අම්මා මට ලෝකයක්
දෙවැනි ඇසකින් ලොවක් අමන්දානන්දයට පත් කළ ඔහුගේ ඡායාරූප ගැන විස්තර කීමට මගේ වචන ඇතැම්විට පොහොසත් නැතුවා වැනි ය.විටෙක ඔබේ හදවතට සමීප වන අයුරින් සංගීතයෙන් දෙසවන් සනසා ලූ දක්ෂ ගායකයෙකි. ඔහු මේ සෑමදේම අතර ලොව පුරා තම නාමය රැන්දූ සොඳුරු මිනිසෙකි. මුව පුරවා ගත් සිනහවෙන් මා ඉදිරියේ සිටින ඔහු දයාන් විතාරණ නම් ඒ සොඳුරු කලාකරුවාය.” ආදරණීය දයාන් අයියා ”. රහසේ කතා කිරීමට අපි ඔහු හමු වුනෙමු.
දකින දවසෙ ඉදලා එක වගේමයි . වයස ට යන එක නතර කරලා ද?
අපොයි....නැහැ . දැන් මට වයස අවුරුදු 60ක්.
හැටක්?
ඔව් .ලබන අවුරුද්දෙ අප්‍රේල් වෙනකොට මට අවුරුදු හැටක්. කවුරුත් කිව්වට පිළිගන්නේ නැහැ .
සාමාන්‍යයෙන් නම් වෙන්නේ මිනිස්සු වයස හංගනවා .... නැත්තම් වයස අඩුවෙන් කියනවා ...ඇයි මේ අවුරුද්දේ ම හැටයි කියන්නේ ?
ජීවත් වුන කාලේ හිතට එකඟව ජීවත් වුණා නම් ,දවස අවසානයේ සතුටින් නින්දට යන්න පුළුවන් නම්, හෘද සාක්ෂියට අනුව හැම තත්පරයක්ම ගෙවෙනවා නම් වයස හංගන්න දෙයක් නැහැයි කියලයි මට නම් හිතෙන්නේ .
අවුරුදු හැටක් වෙලාත් තාම ලස්සනට ඉන්නවා නේ ?
නිර්මාංශ ප්‍රතිපත්තිය ක ඉන්න නිසා මම නිරතුරුවම එළවළු පලතුරු වැඩිපුර ආහාරයට ගන්නවා .වේල් අතරතුර ඇතිවන පුංචි බඩගිනි වලදී ත් පලතුරු කන්න තමයි පුරුදු වෙලා ඉන්නේ.ඊට අමතරව සෑම මොහොතකම සියලු සත්වයන්ට මෛත්‍රිය පතුරවනවා. බැඳීම් අඩු නිසා ජීවිතය හරිම සැහැල්ලු වෙන් ගත වෙන්නේ. එයත් නිරෝගී කම රැකගෙනය සතුටින් ඉන්න ත් ඔබ කියන විදියට වයසට නොයෙන්නත් එක හේතුවක් වෙන්න ඇති.
ජීවිතයට තනිකමක් දැනෙන්නේ නැද්ද ?
තාම නං එහෙම තනිකමක් දැනිලා නැහැ .මට හැම තිස්සෙම දැනෙන්නේ මගේ මුළු ජීවිතයම මගේ ආදරණීයන් ගේ ආදරයෙන් සෙනෙහසින් පිරී ඉතිරිලා ගිහිල්ලා කියලා .
ආදරේ ගැන මොකද හිතෙන්නේ?
වචනයෙන් විස්තර කරන්න බැරි උත්තරීතරම හැඟීමක්.
ඔබත් ආදරය කළාද?
ඔව්. ඉපදිච්ච දවසේ ඉඳල මමත් විවිධ චරිත වලට ආදරය කළා. නමුත් මගේ මුළු ජීවිතේම උනේ අම්මා මම මේ ලෝකයේ වැඩිපුරම ආදරය කළේ මගේ අම්මාට. අම්මා මට ලෝකයක්.
