ආපු ගමන කෙටිවුණත් ලේසි වුණේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරයට කාලයෙන් කාලයට එකතුවන නවක රංගන ශිල්පිනියන් අතරින් මේ දිනවල ප්‍රේක්ෂක අවධානයට ලක්වුණු අලුත්ම මුහුණක් මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්නට හිතුවා.

ඉරුෂි මුලින්ම ඔබව හඳුන්වා දෙමුද?

මම ඉරුෂි කාව්‍යා පෙරේරා. ඉගෙන ගත්තෙ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ. උසස් පෙළ හැදෑරුවෙ කලා අංශයෙන්. නීතිඥවරියක්වීම තමයි මගේ අරමුණ වුණේ. නමුත් නොහිතපු විදියට රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නට මට අවස්ථාවක් ලැබුණා. දැන් නම් ඉතින් කලාව තුළ විශේෂයෙන් රංගන ක්ෂේත්‍රයෙන් ගමනක් යාම තමයි ලොකුම සහ එකම බලාපොරොත්තුව. 

නොහිතපු විදියට රංගන ක්ෂේත්‍රයට එකතුවුණු ඉරුෂි ගැන කතාබහ වෙන චරිතය සහ එහි රංගනය ගැන කියමු?

සිරස නාලිකාවෙ විකාශය වන ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නිර්මාණය වෙනුවෙන් තමයි මම රංගනයෙන් සම්බන්ධවෙලා ඉන්නෙ. ඒ තුළ මම ‘මයුමි’ චරිතයට සම්බන්ධ වෙලා ඉන්නෙ. ඒ මෙම ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතය වන නිර්වාන්ගෙ ඔෆිස් එකේ 'Receptionist' පිළිගැනීමේ නිලධාරිනිය විදියට. මම මේ වෙනුවෙන් සම්බන්ධ වුණේ මෑතකදි. තවම මගෙ චරිතය විකාශය වෙලා දින කිහිපයයි. නමුත් මම හිතුවෙවත් නැති විදියට ගොඩක් දෙනෙක්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් මම තබපු පියවර සාර්ථක වෙලා තියෙනවා කියලා හිතෙනවා.

මයුමි කියන්නෙත් නිර්වාන්ට ලයින් දාන කෙනෙක්ද? නැත්නම් ඔහුගෙ ආදරේට සහය වෙන කෙනෙක්ද?

ගොඩක් දෙනෙක් හිතන්නෙ නම් මයුමිත් නිර්වාන්ට කැමැතියි කියලා. නමුත් ඇය ඇවිල්ලා ඉන්නෙ මොකටද කියන දේ ඉදිරියෙදි දකින්න ලැබෙයි. ඒ නිර්වාන්ට සහය වෙනවද? නැත්නම් ඔහුගේ ජීවිතේට බලපෑමක් සිද්ධ කරයිද කියන දේත් එක්ක.

ඇත්ත ජීවිතේ යාළුවන්ගේ ආදර කතාවලට සහය දීලා තියෙනවද?

අම්මෝ ඔව්. මගේ යාළුවන්ගේ ආදර සම්බන්ධතාවලදි මම ගොඩක් උදව් කරලා තියෙනවා. විශේෂයෙන් ගෙවල්වලින් ප්‍රශ්න දාද්දි යාළුවො මගෙන් ගොඩක් උදව් අරන් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධ අත්දැකීම් මට ගොඩක් තියෙනවා. 

‘කියාදෙන්න ආදරේ තරම්’ කියන්නෙ ඉරුෂිගෙ පළමු රංගනය ද?

නැහැ, මම නිර්මාණ කිහිපයක් කරලා තියෙනවා. තවම ඒවා විකාශය වෙලා නැහැ. නමුත් ටෙලි නිර්මාණයක් තුළින් මාව දකින්නෙ මුලින්ම මේ තුළින් තමයි. මීට පෙර වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝවලට සම්බන්ධවෙලා තියෙනවා. 

මේ රංගනය තුළින් මුලින්ම රූපවාහිනියෙ දකිද්දි මොකද හිතුණෙ?

ඇත්තටම ගොඩක් සතුටු හිතුණා. හරිම ආසයිනෙ ඉතින් මට මාවම දකිද්දි. 

ඇත්තටම මේ සැබෑ වුණේ මගේ සහ මගේ අම්මගේ හීනයක් කියන්න පුළුවන්. ඉතින් මේ තුළින් මාව දැකලා මගේ යාළුවොත් ගොඩක් දෙනෙක් කතා කළා. පාසලේ යාළුවො ඇතුළු ගොඩක් දෙනෙක් කතා කරලා ප්‍රතිචාර දැක්වුවා. සුබපැතුවා. ඒ හැමදේම සතුටක් වගේම මගේ ගමනට ලොකු ශක්තියක් කියන්න පුළුවන්. 

