අහසින් එහා තරු මං දිගේ ආ ගමනක්

  • 07-10-2021

අහසින් එහා තරු මං දිගේ
පියඹන්න දැන් විහඟෙකු ලෙසින්
අහසින් එහා සිහිනය දිගේ
පියඹන්න නම් ආසයි ඉතිං

හිත කළඹමින් - හැඟුමන් එබී
ඔච්චම් කළේ - කවදාක හෝ
නොදැනුණු  ලෙසින් - හද ගී පොතේ
සත්සර වැයේ - ඒ ආදරේ 

ආදරණීය කතාවක් චිත්‍රපටයේ හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරිය මේ ගීතය ගයන්නේ ආදරණීය  මතකයක් ප්‍රේක්ෂක හිත්වල ඉතිරි කරමිනි. එහෙත් ඒ සමගම පසුබිමින් ඇහෙන ගී හඬ කසුන් කල්හාරගේ සහ උරේෂා රවිහාරිගේ බව මතකයට එයි. වසරේ විශිෂ්ටතම චිත්‍රපට ගීතය ලෙසට ද සම්මානිත වූ ‘අහසින් එහා’ ගීතය අපේ සවන්පත් අතර රස මිහිර ජනනය කරන්නේ උදාර සමරවීර නම් තරුණයා නිර්මාණය කළ සත්සර රටා හේතුවෙනි. එහෙත් හේමාල්, උදාරි, කසුන් හා උරේෂා ගැන මිස උදාර ගැන කතාබහ කරන්නට අපට අමතකව ගියේය. අද උදාර සමරවීර සඳැල්ලට ගොඩවන්නේ ඔහුගේ මියුරු සංගීත භාවිතය ගැන පවසන්නටය.
මම උපන්නෙ මාතර අකුරැස්සේ. හැබැයි පුංචි කාලෙදීම අපි පිළියන්දල පදිංචියට ආවා. ඒ නිසා මම ඉගෙන ගත්තෙ පන්නිපිටියෙ ධර්මපාල විද්‍යාලයෙන්. හැබැයි මම සංගීතයට නැඹුරුවක් තිබුණු ළමයෙක් නොවෙයි. සාමාන්‍ය පෙළ විභාගෙට ඉගෙන ගත්තේ චිත්‍ර, උසස් පෙළට ඉගෙන ගත්තෙ ගණිත අංශයෙන්. මගෙ තාත්තා බැංකුවක වැඩ කළේ. හැබැයි තාත්තාගේ විනෝදාංශය වුණේ ගිටාරය වාදනය කිරීම. සමහර වෙලාවට තාත්තා මාවත් ළඟින් තියාගෙන ගිටාරය ගහන්නෙ. මේ නිසා මගෙත් හිත ගිටාරයට ගියා. මමත් ගිටාරය ප්ලේ කළා. තාත්තා කිව්වා විනෝදාංශය විදිහට සංගීතය කරන්න. හැබැයි ඉගෙන ගන්න එක හරියට කරන්න කියලා. ඉතින් මම උසස් පෙළ උසස් විදිහට සමත්වෙලා මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයට ඇතුළත් වුණා. මම එතැනින් පිටවෙන්නෙ රසායන ඉංජිනේරුවෙක් විදිහට. ඊට පස්සේ මට හොඳ රස්සාවක් ලැබුණා. මාසෙ පඩිය රුපියල් ලක්ෂෙකටත් වැඩියි.

ඔන්න ඔය කාළෙ මට ආයෙමත් සංගීත ඇල්ම ඇති වුණා. මම දිලිප් ගබඩා මුදලි සර්ගෙන් සංගීතය ඉගෙන ගත්තා. සංගීත සංයෝජනය ගැන එහෙම හුඟාක් දුරට ඉගෙන ගත්තා. පස්සේ මම පුංචි ශබ්දාගාරයකුත් පටන් ගත්තා.

දැන් රස්සාව කරන ගමන්ම විවේක වෙලාවට මම සංගීත කටයුතු කරනවා. ඔය අතරේ මට අවස්ථාවක් ලැබෙනවා ජාතික රූපවාහිනියට අවුරුදු ගීතයක් නිර්මාණය කරන්න.

