අලුත්ම මෝස්තර අරගෙන 2024 මම ලංකාවට එනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 - ප්‍රවීණ මෝස්තර හා ඇඳුම් නිර්මාණ ශිල්පී සාලිංග ගුණසේකර 

අහස පොළොව අතර සොබාදහමෙන් වර්ණවත් වර්ණ සියුම් ඉසියුම් අයුරින් පෙරා වත්කොට සම්මිශ්‍රණය කර අතුරා මෝස්තර මත ඔහු මවාලන්නේ අමුතුම ලෝකයකි. එක් අතකින් ඒ වර්ණ සහ මෝස්තර ඔස්සේ අතීත සාම්ප්‍රදායික සංස්කෘතික මංමාවත්හි දුර ගමන් කරා නිතැතින්ම ඔහු අප කැටුව යයි. අතීත ලාංකික බෞද්ධ සංස්කෘතියේ නිමැවුමින් වර්ණ සහ මෝස්තර වරෙක මතකයට කැටුව එන්නට ඔසරියක් හැඩ කරන මෝස්තරයකට හැකිය, යන්න සාලිංග තරම් කියා දුන් කෙනෙක් මට හමුවූවා මට මතක නැත. එතරම්ම සොඳුරු නිමැවුම් මවාලන මෝස්තර හා ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු ඔහු තුළින් ඉපදෙන්නට මෝස්තර සේම වර්ණ කෙරෙහිද ඔහු තුළ වන ගවේෂණය සහ සැරිසැරීම කොතෙක් නම් ගැඹුරුදැයි මට සිතේ. සිය දහස් ගණනක් නිර්මාණ එදා මෙදා තුර ඔහු මවාලන්නට ඇත. අද මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වුවත් අදටත් ඒ වර්ණ, මෝස්තර කෙරෙහි ඔහු දක්වන ආදරය එදා වගේමය. ශ්‍රී ලංකාවේ සිටින කාලය තුළ ඔහු විසින් නිමවූ ඇඳුම් මෝස්තර නිරූපණ ශිල්පීන්ගේ සොඳුරු සිරුරු ඔස්සේ වේදිකා මත සේම පත්තර පිටු අතර ද සිත්තම් වූ වාර බොහෝ විය. ඒ අතීතය නැවත යාවත්කාලීන කරමින් සාලිංග සැරසෙන්නේ මෝස්තර නිරූපණය ඔස්සේ තමා අතින් නිමැවෙන ඇඳුම් ආයිත්තම් යළිත් වේදිකාවක් මතට ගෙන එන්නටය. ලංකාවට කෙටි නිවාඩුවකට පැමිණි වේලේ සාලිංග හමුවූයේ 2024 දී ඇස ගැසෙතැයි අප විශ්වාස කරන ඔහුගේ මනසින් සහ මසැසින් මැවෙන නෙක නිමැවුම් පිළිබඳව කතාබහකටමය. 

Q වර්ණ සහ මෝස්තර අතර ඔබේ ගමන් මඟ ගැන කතා කරමු?

