අම්මා බලාගන්න ලංකාවට ආවා

  • 07-10-2021

“රංගන ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු දහයකට වඩා වැඩියි. මේ ගෙවී ගිය කාලයේදී ටෙලිනාට්‍ය 32ක විතර රඟපෑවා. දියණියෝ නාට්‍ය විකාශය වෙද්දි මිනිස්සු මාව හඳුනා ගත්තේ ‘වල්ලි’ අක්කා කියලයි. උරුමයක අරගලය යද්දි ‘කපුරි’ කියලා මට කිව්වා. මේ දවස්වල නම් මට කියන්නෙ ‘සුන්දරී’ කියලයි.” මේ විදියට කියන්නේ සනත් අබේසේකරගෙ, ‘මහවිරු පණ්ඩු’ නාට්‍යයේ ‘සුන්දරී’ ලෙස රඟන අනුෂා දිල්හානි රංගන ශිල්පිනියයි. අපි ඇය සමඟ කතාබහක් කරමු.

කවුද වේ ‘සුන්දරී’?

නමින් මම අනුෂා දිල්හානි කරුණාරත්න. උපන්නෙ ගණේමුල්ලෙ. ඉගෙන ගත්තෙ ගලහිටියාව හේමමාලි විද්‍යාලයෙන්. දැන් පදිංචිය කඩවත.

දිල්හානි කියන්නද? අනුෂා කියන්නද?

අනුෂා කිව්වත් දන්නවා, දිල්හානි කිව්වත් දන්නවා.

ඔබ වඩා කැමැති?

‘අනූ’ කියලා කියනවාට. යාළුවෝ මට කියන්නෙ එහෙමයි.

අනූ ඉගෙන ගත්තෙ කවුරු වෙන්න තිහාගෙනද?

නර්ස් කෙනෙක් වීමේ ආසාව තිබුණෙ. මගේ පවුලේ ඥාති වෛද්‍යවරු සහ හෙද සේවයේ නියැලී සිටින අය ඉන්නවා.

අනූගෙ ගෙදර විස්තර කිව්වොත්?

අයියලා තුනයි, නංගියි, මමයි. අම්මා ගාහණියක්. තාත්තයි ලොකු අයියයි දෙන්නම ජීවතුන් අතර නැහැ. අනතුරකින් දෙන්නම මිය ගියේ දැනට වසර 8 කට විතර පෙරදියි.

ඇයි කලාවට එන්න හිතුවෙ?

කුඩා කාලයේදී මාව ගායිකාවක්, නිලියක් කිරීමේ ලොකුම ආසාව තිබුණෙ අපේ තාත්තාට. මම ඒ දිනවල ඉඳලාම, පාසලේ කලා වැඩසටහන්වලට වගේම සිංදු කියන්නත් දක්ෂ වුණා. ඒ වගේ දේ නිසා තමයි.

අද සිංදුත් කියනවාද?

ඔව්. මගේම ගී නිර්මාණයක් කරලා තියෙනවා. ඊට අමතරව වෙනත් ශිල්පිනියන්ගේ ගීත විවිධ වැඩසටහන්වලදී ගයනවා.

රඟපෑම පටන් ගත්තෙ හරියටම?

2010 දී විතර, රවින්ද්‍ර විජේරත්න මහතාගේ ‘දියණියෝ’ නාට්‍යයෙන්.

අද ප්‍රධාන වෘත්තිය රංගනයද?

ඔව්. වේදිකා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක්. ඒ අතරේ චිත්‍රපට 15ක විතර රඟපාලා තියෙනවා. බන්ධු සමරසිංහ මහතා එක්ක විකට චිත්‍රපට හයක විතර ප්‍රධාන චරිත කරලා තියෙනවා.

ඉතින් අනූ, රංගන ක්ෂේත්‍රය හොඳයි ද?

ඇත්තටම හොඳයි.  නරක් කර ගන්නෙ නැතුව ගියොත් ඇත්තටම හොඳයි.

කොහොමද අනූගෙ ආදරය එහෙම?

මම විවාහකයි. පුතාලා දෙන්නෙක් ඉන්නවා.

අනූ පසුගිය කාලයේදී කාලයක් පේන්න හිටියෙත් නැහැ නේද?

ඔව් ඒකට හේතුව මම ලොකු අනතුරකට මුහුණ දුන්නා. ඒ නිසා බරපතළ විදියට තුවාල වුණා. මාස ගණනක් ක්ෂේත්‍රයේ වැඩ කළෙත් නැහැ.

අනූ කිව්වාම, මොන වගේ කෙනෙක්ද?

අහිංසකයි කියලා හිතනවා. අසාධාරණය පේන්න බැහැ. ඒ නිසා ටිකක් විතර කේන්තිත් යනවා. සාමාන්‍ය විදිහට පොළවෙ පය ගහලා ජීවත් වෙන කෙනෙක්.

ජීවිතේ ගැන හිතෙන්නෙ කොහොමද?