මේක  මට ලොකු අවස්ථාවක් ඒවගේම අභියෝගයක් මොකද අවුරුදු උත්සවය කියන්නෙ  සිංහල සම්ප්‍රදායික උත්සවයක්. මේ ගීත​ෙය සංගීතයට අපේකම ගෑවිලා තියෙන්න ඕනෑ. කොහොම හරි මම ලස්සන තනුවක් නිර්මාණය කරනවා. මේ ගීතය ලියන්නෙ ඩිලාන් ගමගේ කියන තරුණ ගීත රචකයා. සිරිලක පිරි අවුරුදු සිරි කියන මේ ගීතය රෝහණ බැද්දගේ අමල් පෙරේරා, ශෂිකා නිසංසලා, නෙලූ අධිකාරී යන ශිල්පීන් ශිල්පිණියන් තමයි ගායනා කළේ.

2011 අවුරුද්දෙ දී රූපවාහිනියෙන් විකාශය වුණු මේ ගීතය ගැන බොහෝ දෙනා කතා කළා. 2014 අවුරුද්දේ පැවැත්වුණු රාජ්‍ය සංගීත උළෙලෙ දී හොඳම කණ්ඩායම් ගීතය විදිහට සම්මානය වුණේ මේ ගීතය.

මේ ගීතය එක්ක ඩිලාන් මා එක්ක සම්බන්ධකම් පවත්වනවා. ඩිලාන් ලියපු 

ඉවසයි ද මන්ද මා දුන් රිදුම්
වෙන්වීලා ආදා වෙනතක් බලන්
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑ මේ මතකෙට හොරෙන්

කියන අතුල අදිකාරි සමිතා එරන්දතී ගායනා කළ ගීතය මගෙ අතින් නිර්මාණය වෙනවා, ඒ ගීතය අතිශයින්ම ජනප්‍රිය වෙනවා.
ශෂිකා නිසංසලාගේ දුර යන්න හිතුවාට ගීතයක් මගෙ අතින් නිර්මානය වෙනවා. ඒ ගීතයත් රසිකයන් ආදරයෙන් වැළඳ ගන්නවා.
ප්‍රියන්ත කොළඹගේ මට මුණගැහෙන්නේ ඔය හරහා.

මං අලුතින් චිත්‍රපටයක් කරනවා. ඒකෙ සංගීතයට ඔයා සම්බන්ධ කරගන්නවා.
ප්‍රියන්ත කොළඹගේ මට කියනවා.

ආදරණීය කතාවක් කියන්නෙ විචිත්‍ර සංගීතමය චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ගීතම හතක්. හැබැයි ප්‍රියන්ත මේ ගීත හත ගැනම වෙන වෙනම මාව දැනුවත් කළා. ගීත ගැයෙන අවස්ථාව ඒ වෙලාවෙ ඇති වන හැඟීම්වල ස්වභාවය. මේ නිසා මට තනු නිර්මාණය කිරීම පහසුවක් වුණා.

ඔය අහසින් එහා තරු මං දිගේ සිංඳුව ලිව්වෙ මගේ ස්ටූඩියෝ එකේදී. නිලාර් එන් කාසිම් හරි ඉක්මණට ඔය වචන ටික ලියලා දිලා ගියා.
එතකොට ප්‍රියන්ත කොළඹගේ ලියපු ඔබට ඇහෙනවද ගීතය. තව උපුල් ශාන්ත සන්නස්ගල, නන්දන වික්‍රමගේ චමින්ද ගමගේ ලියපු ගීත මම සංගීතවත් කළා. ඒ හැම ගීතයක්ම රසිකයො වැළඳ ගත්තා. චිත්‍රපටය හුඟාක් ජනප්‍රිය වුණා. ඒ එක්කම උදාර සමරවීර කියන නම සංගීත ලෝකෙ බැබළෙන්න පටන් ගත්තා.

මට එන සංගීත වැඩ වැඩි වුණා. වෙළෙඳ දැන්වීම් ආවා. එෆ්.එම්. රේඩියෝවල නිර්මාණය කරන ගීත කරන්න කියලා ආරාධනා ආවා. මේ දේවල් මගේ රස්සාව එක්ක කරන්න අමාරුයි. ඒ නිසා මට තීරණයක් ගන්න වුණා රස්සාව ද සංගීතය ද කියලා.
මම තාත්තාගෙන් ඇහුවා මං රස්සාවෙන් අයින් වෙලා සංගීතය තෝරාගන්න ද කියලා. තාත්තා මගේ කැමැත්තට ඉඩ දුන්නා.
අන්තිමේදී මං රස්සාවෙන් අයින් වෙලා සංගීතය තෝර ගත්තා.

