එක දිගට පේනකොට ප්‍රේක්ෂකයන්ට මාව එපා වේවි

  • 06-10-2021

එකිනෙකට වෙනස් සුවිශේෂ වූ චරිත ඉතා දක්ෂ ලෙස නිරූපනය කරමින් පුංචි තිරය හැඩ කරන වොල්ගා කල්පනී ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත් රුවැත්තියක් වගේම සමාජ මාධ්‍ය තුළ නිතර කතාබහට ලක්වෙන රංගන ශිල්පිණියකි. කොහොම නමුත් කාලෙන් කාලෙට වෙනස් චරිත හරහා කරලියට එන වොල්ගාගේ අලුත්ම චරිතය ගැන කතා කරන්නට ඇයව එකතුකර ගත්තා. මේ දිනවල ස්වර්ණවාහිණී නාලිකාවේ විකාශනය වන පාර දිගේ බලනවනම් ටුටූව අමතක වෙන්නට විදිහක් නැහැ. ප්‍රේක්ෂක හිත් වශී කරපු ටුටූ ගැන කතා කරන්න වොල්ගා කතාබහ සමගින් එකතු වුණේ මේ විදිහට.

ඉතින් කොහොමද ජීවිතේ?

හැමදේකටම වඩා පරිස්සම ගැන හිතලා ජීවත් වෙන්න වෙලා තියෙන කාලයක් මේක. ඉතින් සෞඛ්‍ය නීති රීතිවලට යටත් වෙලා රූගත කිරීම් කටයුතු කරගෙන යනවා. කොහොමත් මම කාර්යබහුල නිළියක් නෙමෙයි. මට යමක් කළ හැකි චරිතයක් ලැබුණොත් තමයි දායක වෙන්නේ. විශේෂයෙන් දීර්ඝ ටෙලි නාට්‍යවලට දායක වෙන්න මම අකමැතියි. මොකද එක දිගට පේන්න ඉන්නකොට ප්‍රේක්ෂකයින්ට මාව එපා වේවි කියලා හිතෙනවා. බොහොම සාමකාමීව යන මගේ කලා ගමනේ මට මුණගැහුණ අලුත්ම චරිතය තමයි ටුටූ. මේ දවස්වල වැඩි ජීවිතේ ගත වෙන්නේ පාරදිගේ ටුටූ එක්ක.

වොල්ගාට කොහොමද ටුටූ වෙන්න අවස්ථාව ලැබෙන්නේ?

පාර දිගේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ශිවගුරුනාදන් මහත්මා සහ නිෂ්පාදක චාමර සමරවික්‍රම මහත්මා කියන දෙපළ මගේ ජීවිතේ ගොඩක් විශේෂයි. හේතුව තමයි ශිවගුරුනාදන් මහත්මා සහ චාමර සමරවික්‍රම මහත්මා තමයි මුලින්ම මට මේ ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලබා දුන්නේ සහ මේ ක්ෂේත්‍රය තුළ තැනක් හදාගන්න මාව ධෛර්යවත් කළ දෙපළ. ඔවුන් දෙදෙනාගේ ආරාධනාවක් පිට තමයි මම මේ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. මේ ශිවගුරුනාදන් මහත්මාගේ වැඩක් කිව්වම මම දෙපාරක් හිතුවේ නැහැ. හා අපි කරමු කියලා එකපයින්ම කැමති වුණා.

හැමදාම වෙනස් විදිහේ චරිත හොයපු වොල්ගාට ටුටූගේ චරිතය ලැබුණම මොකද හිතුනේ?