විවාහ යෝජනා එහෙම ඇවිත් නැද්ද ?
අපොයි අනන්තවත් මංගල යෝජනා නම් ඇවිත් තියෙනවා. ඒ අතර ජනප්‍රිය නිළියන් දෙදෙනෙක් සහ ජනප්‍රිය ගායිකාවන් දෙදෙනකුත් ඇතුළු බොහෝ පිරිසක් ඉන්නවා.
ඔබ නොබැඳ ඉන්න තිරණය කරන්නේ ?
මගේ අම්මට වෙනස්කමක් වෙයි කියලා මට බය හිතුණා .මම වසර හතළිහකට ආසන්න කාලයක් විවාහ මංගල ඡායාරූප කරන ශිල්පියෙක් විදිහට බොහෝ අත්දැකීම් ලබපු කෙනෙක්.විවාහ නොවුනාට බොහෝ විවාහ ජීවිත ගැන මම දැකලා තියෙනවා .බැඳපු පිරිමියෙක්ව මම ඇත්තටම දැක්කේ ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගේ.නැන්දම්මා ලේලි ඝට්ටනය නිසා සැබෑවටම අසරණ වෙන්නේ පිරිමියෙක් . මගේ ලෝකයේ රැජින උනේ අම්මා .ඇගේ හිසේ මා පැළඳ ඔටුන්න වෙන කවුරුත් නිසා ගලවන්න මට හිතුණේ නැහැ. ඒ නිසා කල වයස හරි , මම දැන් බඳින්න ඕනේ කියන කාරණය මට කවදාවත් හිතට වද දුන්නේ නැහැ.
රටේ මොන තරම් ඡායාරූප ශිල්පීන් ඉන්නවා ද?ඇයි ඔබ ගන්න ඡායාරූප මේ තරම් ජනප්‍රිය වෙන්න හේතුව?
දයාන් විතාරණ ගෙ ඡායාරූපයක් කියන අනන්‍යතාවය ඇතුලේ කවදාවත්ම අනුකරණයක් තිබුණෙ නැහැ .මම භාවිතා කරන්නේ සාමාන්‍ය කැමරාවක් .මම හිතන්නේ කැමරාකරණයේ දී මම ආලෝකය භාවිතා කරන විදිහ ටිකක් වෙනස්. ඊට අමතරව ඡායාරූපය ගන්න කෙනා හසුරවන විදියත් ඊට බලපාන්න ඇති .සත්තුන්ගෙන් මිනිස්සු වෙනස් වෙන්නේ සිනහව නිසා නෙ .සෑම ඡායාරූපයකම ඒ කෙනාට ආවේණික සිනහව ඉස්මතු වෙන විදිහට තමයි මම ඡායාරූප ගත්තෙ.මගේ ඡායාරූප අනිත් අයට වඩා විශේෂ වෙලා ජනප්‍රිය වෙන්න මේ සියලු කරුණු හේතු වෙන්න ඇති .
කලා ලෝකයේ බොහෝ ප්‍රවීනයන්ගෙ ඡායාරූපකරණයට ඔබ ප්‍රසිද්ධයි ?
ඔව්. එක මොන තරම් ප්‍රසිද්ධ ද කියනවා නම් ඇතැම් ජේෂ්ඨ නලු නිළියන් පවා මුණ ගැසෙන අවස්ථා වල දී කියනවා ”
අනේ දයාන් ඔයා මගේ ෆොටෝ එකක් ගත්තේ නැතුව ඒක මට හරි අඩුවක් වගේ දැනෙනව කියල”. 1994 වසරේදී මම වසන්ති චතුරාණි, සබීතා පෙරේරා, මාලනි අක්කලගෙ ගත්ත පින්තූර සරසවි පුවත්පතේ කවර විදිහට පළවීමත් සමග තමයි බොහෝ කලා ලෝකයේ ප්‍රවීනයන් මට කියලා ඡායාරූප ගැනීමට පුරුදු වුණේ .අද වන විට සමුගත් සොඳුරු කලාකරුවන් බොහෝ දෙනකුගේ වැඩිපුරම භාවිතා කරන්නෙත් මගෙ ඡායාරූප . ...