පුංචි කාලෙ ඉඳන් කලා හැකියාව තිබුණද?

ඔව්. ඇත්තටම මම පුංචි කාලේ ඉඳන්ම කලාවට හරි ආදරෙයි. රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න නම් අදහසක් තිබුණෙ නැහැ. නමුත් නර්තන හැකියාව තිබුණා. ඒ අංශයෙන් පාසල තුළ දක්ෂතා දක්වලා තියෙනවා. ඒ එක්කම නාට්‍ය හා රංග කලාවත් ඒ කාලේ හදාරලා තියෙනවා. ඒ වගේම මම පුංචි කාලෙදි වෙළෙඳ දැන්වීම්වලටත් සම්බන්ධ වෙලා තියෙනවා. 

ඒ දේවල් ටික කාලයකට නැවතුණා මගේ අධ්‍යාපන කටයුතු නිසා. ඒ දේවල් අවසන් වෙලා තමයි නැවත කලාවට එන්න හිතුවෙ.

නැවත ආරම්භය සිද්ධවෙන්නෙ කොහොමද?

ඒ ආරම්භය සිද්ධවුණේ මම මුලින් සඳහන් කළා වගේ අපේ අම්මාට ලොකු හීනයක් තිබුණා කලාවට මාව යොමු කරවන්න. ඇයත් තිර පිටපත් රචිකාවියක්. චම්පා කුමුදුනී මගේ අම්මා. ඉතින් අම්මා මාව අවුරුදු කුමරිය තරගාවලි දෙකකට යොමු කළා. ඒ CJ රාජකීය අවුරුදු කුමරිය සහ ජනාධිපති කාර්යාලයෙන් පැවැත්වුණු අවුරුදු කුමරිය තරගයකට. මුලින්ම CJ අවුරුදු කුමරිය ඒ කියන්නෙ චන්දිමාල් ජයසිංහ අවුරුදු කුමරිය තරගයෙන් මම තෙවන ස්ථානය දිනාගත්තා. ඒ ජයග්‍රහණයෙන් පසුව මට නිරූපණය වෙනුවෙන් අවස්ථා කිහිපයක්ම ලැබුණා. ඉන්පසුව මම මේ වසරෙදි සම්බන්ධ වුණා ජනාධිපති කාර්යාලයේ පැවැති අවුරුදු කුමරි තරගයට. ඒ තරගය ගැන මගේ තාත්තා තමයි කිව්වෙ. ඒ මුළු රටටම විවෘත වුණු තරගයක්. ඒ නිසා බොහෝ ප්‍රදේශවලින් ඒ වෙනුවෙන් තරගකරුවන් සම්බන්ධවෙලා හිටියා. ඉතින් මට ඒ තරගයෙන් ජයග්‍රහණය ලබාගන්න හැකිවුණා පළමු ස්ථානය ලබාගනිමින්ම. ඇත්තටම ඒ විදිහෙ ජයග්‍රහණයක් නම් මම කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් මට ලැබුණා. ඒ ජයග්‍රහණයන් සමඟින් තමයි මට නැවතත් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නට පාර කැපෙන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕනැ මගේ මේ හැම ජයග්‍රහණයක් පිටුපසම ඉන්නෙ මගේ පවුලෙ අය. මගේ අම්මා, තාත්තා, අයියා, අක්කා ලොකුම ශක්තියක් වෙලා ඉන්නවා මේ ගමන යන්න. 

මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම ආපු ගමන කෙටි වුණත් ලේසි වුණේ නැහැ. කටුක තැන් තිබුණා. මට තවම අවුරුදු 22යි. ඒ අවුරුදු 22 ඇතුළත මට ගොඩක් අත්දැකීම් ලැබිලා තියෙනවා. ඒ දේවල් එක්ක මම වැටුණා. නැගිට්ටා දෙකම. ඉතින් ඉදිරියටත් මේ ක්ෂේත්‍රයේ රැඳෙමින් ලංකාව ඇතුළෙ නමක් හදාගෙන සම්මානලාභී රංගන ශිල්පිනියක්වීම තමයි මගේ එකම අරමුණ වෙන්නෙ. ඒ තැනට යන්න මම ගොඩක් මහන්සි වෙනවා. පියවරෙන් පියවර උත්සාහයෙන් ලස්සන ගමනක් හිමින් යාම තමයි වැදගත් වෙන්නෙ. 

ධනු විජේරත්න