මම කොහොමත් සාම්ප්‍රදායක චරිත කරලම නැහැ. මොකද්දෝ වාසනාවකට අධ්‍යක්ෂවරුන් මට ඒ වගේ සම්ප්‍රදායික චරිතවලට කතා කරන් නැහැ. විශේෂයෙන් මම තිරයේ බොළඳ පෙම්වතියක් වෙන්න කැමති නැහැ. මට දෙයක් කළ හැකි චරිතයක් නම් ඒකේ දිග පළල මම හොයන්න යන්නෙත් නැහැ. ටුටූ චරිතයට කතා කරලා පිටපත දුන්නම ටුටූ හරි වෙනස් චරිතයක් කියල මට දැනුනා. චරිතවල වුණත් අභියෝගවලට මම හරි කැමතියි. අභියෝග තියෙන චරිතවල රහ වැඩියි. ටුටූගේ වෙනස ඇතුළේ මම ජීවත් විය යුත්තේ කොහොමද කියලා මම මුලින් අධ්‍යයනය කළා. ඇත්තම කතාව නම් ශිවගුරුනාදන් මහත්මයා ටුටූගේ චරිතය මට කොටලා පොවනවා කිව්වොත් හරි. එහෙම නැතුව මේ චරිතය කරන්න අමාරුයි. චරිතයක් ලැබුණම මැරීගෙන හරි ඒ චරිතයට සාධාරණයක් කරන්න මට හැකි උපරිම උත්සහය මම ගන්නවා. ටුටූගේ චරිතයේ පළමු කොටසින්ම ජනතාවගේ ආකර්ශනය ලැබුණා. සමහර කොටස් විකාශණය වුණාට පස්සේ ඇමතුම්, ප්‍රතිචාර හිතා ගන්න බැරි තරමට එනවා. ඇයි ටුටූට මේ තරම් මිනිස්සු ආදරේ කරන්නේ කියලා හිතා ගන්න බැහැ. ඒ ආදරේට ප්‍රේක්ෂකයන්ට ගොඩක් පිං. ටුටූ කියන්නේ වෙනස් චරිතයක් වුණාට ටුටූගේ ඇතුළෙන් ආදරේ හොයන අහිංසක ගෑණියකගේ කෑලි ටිකක් තියනවා. ආදරේ ඇතුලේ ටුටූත් හිතුවක්කාර කෑදර වෙන තැනුත් තියෙනවා. ඒ නිසාම මට ටුටූව ගොඩක් දැනෙනවා.

වොල්ගත් ආදරේ හොයමින් ඉන්න කෙනෙක්ද?

ඔව් ආදරේ හොයනවා. හැබැයි ටුටූ තරමටම සමහර දේවල් ජීවිතේට ඕනෙමයි කියලා හිතන කෙනෙක් නෙමෙයි මම. හැබැයි ටුටූගේ හිතුවක්කාරකම මටත් ටිකක් තියෙනවා. මාත් කරනවා කිව්වොත් කරනවා. දෙයක් ලබා ගන්න ඕන වුණොත් කොහොම හරි ලබා ගන්නවා.

වැඩිපුරම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නේ ටුටූගේ ඇඳුම් විලාසිතාවට කිව්වොත් හරිද?

හරියටම හරි. ටුටූගේ ඇඳුමට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ තරුණයන්ගෙන්. ටුටූ කියන්නේ රස්නා විලාසිතා කරන චරිතයක්. මමත් පෞද්ගලිකව ටුටූගේ ඒ රස්නා පෙනුමට ඇඳුම්වලට මාරම ආසයි. විශේෂයෙන් කියන්න ඕන, ටුටූ වෙන්න මට ගොඩක් වෙනස් වෙන්න වුණා. රස්නා විලාසිතා හැසිරීම් ගැන මම ගොඩක් අධ්‍යයනය කළා. අඳින පළඳින විදිහ. කතාකරන විදිහ. කනබොන විදිහේ ඉඳලා ටුටූ වෙනුවෙන් මම වෙනස් වුණා.

දර්ශන තලයෙත් බොහොම සුන්දර සිදුවීම් එහෙම ඇති...?

අම්මෝ ඔව්... මේ ළඟදි දුෂේනිගෙන් මතක හිටින්න හොඳ කනේ පාරක් හම්බ වුණා. දුෂේනි ඇත්තටම හරිම අහිංසක කෙනෙක්. එක තැනකදි තිබුණා දුශේනි මගේ කනට ගහන අවස්ථාවක්. මට රිදේවි කියලා දුශේනි ගහන්න බෑ කියලා කිව්වත් ඒ සිදුවීම තාත්විකව ගන්න ඕන නිසා මම කිව්වා ඇත්තටම කනේ පහර ගහන්න කියලා. කොහොම හරි තරු විසිවෙලා මූණ ඉදිමිලා එන්නම දුශේනි කනේ පාර දුන්නා. අන්තිමට කම්මුලේ ඉඳිමුම බැස්සුවේ අයිස් තියලා. ඒවා හරි සුන්දර අත්දැකීම්.

