාම ඉන්න එකේ මොනවා හරි කරන්නත් එපායැ. ඉතින් රංගන ශිල්පිනී නදීෂා අලහප්පෙරුම පසුගිය දිනවල ගෙදරට වෙලා නිකම්ම හිටියෙ නැහැ. ගෙදර වැඩවලට අමතරව කවි ලිවීම වැඩිපුර කළා කිව්වොත් හරි. කොහොමටත් ඇය කවි ලියන්න පටන් ගන්නෙ නම් අද ඊයෙක නොවෙයිලු.
දුරක හිටියත්
ළඟක හිටියත්
මට දැනෙන එකම තැන
නොදැක හිටියත්
නොවිඳ හිටියත්
මට හිතැති එකම තැන
අඬන්නත් මට
හිනා වෙන්නත් මට
සසර පුරා හොයපු තැන
ඒ තමයි ඔබ ඉන්න තැන
ඔව්
ආදරය මට දැනුණ තැන
මේ විදියට ප්‍රේමනීය කවි සංකල්පනා ලියන නදීෂා එක්ක අපි කතාබහකට එක්වෙමු. මතකනෙ ඇය දායක වූ ජීවිතය ලස්සනයි, රුවන් මාලිගා, රන් සමනලයෝ, තෝඩු ඒ වගේම සිදු නාට්‍යය. ඒ මතක අතරින් ඇය කතාබහට එක්වුණේ මේ විදිහටයි.
• නදීෂා බොහෝ දෙනා ඔබ අමතන්නෙ ඒ නමින් විතරද?
යාළුවෝ නදී කියලා කියනවා. තවත් අය නදීෂා තමයි කියන්නෙ. අමිල නම් මට කියන්නෙ බබ්ලි කියලයි.
• බබ්ලි එහෙම කියන්න විශේෂ හේතුවක් ඇති.
ඒ කාලයේ ඉඳලම ඒක එයාම හදාගත්ත නමක්.
• හැඩකාර, කවිකාර බබ්ලි කිව්වොත් හරි නේද? මොකද දැන් කවිත් ලියනවනෙ නේද?
අද ඊයෙක ඉඳලා නෙවෙයි. කාලයක ඉඳලාම මම කවි ලියනවා. මගේ කවි පොතක් එළිදක්වන්න හිතාගෙන හිටියෙ. මගේ උපන් දිනය යෙදෙන සැප්තැම්බර් 18 වැනිදා. ඒත් කොවිඩ් ප්‍රශ්නය එක්ක ඒ වැඩේ කල් ගියා. සෑහෙන කාලයක ඉඳලම මගේ කවි පොතක් එළිදැක්වීම ලොකු ආසාවක්.
• මොකක්ද ඔය කවි පොතට දාලා තියෙන නම ?
දැනට දාලා තියෙන්නෙ ඍතුවකට පෙර කියලයි. ඒත් පසුව ඒ නම වෙනස් වෙන්නත් පුළුවනි.
• මේ කවිවලට වැඩිපුර මාතෘකා කර ගත්තෙ?
ආදරය, ප්‍රේමය. තනිකර ප්‍රේමය ගැන විතරයි කිව්වොත් හරි.
• නදීෂා වඩා කැමති ප්‍රේමයට? ඒ කියන්නේ ප්‍රේමණීය චරිතයක්.
ප්‍රේමයට කවුද අකමැති? ප්‍රේමය නැතුව මනුෂ්‍යයකුට ජීවත් වෙන්න බැහැ. ප්‍රේමය නැත්තේ හැඟීම් දැනීම් නැති කෙනෙකුට විතරක් වෙන්න පුළුවනි. ප්‍රේමය එක් එක් කාලවලදී වෙනස්, වයස අනුව වෙනස්. කොහොම වුණත් ජීවිතය ජීවත් කරවන්නෙ ප්‍රේමයයි.
• ප්‍රේමණීයව ගෙවන නදීෂාගෙ ජීවිතේ අද කොහොමද?
මේ දිනවල නම් ඉතින් දුවයි පුතයි එක්කම තමයි. දුව රඟපෑමට සම්බන්ධයිනෙ. මේ දිනවල නම් ගෙදර ඉඳලා ඉස්කෝලෙ වැඩ තමයි කරන්නෙ. විවාහ වෙලා සෑහෙන කාලයක් වෙනවා. ගෙවී ගිය කාලයේ සතුට ජයග්‍රහණ වගේම පසුබෑම් සහ දුෂ්කරතා තිබුණා. ඒ ඔක්කොටම මුහුණ දීලා අද යම්කිසි ස්ථාවරයක් ඇතිකර ගෙන තියෙන බව කියන්න පුළුවනි. දරුවො දෙන්නත් එක්ක සතුටින් ඉන්නවා. ජීවිතේට උපේක්ෂාවෙන් මුහුණදීගෙන ගත කරන්න පුරුදු වුණාම ඒක හරිම ලෙහෙසියි.
• සැමියා අමිල නුවන් වාදසිංහ, තවමත් ස්වර්ණවාහිනියේ වැඩ කරන්නේ?
ඔව්. එයා ස්වර්ණවාහිනියෙ වැඩසටහන් කළමනාකරු.
• ගෙදරදී වැඩිපුර වාද කරන්නෙ සැමියා අමිල නුවන් වාදසිංහද? නැත්නම් අමිල කියන විදියට බබ්ලිද?
අමිල නම් ගෙදරදී හරිම නිශ්ශබ්ද කෙනෙක්. නම වාදසිංහ වුණාට ගෙදරදි වැඩිපුර කේන්ති යන්නෙ මට.