ඒ වර්ණ සහ මෝස්තර අතර සැරිසැරීම මම පුදුමාකාර මානසික තෘප්තියක් ලබපු දෙයක් සහ අදටත් ලබන දෙයක්. මගේ මෝස්තර නිර්මාණ ශිල්පය ඇත්තටම ඇඳුම්වලට විතරක් සීමා වුණේ නෑ. ඒ ඔස්සේ මම විවිධ නිර්මාණ කළා සහ කරනවා. විවිධ සැරසිලි ඊට අයත්. ලංකාවෙ ඉඳන් එංගලන්තයේ පදිංචියට ගිය පසුත් ජීවිතය යම් යම් තැන්වලදි වෙනස් වුණත් ඒ ශිල්පය කෙරේ මගේ තිබුණු ආසාව සහ කැමැත්ත වෙනස් වුණේ නෑ. ජීවත් වෙන රට, සංස්කෘතිය, හිතමිතුරු සමාගම්වල ස්වරූපය කොහොම වෙනස් වුණත් ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික අතීත සැරසිලිවලට සංස්කෘතික අංගයන්ට සහ උරුමයන්ට අතීතයේ මෝස්තර සඳහා යොදාගත් සැරසිලි සහ වර්ණවල හිත නිවන ස්වභාවය කවදාවත් වෙනස් වුණේ නැහැ. ලංකාවෙ ඉද්දි මම අතින් නිමැවුණු ඇඳුම් මෝස්තර ගණනාවක් විවිධ නිරූපණ ශිල්පීන් සහ ශිල්පිනියන් අතින් එළිදැක්වුණා. ඒ කාලෙ මාධ්‍ය ඒවාට සාධාරණ ප්‍රසිද්ධියක් ලබා දුන්නා. එංගලන්තයේ ඉන්න මගේ ආදරණීය මිත්‍රයෙක් වන භූමින්ද කරුණාතිලක ඇතුළු මිත්‍රයන්ගේ ඉල්ලීමක් තමයි නැවතත් මට ඒ ක්ෂේත්‍රය තුළ නියෝජනයක් ලබාගන්න ඒ ක්ෂේත්‍රය අතාරින්න එපා කියන එක. මගේ ආසාව සහ උත්තේජනය විසින් නැවත ඒ ක්ෂේත්‍රය තුළ ප්‍රායෝගිකව නියැලෙන්න ඕනෑ කියන තීරණය මගේ තුළ ඇති කළා. 

Q හරි අපූරුයි ඔබ කියන එක දෙයක්. ගව් ගණන් දුර ලෝකයේ කොයි තරම් ඇවිද්දත් ඔබ කියනවා අතීත ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික වර්ණ, කැටයම්, සැරසිලි, මෝස්තර අලංකාර කෙරේ ඔබේ ආදරය, බැඳීම, කැමැත්ත, රුචිකත්වය කවදාවත් වෙනස් වුණේ නැහැ කියලා. ඇයි ඒ තරම්ම ආදරයක්. මම අහන්නෙ එහෙම ආදරයක් ඇතිවෙන්න ඔබට දැනෙන සුවිශේෂත්වය ගැන?

අතීත ලාංකික කැටයම්, සැරසිලි, මෝස්තරවල පුදුමාකාර සියුම් බවක් තියෙන්නෙ. ඒ නිමැවුම් ඔස්සේ ගමන් කරද්දි හිතෙනවා කොයි තරම් ඉවසීමක් තියෙන්න ඕනෙද කියලා ඒ වගේ කලා කෘති බිහි කරන්න. ඒ නිර්මාණ සඳහා ඔවුන් වර්ණ යොදාගෙන තියෙන්නෙ සොබාදහමේ අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන. පැරණි විහාර චිත්‍ර ආදියෙදි හමුවෙන වර්ණවල හිත් අලවන අමුතු ලස්සන වර්ණ මුණගැහෙනවා. ඒ වර්ණවල පුදුමාකාර ගැලපීමක් තියෙනවා. ඒ වගේම මගේ ලොකු අධ්‍යයනයක් තිබුණා අපිටම උරුම ඇඳුම් වර්ග ගැනත්. අපිට අපේ උරුමය හොයාගෙන යද්දි හමුවෙන දේවල් හරි නිර්මාණාත්මකයි. ඒ සමහර දේවල් ලෝකෙ කොහෙවත් දකින්න නැහැ. ඒ නිසාම එංගලන්තයේ ජීවත් වුණත් මට ඒ දේවල් කෙරේ ඇති ආදරය, බැඳීම, රුචිකත්වය කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ. 

Q කුර්තා කමිස මෝස්තරවලින් සැරසෙන ලංකාවෙ හුඟක් නිරූපණ ශිල්පීන් සහ සාමාන්‍ය අය අඳින්නෙ ඉන්දියන් කුර්තා කමිසය. ඒත් ඔබ නිර්මාණය කරපු මෝස්තර අතර වෙනස්ම කුර්තා කමිසයක් මම දැකලා තියෙනවා. ඒ ඔබේම නිර්මාණයක්ද? 