මේ තියෙන තත්ත්වය දිහා බැලුවාම ජීවිතේ ගැන ලොකු විශ්වාසයක් තියන්නත් බැහැ වගෙයි.

වෘත්තියක් විදියට රඟපෑම විතරක් ප්‍රමාණවත්ද?

කොහෙත්ම නැහැ. මේක කරන අතරේ වෙන වෙන මොනවා හරි දෙයක් කරන්න ඕනෑ. කළ යුතුයි. ඇඟලුම් හෝ රූපලාවන්‍ය අංශයෙන් ව්‍යාපාරයක් කිරීමේ අරමුණ මට තියෙනවා.

කාලයක් ජීවත් වුණේ ග්‍රීසියේ ඇතැන්ස් නුවර නේද?

ග්‍රීසියෙත් හිටියා. සයිප්‍රස්වලත් හිටියා. වැඩිම කාලයක් සයිප්‍රස්වල හිටියෙ. බැංකුවක සේවය කළා. ඒ අතරේ ක්‍රීඩා පවා කළා. අත්පන්දුවලට හරිම ආසයි.

දැන් ක්‍රීඩා කරන්නෙ නැද්ද?

අනතුරින් පසුව තවම ක්‍රීඩාවට ආවෙ නැහැ. අනතුරට කලින් කලාකරුවන් සංවිධානය කළ ක්‍රීඩා වැඩසටහන්වලදී සහභාගි වුණා.

ඇයි සයිප්‍රසය දාල ආවේ?

තාත්තයි, අයියයි නැතිවීම ලොකු හේතුවක් වුණා. ලංකාවට ආවේ ඒකයි. අපේ අම්මා හෘද රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. අම්මවත් බලා ගන්න එපායැ. අනාගතයේ අනාත නිවසක් තනා සමාජයට සේවයක් කිරීම අරමුණයි.

දැන් කියමු ‘සුන්දරී‘ ගැන?

මම කිව්වනෙ මම ලොකු අනතුරකට ලක්වුණා කියලා. ඉතින් ඒක වුණේ මේ චරිතය ගැන කතා කරල අධ්‍යක්ෂතුමා හමුවෙලා එන අතරතුරේදියි. නාට්‍ය පටන් ගන්න තිබුණු කාල සීමාවේදී කොවිඩ් නිසා නියමිත කාලයේදී රූගත කිරීම් කළේ නැහැ. ආයෙත් මාස හයකින් විතර පටන් ගත්තෙ. ඒ කාලයේදී නොහිතපු විදියට මාව සනීප වුණා. ඒ කියන්නෙ ‘සුන්දරී’ චරිතය මටම වෙන්න ඇති. අනතුරට පෙර විකාශය වූ ‘නාඩි’ නාට්‍යයේ ‘මාලා’ නමින් චරිතයක් රඟපෑවා. ඒකත් කොවිඩ් නිසා නතර වෙලා තිබිලා ආයෙත් පටන් ගත්තා. ඒ අතරෙදි තමයි සනත් අබේසේකර අයියා කතා කරල, ඔයාට දැන් සනීපද, රඟපාන්න පුළුවන්ද කියලා ඇහුවෙ. ‘සුන්දරී’ වුණේ ඒ විදියටයි. අද වනවිට ‘සුන්දරි’ ට ලැබෙන්න හොඳ ප්‍රතිචාර. ඒ ගැන හරිම සතුටුයි. ඈත ගම්වලට ගියාම මිනිස්සු ඇවිත් මාව වට කරගෙන ‘සුන්දරි’ ගැන අහනවා.

‘සුන්දරී’ට වෙච්ච සිදුවීම් එහෙම තියෙනවද?

දවසක්, රූගත කිරීම් කරද්දි දර්ශන තලයේ ගෙදර බිත්තිය කඩාගෙන වැටුනා. සීන් එක යන අතරේදී මාත් එක්ක බිත්තිය වැටුණෙ. මගේ මලයණ්ඩි මැරුණ වෙලාවෙ මම අඬාගෙන යන දර්ශනයක් තිබුණා. බලද්දි මම ඇත්තටම අඬලා. පස්සෙ සෙට් එකේ අය මට විහිළු කළා.

‘සුන්දරී’ගෙ දෙබසක් කියමුද අපි?

හප්පුච්චෝ මයෙ මලයණ්ඩි උඹට මොකක්දැ මේ සිද්ධවුණේ කියලා මම හැම යාමෙම කල්පනා කොර කොරමයි උන්නෙ ඕං...

ඉදිරි වැඩත් කියමු?

ටෙලිනාට්‍ය තුනක නැවතත් වැඩ පටන් ගන්න තියෙනවා. ඊට අමතරව තව අලුත් ටෙලිනාට්‍ය දෙකකට සහ ෆිල්ම් දෙකකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ අතරේදී ඔක්තෝබර් 3 වැනිදාට යෙදෙන මගේ උපන්දිනය දාට, අසරණ මිනිසුන් වෙනුවෙන් යමක් කිරීමේ අරමුණින් මේ දිනවල ඊට සූදානම් වෙනවා.

සඳුන් ගමගේ