ශලනි සහ මම ගත්තොත් අපි එකම පවුලක සහෝදරියන් කියලා කියමුකො



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගියදා පැවැති සිග්නීස් සම්මාන උළෙලේදී අනුරාධා එදිරිසිංහ හොඳම නිළිය ලෙස සම්මාන දිනාගනු ලැබුවාය. චරිතාංග රංගන ශිල්පිණියක ලෙස, ටෙලි තිරය රංගනයෙන් හැඩකරන ඇය මේ දිනවල හමුවන්නේ, ප්‍රියන්ත ප්‍රනාන්දුගේ සුසුම් රස්තියාදුව නාට්‍යයේ එරන්දතී යන චරිතය සමගය. මේ පිළිසඳර චරිතාංග රංගනයෙන් ටෙලි තිරය සරසන, අනුරාධා එදිරිසිංහ සමගයි. 

අනුරාධා මේ ඔබ ලැබූ කී වැනි සම්මානයද?

දෙවැනි එක. මීට පෙර මාව නිර්දේශ වූ උළෙලේදීත් සම්මානය හිමිවුණා. පළමුවැන්න හොඳම සහාය නිළිය (සකර්ම) මෙවර සිග්නීස් උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය ලැබුණෙ ‘ගරුඬ මුහුර්තය’ නාට්‍යයේ රඟපෑම වෙනුවෙන්.

ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල් වෙනවද?

වසර 8 යි.

ඒ ගෙවී ගිය කාලය ගැන හිතෙන්නෙ කොහොමද?

අවුරුදු 8 මට දැනුණෙ හරිම කෙටි කාලයක් විදියට. හැබැයි ඒ ගෙවී ගිය කාලයේදී විවිධ නිර්මාණකරුවන් යටතේ හොඳ නිර්මාණවල චරිත රඟපාන්නට ලැබුණා. එකම නිර්මාණයකට එකම චරිතයකට රාමු නොවී, විවිධ චරිත රඟපෑමේ වාසනාව ලැබීම ඇත්තෙන්ම මට සතුටක්.

මේ ගමන නොආවේ නම්?

මම උසස් පෙළ කළේ ‘නීතිය’ කරන්න බලාගෙන. ඉතින් එහෙම වුණා නම්, නීති අංශයේ රැකියාවක නිරත වෙන්න තිබුණා. කලාවේ වැඩ කටයුතු පටන්ගත්තෙ අනෝජා වීරසිංහ මහත්මියගෙ ‘අභින’ වැඩමුළුවට සහභාගි වෙමින්. එතැනින් පසුව කලාවට අදාළ වැඩමුළු ආදියට වැඩිපුර කාලය වෙන්කළා. ඒ හැරෙන්නට, වෙන දෙයක් කරන්න ගියේ නැහැ. 

‘සුසුම් රස්තියාදුවේ’ චරිතය, ගැන ඔබට හැඟෙන්නෙ කොහොමද?

ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂණය කළ සුසුම් රස්තියාදුව නාට්‍යයේ මගේ චරිතයේ නම ‘එරන්දතී’ කතාවේ චරිතවල හැටියට එරන්දතීගේ අක්කා රටේ ප්‍රකට නිරූපණ ශිල්පිනියක්. ඇය හැදී වැඩුණේ කුරුණෑගල පළාතේ. අක්කා යන ගමන දැකලා එරන්දතීට අවශ්‍ය වෙන්නෙත් අක්කා වගේ ගමනක් යමින් රටේ ප්‍රසිද්ධ වෙන්න. ඒ ගමන වෙනුවෙන් නගරයට ආ ඇයට ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඉදිරියට වෙන දේ සුසුම් රස්තියාදුව නරඹලාම දැකබලා ගන්න පුළුවනි. මම අර කලින් කිව්වා වගේ, නිරන්තරයෙන් මට ලැබෙන්නෙ වෙනස් වෙනස් චරිත. වාසනාවකට මේ නාට්‍යයේ චරිතයත් ඒ වගෙයි. ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සකර්ම නාට්‍යයේ එදා මට රඟපෑමට ලැබුණා. ඉතින් එදා මට පළමු සම්මානය ලැබුණෙත් ‘සකර්ම’ නාට්‍යයේ රඟපෑ චරිතයට. මේ එරන්දතීගේ චරිතය වෙනුවෙනුත් මගේ කැප කිරීම සහ අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීම අනුව උපරිම රංගනයක් ලබාදෙන්න උත්සාහ ගන්නවා. ලැබෙන ප්‍රතිචාර හොඳයි.