ඔව්. හුඟක් අය අඳින්නෙ ඉන්දියානු සම්ප්‍රදායෙ කුර්තා කමිස මෝස්තර. ඒත් අපේ හුඟක් නිර්මාණ ශිල්පීන්ට සහ සාමාන්‍ය අයටත් ඒ ඉන්දියානු කුර්තා මෝස්තරය නොගැලපෙන තැන් තියෙනවා. ශ්‍රී ලාංකික අපිට උරුම සිංහල සම්ප්‍රදාය අනුව නිමැවුණු කුර්තා කමිසයක් අපිට තියෙනවා. මම නිර්මාණය කළේ ඒ කමිසය. ඒක ඇත්තටම ලස්සනයි. වර්ණ සංයෝජනයෙදි වුණත් ඉන්දියානු මෝස්තරවලදි බොහෝ වෙලාවල්වලට යොදාගන්න ඉතා තද වර්ණ වෙනුවට ලා වර්ණ ලාංකික තලෙළු, දුඹුරු සහ කළු වර්ණයට ගැලපෙනවා කියලා මට හිතෙනවා. විශේෂයෙන්ම ඇඳුම් නිර්මාණ කාර්යයේදි මෝස්තරය, අවස්ථාව අනුව වර්ණ ගැලපීම හරිම වැදගත්. නැත්නම් ඒ සොඳුරු නිර්මාණයක් නොව විකෘතියක් බවට පත්වෙනවා. 

Q වර්ණ කියන්නෙ ප්‍රබල සන්නිවේදනයක්. ඒ සන්නිවේදනය පිළිබඳව ගැඹුරු සංවේදීත්වයක් ඔබ තුළ ඇතිවුණේ කොහොමද?

ඇත්තටම හැම වර්ණයක් කියන්නෙම කතා කරන භාෂාවක්. වර්ණ ඔස්සේ කරන සන්නිවේදනය හරි ප්‍රබලයි. ඒ මිනිසුන්ගේ මානසිකත්වය සහ හැඟීම් කෙරේ ධනාත්මක සහ ඍණාත්මක බලපෑම් කරනවා. ඒ නිසාම වර්ණ කතා කරන්නෙ කොයි විදිහටද, ඒ සන්නිවේදනය කොයි තරම් ප්‍රබලද කියන අවබෝධය ගොඩක් වැදගත්. 

Q විශේෂයෙන්ම ඇතැම් අය තුළ මතයක් පිළිගැනීමක් සහ විශ්වාසයක් තියෙනවා කළු කියන්නෙ අසුබ, පරාජිත වර්ණයක් කියලා. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල තරුණ යුවතියන්ට ගැහැනු දරුවන්ට කළු වර්ණය අඳින්න එපා කියන තැන දක්වා ඒ විශ්වාසය ප්‍රබල වෙලා තියෙනවා. එහෙත් නිරූපණ ශිල්පයේදි සහ නිර්මාණකරණයේදි මම දකින්නෙ කළු කියන්නෙ සුන්දර වර්ණයක්. ඒ ගැන ඔබේ මතය කුමක්ද?

ඔව්. කළු වර්ණය ගැන එවැනි විශ්වාසයක්, මතයක් තියෙනවා. ඒත් කළු කියන්නෙ නිරූපණ ශිල්පයේදි වගේම නිර්මාණකරණයේදි සුන්දර ලෙස ගැලපෙන අවස්ථාවන් සඳහා යොදාගත හැකි වර්ණයක්. ඇත්තටම වර්ණ පිළිබඳ විග්‍රහයෙදි මනෝවිද්‍යාත්මක පසුබිමකුත් පවතිනවා. එහෙත් මම නම් හිතන්නෙ මෝස්තර නිර්මාණකරණයේදි හැම වර්ණයක්ම සුන්දර විදිහට ගැලපෙන තැන් තියෙනවා. එතෙන්දි ඒ වර්ණය එතැනට එක් කරන්නෙ පුදුමාකාර අවශ්‍යතාවක් සහ සුන්දරත්වයක්. නිර්මාණ ශිල්පියෙක් විදිහට ඒ සියලු විශ්වාසයන්ගෙන් ඔබ්බට හැම වර්ණයකටම මම ආදරෙයි. 