• ක්ෂේත්‍රයේ නදීෂලා කීප දෙනෙක්ම ඉන්න නිසා වැරදිලා ඇමතුම් එන්නෙ නැද්ද?
මම ක්ෂේත්‍රයට ආ මුල් කාලයේදි නම් වැරදිලා මට කතා කරලා නදීෂා ද කියල අහලා තියෙනවා. ඒත් දැන් එහෙම වෙන්නෙ නැහැ. චරිත එක්ක මිනිස්සු හඳුනනවා. ඒත් දන්නෙ නැති කෙනෙක් අදටත් කතා කලොත් ඉස්සර පුරුද්දට කොයි නදීෂාටද කතා කරන්න ඕනෑ කියලා මම අහනවා. මුල් කාලයේදී ක්ෂේත්‍රයේ අයටත් නම් පැටලිලා ඇමතුම් ආපු අවස්ථා තියෙනවා.
• අමිලට නම් පැටලෙන්න විදියක් නැහැ. මොකද එයා බබ්ලි කියලනෙ කතා කරන්නෙ නේද?
ඔව්. එයා ඒ නමින් මට කතා කරන්නෙ. අපි දෙන්නා මුලින්ම දැන හඳුනා ගත්ත කාලයේ ඉඳලමයි. දැන් අපි දෙන්නගෙ ගමනට අවුරුදු 18ක් විතර වෙනවනෙ.
• බබ්ලිට ප්‍රේමය ගැන කියන්න කිව්වොත්
ප්‍රේමය කියන දේ විග්‍රහ කරන්න අමාරුයි. එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්. කැපකිරීම, ඉවසීම ඒ වගේම විශ්වාසය ඇතුළු සියල්ලගේ එකතුවක් වෙන්න පුළුවනි. හැමෝටම දයාව, කරුණාව, මෛත්‍රීය දක්වන්න පුළුවන් වුණත්, ගැහැණිය හා පිරිමියකු අතර ඇතිවන බැඳීම ඊට වඩා වෙනස්. ප්‍රේමයට වයසක්, භේදයක් නැහැ. සෑම කෙනෙකුටම විඳගත හැකි හැඟීමක්.
• කවි ලියන නදීෂා හෙවත් බබ්ලි මේ දක්වා කියවූ කවි පොත් අතරින් වඩා කැමති කාගේ කවිවලටද?
මම ආසයි නව පරපුරේ අපේ පරම්පරාවේ කවිකාරියක වන තිළිණ එස්. ලියනාරච්චිගෙ කවි කියවන්න. ප්‍රේමය ගැන ලස්සන කවි ලියන රචිකාවියක්. ඇයගෙ කාව්‍ය ග්‍රන්ථයක් එළි දැක්වූ උළෙලකට පවා මම සහභාගි වුණා.
• මෙතෙක් ඇසූ ගී අතරින් බබ්ලිගෙ ආසම කරන ප්‍රේමණීය ගීතය ගැන කිව්වොත්.
විශාරද නන්දා මාලනිය ගයන නවාතැන්පල ඔබයි ඔබගේ සිනාවයි. ගීතයට වඩාත් කැමතියි. ඒ ගීතයේ කියැවෙනවා වගේම ජීවිතය කියන්නෙ දිගු වන්දනා ගමනක්. ජීවිතයේ බොහෝ දේ ඇතිවෙනවා, ඒ වගේම නැති වෙනවා. ඒ සියල්ල විඳ දරාගෙන යා යුතු ගමනක්.
• බබ්ලි කොහොම කෙනෙක්ද?
සමහරු හිතන්නෙ මම හරිම අාඩම්බරයි කියලයි. ඒත් මම එහෙම නැහැ. ආඩම්බර වෙන්න තරම් හෝ උද්දච්ච වෙන්න තරම් දෙයක් ජීවිතයට නැහැ. අපි හැමෝම ජීවත් වෙන්නෙ ටික කාලයයි. ඒ ටික කාලයේදී අපි හැමෝම ආඩම්බර වෙනවා නම් ආඩම්බර වෙන්න ඕනෑ අපි හැමෝටම මනුෂ්‍ය ජීවිතයක් ලැබුණු එකටයි.
• නදීෂා හරිම සාම්ප්‍රදායිකයි?
ඔව්. ගෙදර ජීවිතයට මුල්තැන දෙන එයාගෙ තීරණය අවසන් තීරණය ලෙස ගරු කරන ගෙදර දොර වැඩ ටික කරගෙන ඉන්න කෙනෙක්. මම හරි සාම්ප්‍රදායික කාන්තාවක් කියලා කියන්න මම ලැජ්ජා වෙන්නෙ නැහැ.
• රඟපෑමට, කවි ලිවීමට දක්ෂ මේ නදීෂා ඒ හැර තව දක්ෂ මොනවටද?
හොඳට රසට උයන්න පුළුවනි.
• බබ්ලි ස්පෙෂල්
මම හදන කට්ලට් කන්න ගෙදර හැමෝම කැමතියි.
• හොඳයි නදීෂා එහෙම නම් ඔයාගේ කවි අදහසකින් මේ හමුවට සමුදෙමු
දුරක හිටියත්
මේ තරම් දැනෙන
නපුරුම දවස්වල
හිනාවක් වුණ
කවදාවත්ම දැකපු නැති
හීනයක් ළඟ ජීවිතයේ තිබ්බ
ඔබ දන්නවාද මගේ හිතේ
ඔබ ඉන්න තැන
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ
විලාසිතා සහ හැඩ ගැන්වීම් - රෝයි ක්‍රිෂ්