ප්‍රියන්ත කොළඹගේ එයාගෙ ඊළඟ චිත්‍රපටියත් පටන්ගත්තා, දේදුනු ආකාසේ. ඒ චිත්‍රපටයෙ සංගීත නිර්මාණයත් මට බාර දුන්නා. ඒ චිත්‍රපටයෙත් ලස්සන සිංදු තිබ්බා.

මල් කළඹ ළඟ පාට සේදුණු 
දේව දුන්න අහසේ පේවුණා
සැඳෑ කාලෙක සිඹිනවා...
මේ සිංදුවත් අතිශයින් ජනප්‍රිය වුණා. ඒ ගීතයට වසරේ විශිෂ්ටතම ගීතයට හිමිවන සම්මාන ලැබුණා.

ඊට පස්සේ මට ටෙලිනාට්‍ය තේමා ගී නිර්මාණයටත් අවස්ථා ලැබුණා. මමයි නිලාරුයි එකතුවෙලා වෙස් නාට්‍යයට තේමා ගීතයක් නිර්මාණය කළා. ඉල්ලන්නම් අපි ගේම කියලා. මේක වෙනස්ම හැඩයක වෙනස්ම විදිහක ගීතයක් කරන්නයි අපිට අවශ්‍ය වුණේ. අපේ ඒ වැඩේ සාර්ථක වුණා.

ඔය විදිහට මේ වෙනකොට මට ටෙලිනාට්‍ය දහයක විතර සංගීතය නිර්මාණය කරන්න ලැබිලා තියෙනවා. ක්ලික්, ක්වින්, දාංගලේ, සකුගේ කතාව සත්‍යා ඉන් කිහිපයක්. ඒ අතරින් ක්ලික් නාට්‍යයට හදපු මහා කතරක කියන ගීතයට සම්මානය ලැබුණා. ඒ ගීතය ගැයුවේ රයිනි ගුණතිලක.

මහා කතරක ඉතිං ඉඳහිට
වරුසා වහින්නට නොහැකිදෝ
සිඳී වියැලුන මහා රුකකට
දලු ලාලන්න නැවතත් නොහැකිදෝ
එහෙව් ලෝකේ ලියකට
ඇගේ සිහිනේ අහිමිදෝ

ඇත්තටම මේ සිංඳුව ලස්සනයි. ඒ වගේම හොඳ අපූරු අර්ථයකුත් තියෙනවා.

2018 අවුරුද්දේදී මට ස්වර්ණවාහිනීයට සම්බන්ධවෙන්න ලැබෙනවා. ඒකත් මගෙ වාසනාවක් කියලයි හිතන්නෙ දැන් මාත්‍රා වැඩසටහනට සංගීතය සපයන්නෙත් මම.

මේ වෙද්දී මම නිර්මාණය කළ ගීත ගණනින් දෙසීය පනහකට වැඩියි. ඒ අතරේ මං හුඟාක්ම කැමැති ගීතයක් තියෙනවා. ඒ දුමාල් වර්ණකුලසූරිය ගයන යශෝධරා.
සසර ගමන් මග අත්වැල් බැඳ නුඹ
මා හා ආවද යශෝධරා
රළු හිතකට නොදැනුණු ඒ ප්‍රේමය
සිටිය ද නුඹ එය හිතේ දරා
මේ ගීතය ලිව්වෙ හර්ෂි සේනාධීර
පුංචි කාලයක් ඇතුළත ජනප්‍රිය වුණු ගීතයක්
සංගීත නාදයක් මෙන් ගලාගිය ඔහුගේ කටහඬ එක්වරම නතරවිණි. මා ඔහුගේ මුහුණු බලනවිට මදහසක් ඇතිව ඔහු මදෙස බලා සිටියේය.

ඔච්චර තමා මගේ කතාව
ඔහු කීවේය.

එතකොට අර සංගීතවත් කළ පළමු චිත්‍රපටයේ වගේ කතාවක් නැද්ද කියන්න.
මම ඇසීමි

ඒ කියන්නේ?
උදාරට ප්‍රශ්නයකි.
ආදරණීය කතාවක් නැද්ද කියන්න.
උදාරට යළි සිනාවකි.
මම ඉන්නෙ අම්මා තාත්තා අයියා අක්කා එක්ක. තවමත් අවිවාහකයි.
එතකොට ආදරණීය කතාවක්? 
මම යළිඳු ඇසිමි.
පස්සෙ කියන්නම්කො
උදාර මගෙන් සමුගෙන ඔහුගේ ශබ්දාගාරය ‘ඔඩියෝ ටවුන්’ වෙත පිටව ගියේය.

ශාන්ත කුමාර විතාන