විවාහා මංගල ඡායාරූපකරණයට ඔබ වඩාත් ප්‍රසිද්ධ වන්නේ ?
ඔව්. මේ වන විට විවාහ මංගල උත්සව දහසකට වැඩි ප්‍රමාණයක් ඡායාරූප ගැනීම් කර තිබෙනවා .1995 වසරේ දී කලා ශිල්පිනි නිල්මිණී තෙන්නකෝන් ගේ මංගල උත්සවය ඡායාරූපය කරණය කිරීමත් සමග ,එම ඡායාරූප වල තිබූ විශේෂත්වයන් ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තා .ඊට පස්සේ ඉතින් මම හිතන්නේ නැති විදිහට විවාහ මංගල ඡායාරූපකරණයට විශාල ඉල්ලුමක් එන්න පටන් ගත්තා .
ඔබට දැනුන විදියට ඔබ වඩාත් ම ජනප්‍රිය වන්නේ ?
2001 වසරේ සිට .ගායකයෙකු විදිහට ප්‍රසිද්ධ වෙන්න ගත්තට පස්සේ, හිතන්නේ නැති තරම් ප්‍රසිද්ධියක් මට ලැබුණා. මට ලැබුණා සමහර වෙඩින්වලට කැමරා අරන් ෆොටෝ ගන්න ගියහම ඒ අය ම ඇවිත් කැමරාව පැත්තකින් තියලා මාව ස්ටේජ් එකට එක්ක ගිහින් සිංදු කියන්න ආරාධනා කළා. ඇත්තටම හිතාගන්න බැරි තරම් ආදරයක් ගෞරවයක් ඒ දිනවල ලැබුවා.
ජීවිතේ වඩාත්ම සතුටු වුණු දවස?”
ඔබේ සිතුම් පවන්” නමින් මගේ ගීත එකතුවෙ සංයුත්ත තැටිය එළි දැක් වූ දා. එදා ජෝන් ද සිල්වා රංග ශාලාවේ අතුරු සිදුරු නැතුව මට ආදරය කරන බොහෝ පිරිසක් පැමිණ සිටියා....
කැපිලි කෙටිලි ජීවිතයේ තිබුණෙ නැද්ද ?
එකකට එකක් පරස්පර වෘත්තීන් දෙකකින් ඉදිරියට යද්දි ගෙළට මල් මාලා වැටෙනකොට හිසට ගල් මුල් වැටුණු අවස්ථාත් ඕනෑ තරම් තිබුණා. නමුත් මම හිතනවා ඒ අභියෝග මගේ ජීවිතය ශක්තිමත් කළා කියලා .වේදිකාවල සිංදු කියන්න ආරාධනා ලැබුනහම සමහර ගායකයෝ පවා මට ඇහෙන්න ම කිව්වා ෆොටෝ වලින් හම්බකරලා හම්බ කරල දැන් අපේ බඩට ගහන්න සින්දු ත් කියන්න එනවා කියලා. සමහර වෙලාවට ෆොටෝ ගන්න යන තැන්වලදී ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පීන් පවා මට කිව්වා සින්දු වලිනුත් හම්බ කරල අපේ වෙඩිනුත් ගන්න එනවා කියලා .සමහර ඡායාරූප ශිල්පීන්” දයාන් විතාරණ දැන් මංගල ඡායා රූප කරන්නේ නැහැ කියලා ප්‍රචාරය කරලා තිබුණා .පල ඇති ගසට ගල් මුල් වැදෙන එක සාමාන්‍ය දෙයක් විදිහටයි මම ඇත්තටම දැක්කෙ .
විලාසිතා කරන්න කැමති ද ?