‘අනුරාධා’ කොහොමද ජීවිතේ ගැන හිතෙන්නෙ අද?

සාමාන්‍ය විදියට ජීවිතේ ගෙවෙනවා. ගරුඬ මුහුර්තය නාට්‍යයේ චරිතයට සම්මානය ලැබුවේ 2021 වසර වෙනුවෙන්. කොරෝනා තිබූ සමයේ සම්මාන උළෙල නොපැවැත්වීම ගැන දුකක් තියෙන්නෙ. නමුත්, මේ විදියට සම්මාන උළෙල නැවත පැවැත්වීම සතුටට හේතුවක්.

අනුරාධාගෙ හොඳම යෙහෙළිය ශලනි පසුගියදා විවාහ වුණා. මොකද හිතෙන්නෙ?

මම ඉතින් එයාගේ යෙහෙළිය විදියට (බ්‍රයිඩ්ස් මේඩ්) එදා හිටියා.

අනුරාධා විවාහය ගැන තවම හිතලා නැද්ද කියලයි ඇහුවෙ?

ශලනි සහ මම ගත්තොත් අපි එකම පවුලක සහෝදරියන් කියලා කියමුකො. ඉතින් එක් සහෝදරියක් විවාහ වූ විගස අනෙක් කෙනාත් විවාහ විය යුතුය කියලා හදිසියක් නැහැනෙ. කාලය ආවාම ඒ දේවල් සිද්ධ වේවි. ජීවිතේ සෑම දෙයක්ම ඒ වෙලාව වෙනකල් අපට තියෙන්නෙ ඒ දිහා බලා සිටීමටයි. මොන දේ වුනත් ඒ සිදුවන දේ බාරගෙන ජීවිතය මධ්‍යස්ථව ගත කිරීමට මම කැමතියි.

හරි එතකොට අනුරාධගෙ ප්‍රේමය?

මගේ ප්‍රේමය දැනට තියෙන්නෙ කලාවෙ මම කරන කියන මේ වැඩ කටයුතු එක්ක. කලාවේ ජීවත්වන ඒ මිනිස්සු හරි සුන්දරයි. මේ ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයින්ට මම හරියට ගරු කරනවා. එයාලා හරිම සුන්දර හදවත් ඇති අය. මෙවර සිග්නීස් උළෙලේදී මම සම්මානය ගත්තෙත් ඒ ප්‍රවීණයින් සම්මාන ලැබූ මොහොතකදීයි. එය මට හරිම සතුටක් ගෙන දුන්නෙ. තවම අපි අලුත් නිසා අපට පළපුරුද්දක් ලැබෙන්නෙ ඒ ප්‍රවීණයින් ඇසුරේ සිටින විටදීයි. ඉතින් එයාලට මගේ ගෞරවය හැමදාටම තියේවි.

අනුරාධා, අද දවසින් දවස අලුත් අලුත් මුහුණු ටෙලි තිරයට එක් වෙනවා, ඒක එහෙම වෙන එක හොඳයිද?