Q ඔබ ඔබේ විවාහයේදි ඔබේ මනාලියගේ ඇඳුමේ සිට ඔබ මනාලියන්ගේ මනාලයන්ගේ ඇඳුම් නිර්මාණය කර ඇති. ඒ වගේ නිර්මාණවලදි ලැබුණු ප්‍රතිචාර මතකද?

ඔව්. මීට අවුරුදු ගාණකට කලින් මගේ බිරිඳ මනාලිය වෙන දවසෙ ඇය වෙනුවෙන් මගේ අතින් ඒ ඇඳුම් නිමැවුණා. ඇයගේ ඉඳන්ම මම එහෙම ඇඳුම් නිර්මාණය කර දුන්න කිසිම කෙනෙක් උපරිම තෘප්තියක් ලබා දෙන ප්‍රතිචාර මිසක් වෙනත් ප්‍රතිචාරයක් ලබා දීලා නැහැ. එය නිර්මාණ ශිල්පියෙක් ලෙස මා ලද වාසනාවක්. 

Q නිර්මාණකරණයේදි මානසික නිදහසේ අවශ්‍යතාවය ඔබ දකින්නෙ කොහොමද?

කවර නිර්මාණ කටයුත්තක නියැලුණත් මානසික නිදහස, සන්සුන්භාවය කියන්නෙ අවශ්‍යම දෙයක්. හිත ප්‍රශ්නවලින් පිරිලා තියෙද්දි පීඩාකාරී මානසිකත්වයක ඉද්දි නිර්මාණ කරන්න බැහැ. ඕනෑම නිර්මාණයක් මුලින් ඉපදෙන්නෙ හිතේ. බෞද්ධ දර්ශනය අනුව ගත්තත් ''මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා'' කියන තැන කතා කරන්නෙ සියලු දේට මනස ප්‍රමුඛ වන බවයි. ශ්‍රේෂ්ඨ වන බවයි. ඕනෑම කලා කෘතියක්, ඕනෑම වර්ණ සංයෝජනයක් මුලින් උපදින්නෙ මනසෙ. ඒ මනසෙ උපදින දේ තමා නිර්මාණයක් විදිහට උපදින්නෙ සහ චිත්‍රණය වෙන්නෙ. ඉතින් අවුල් සහගත පීඩාකාරී මනසක කොහොමද සුන්දර දේවල් උපදින්නෙ. මට නම් නිර්මාණකරණයේදි මානසික සුවතාවය, නිදහස් බව කියන්නෙ අවශ්‍ය වන පළමු දේ. 

Q 2024 ඔබේ නිර්මාණාත්මක හැකියාවන් ඔස්සේ ලාංකික වේදිකාව යළි හැඩවත් කරන්න ඔබේ තියෙන බලාපොරොත්තුව ගැන කතා කරමු?

ඔව්. අලුත්ම නිර්මාණාත්මක ප්‍රවේශ හරහා ලංකාවට ඇවිත් නිර්මාණ කිහිපයක්, එළිදැක්වීම් කිහිපයක් ඔස්සේ සිදුකරන්න ආසාවක් බලාපොරොත්තුවක් තියෙනවා. ලංකාවෙ දැනට පවතින අර්බුදකාරී වාතාවරණය මට තේරෙනවා සහ දැනෙනවා. එහෙත් දුෂ්කරතා මධ්‍යයේ වුණත් වැදගත්ම දේ අරමුණු කරා ගමන් කිරීමයි. ඒ නිසා ඇවිත් යන්න නුදුරේම මට ලංකාවට එන්න බලාපොරොත්තුවක් තියෙනවා.

I සංජීවිකා
 සේයාරූ I සුමුදු හේවාපතිරණ