කාලෙන් කාලෙට එන විලාසිතා නම් කරලා නැහැ .නමුත් මට ගැලපෙනම ඇඳුම සරමයි ,කොට් එකයි. කෝට් එකට සාටකය දාන ආරිය සිංහල අනන්‍යතාවය විලාසිතාවක් විදියට මම ප්‍රසිද්ධ කළා. ලංකාවේ පාට පාට සාටක වැඩිපුරම ඇත්තේ මට වෙන්න ඕනේ .
ආභරණ පලඳින්න කැමති ද ?
නැහැ .පුංචි කාලේ වත් මම පංචායුධයක් වත් දාලා නැහැ.මොන තරම් මුදල් තිබුනත් කවදාවත් රත්තරන් මාලයක් මුද්දක් වත් පළඳින ආසාවක් ඇවිත් නැහැ. පිට ඔපයෙන් පුද්ගලයන්ගේ වටිනාකම වැඩි කරන්න බැහැ කියලා මම නිතර හිතුවා. ඒ නිසා ආභරණ වලට කවදාවත් ආසාවක් ඇවිත් නැහැ. ඒත් අම්මා ජීවත් වෙලා ඉන්න කම්ම මං අම්මා ව රත්තරන් වලින් පෙරෙව්වා ...
ලැබීම් ගැන වාසනාව ගැන විශ්වාස කරනවා ද?
මම විශ්වාස කරනවා. අපි කරන හොඳ නරක අපි පස්සේ සෙවනැල්ලක් වගේ එනවා. පෙර ආත්මවල මම බොහෝ දේවල් දීලා ඇති. ඒ නිසයි අදටත් ජනප්‍රියත්වයේ ,මිල මුදල්, සැප සම්පත් වලින් අඩුවක් නැතුව ලැබෙන්නේ කියලා මම විශ්වාස කරනවා ...
ජනප්‍රිය චරිතයක් විදිහට ආඩම්බර කමක් හිතට දැනෙනා නැද්ද ?
නැහැ... කවදාවත්ම නැහැ ,මම දක්ෂ ගායකයෙක් ද මම දක්ෂ ඡායාරූප ශිල්පියෙක් ද කියන එක තීරණය කරන්නේ මගේ දක්ෂතා දකින මගේ හඬා අහන අය. නමුත් මට අවශ්‍ය වුණේ හැමදාමත් හිත හොඳ මනුස්සයෙක්
වෙන්නයි. අදටත් කවුරුහරි ඉල්ලීමක් කලොත් මහ පාරේ හරි සින්දුවක් කියන්න තරම් මගේ හිත නිහතමානි .සමහර වෙලාවට සුපිරි වෙළඳසැල් වලට ගියාම ඒ අයගේ ඉල්ලීම අනුව සුපර් මාකට් එක ඇතුළේ සිංදු කියපු අවස්ථා අනන්තයි.....ආඩම්බර වෙනවා කියන එක ගැන ඇත්තටම මම දන්නේ නැහැ .
ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
ලෝකයේ පැතිරෙන වසංගත යත් එක්ක දැන් නම් දැනෙන්නේ ජීවිතය හරිම අවිනිෂ්චිත දෙයක් විදිහට. ජීවිතයේ බැඳීම් නැති නිසා සතුටින් මැරෙන්න මට පුළුවන්.
ජීවිතේ සංවේදී වුණ දවස ?
මගේ තාත්තා නැතිවුණ දවස. එදා මට හිතට දැනුනේ එළියක් පේන තෙක් මානයක නැතුව කළුවරේ හිර වුණා වගේ හැඟීමක්. තවත් ආකාරයට කිව්වොත් ඒක දැනුනේ සරුවට හැදී ගෙනා ආපු රූස්ස ගසක මුදුන්මුල කැඩුනා වගේ දෙයක් .ඒ අඳුරු සිදුවීම වෙනකොට මට වයස අවුරුදු 13යි.
අසුන්තා එදිරිසූරිය