අනිවාර්යයෙන්ම අලුත් මුහුණු එන්න ඕනා. මාත් තවම ක්ෂේත්‍රයට අලුත්. හැබැයි මට හමුවෙලා සිටින ප්‍රවීණයින් ඉතාම ගුණගරුකයි. ඒ අයගෙ ඇසුර මට ජීවිතයට ශක්තියක්. ඒ ප්‍රවීණයින් පුදුම නිහතමානී චරිත. අලුතින් ආ අපිව එයාලා දෝත දිගහැර සෙනෙහසින් බාරගත් නිසා අපට අපේ ගමනට එය ආශිර්වාදයක් වෙලා තියෙනවා. ක්ෂේත්‍රයේ හැමෝම දිහා මම බලන්නෙ ගරුත්වයකින්. ඒවගේම විකාශය වන සියලුම ටෙලිනාට්‍ය කොහොමහරි කාලය යොදාගෙන නරඹන කෙනෙක් මම. ඒ නිසා මෙයා ආධුනිකයි, අරයා පරණයි කියනවට වඩා මම ඒ හැමෝම දන්නවා. අලුත් කියන දේ එන්නෙ මේ නාට්‍ය නැරඹුවෙ නැත්නම් විතරයි. එහෙම නම් ඒක මගේ ප්‍රශ්නයක් මිස අලුතින් එන ළමයින්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි.

අලුතින් එන අයට ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තියෙනවද?

ඕනෑම ක්ෂේත්‍රයක සිටින ඕනෑම කෙනකුට අලුත් තැනකට ගියාම එතැන අලුත්. ඒ නිසා අලුත් තැනකට ගියාම ගරුත්වයකින් හැමෝම එක්ක කටයුතු කිරීමෙන්, තමුන්ටත් ගරුත්වයක් ලැබේවි.

ක්ෂේත්‍රයේ ඔබගෙ හොඳම මිතුරිය ශලනි හමුවූ අවස්ථාවලදී වැඩිපුර කතාවෙන්නෙ මොන වගේ මාතෘකා ගැනද?

නිර්මාණ ගැන තමයි අපි වැඩිපුර කතා වෙන්නෙ. අලුත් නිර්මාණයක් කළත්, ෆොටෝ ෂූට් එකක් කළත් මම එයාගෙන් එහි හොඳ නරක අහනවා. රංගන විෂයට අදාළව ශලනි අක්කගෙන් ලබාගත හැකි අත්දැකීම් බොහොමයි.

කාර්යබහුල ජීවිතයකට හුරුවුණාම, එය ඒකාකාරී විදියට දැනෙන්නෙ නැතිද?

තමුන් නියැලෙන දේ ආසාවෙන් කරනවා නම් එහෙම දැනෙන්නෙ නැහැ. වෙලාවක් ලැබුණ විගස මම කරන්නෙ සිංදු අහන එක. සිංදු ගොඩාක් අහන කෙනෙක්. එතැනදි මට තේරීමක් නැහැ, භාෂාව අදාළ නැහැ, රිද්ම අදාළ නැහැ. ඕනෑම ගීතයක් අහනවා. රූගත කිරීම් දිගටම තිබුණාම විවේකය අඩුයි. නමුත් පුළුවන් සෑම අවස්ථාවකදීම සිංදු අහන එක වගේම නින්ද ලබාගැනීම තමයි කරන්නෙ. මම නියැලෙන වෘත්තිය එක්ක, ගීත ශ්‍රවණය වෙතින් ලබාගත හැකි දේ බොහෝමයි.

ගෙදර සිටීමට වෙලාවක් ලැබුණාම, වැඩිපුර කැමති?

නිදාගන්න. මම පිළිවෙළට ඉන්න ආස කෙනෙක්. ඉතින් ගෙදර හරිම පිළිවෙළට තියාගන්න උත්සාහ ගන්නවා. අල්මාරියෙ තියෙන බඩු ඒ තියෙන තැන පවා මට හොඳට මතකයි ඒ පිළිවෙල නිසා.

අනුරාධාට මේ හමුවෙදි තවත් මොනවද කියන්න තියෙන්නෙ?

මම සම්මානය ලැබූ ‘ගරුඬ මුහුර්තය’ නාට්‍ය නිර්මාණය වී ඇත්තේ කීර්ති වැලිසර රචිත පොත ඇසුරින්. එය විකාශය වුනේ ITN ඔස්සේ. අධ්‍යක්ෂණය කළේ ප්‍රියාල් වීරසිංහ. මගේ චරිතයේ නම ‘පුසුඹි’.

සඳුන් ගමගේ

ඡායාරූප - චානක සංජීව