වොල්ගා එක කාලෙකදි පුංචි තිරයෙන් ඈත් වෙනවා. විවාහය සහ ආදරය කියන දේට මූණ දෙන්න වුණු සිදුවීම් එක්කද කලාවෙන් ඈත් වුණේ?

ඔව්. මම මාස 6ක් විතර කලාවෙන් ඈත් වෙලාම හිටියා. අපි ජීවිතේ ගන්න තීන්දු තීරණ හරියන්න පුළුවන්. වරදින්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඇත්තටම හර්ෂණයි මමයි අයින් වුණේ තේරුම් අරගෙන බොහොම කැමැත්තෙන් සහ සාමදානයෙන්. ආදරේ ඇතුලේ මම බොළඳවෙන කෙනෙක්වත් බොළඳ හිතක් තියෙන කෙනෙක්වත් නෙමෙයි. එක තැනකදි මම සම්බන්ධ කට කතා, අසත්‍ය දේවල්, ජීවිතේට මම නොකරපු දේවල් කියකියා මට මඩ ගැහැව්වා. මාව ලොකු අපහසුතාවයන්ට පත්කළා. ඒ දේවල් එක්ක මම ගොඩක් මානසිකව වැටුනා. බොරුවක්ද ඇත්තක්ද කියලා හොයන්නේ නැතුව ඕන දෙයක් පිළිගන්න කොට්ඨාසයක් තමයි ලංකාවේ ඉන්නේ. ඒ ගැන මට තියෙන්නේ ලොකු කලකිරීමක්.

ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න අපිට ටිකක් කල් යනවා.... මම මනසින් වැටුන වෙලාවේ පණ දෙන්න හිටපු යාළුවෝ පවා මාව අතෑරලා ගිය අවස්ථා තිබුණා. ප්‍රශ්න රැසකට මූණ දෙන්න වුණා. මට හිටපු එකම ශක්තිය මගේ අම්මා තාත්තා ඇතුළු මගේ පවුලේ අය. ජීවිතේ කඩා වැටීම් පසුතැවීම් එක්ක දේවල් අතාරින්න, හිනාවෙලා ජීවිතේට මූණ දෙන්න ශක්තිය දුන්නේ මගේ තාත්තා... හැමදේම එපා වෙලා අතෑරලා දාලා තිබුණ මොහොතක විශේෂයෙන් ශිවගුරුනාදන් මහත්මා ඇතුළු කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මගේ ළඟින් ඉඳගෙන මාව ශක්තිමත් කළා. මට ආශිර්වාද කළා... ඔවුන්ගේ ශක්තියෙන් තමයි මම ආයෙම නැගිට්ටේ...

නැවත විවාහයකට බලාපොරොත්තුවක් වොල්ගාට නැද්ද?

මගේ ආදරේ විවාහ සහතිකේකට වඩා පිරිසිදුයි. ඇත්තටම විවාහය කියන කඩදාසිය මගේ ජීවිතේට නැවත අවශ්‍ය නැහැ. මම ආදරේ කරන කෙනා පරිස්සමෙන් එයා ආස කරන දේවල් ටික ඉෂ්ඨ කරගෙන ඉන්නවනම් මට ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන්. මම දකින විඳින ආදරේ ඒක. මම පරාර්ථකාමී පෙම්වතියක්.

විවාහය මගේ ජීවිතේ අසාර්ථක වුණා. දෙන්නෙක් අතර තියෙන විශ්වාසය, ආදරය විවාහ සහතිකේතින් පෙන්නන්න බැහැ. විශ්වාසයෙන් ආදරෙන් නොබැඳෙන මිනිස්සු කොලේකින් බැඳලා තියන්නත් බැහැ. විවාහය කියන කඩදාසි කෑල්ලට මගේ ආදරේ බාල්දු කරන්න මම කැමති නැහැ. ඇත්තටම මම නීත්‍යානුකූල විවාහය විශ්වාස කරන්නේ නැහැ. ඒක තනිකරම බොරුවක්. මම ජීවිතේ කරලා තියෙන කැපකිරීම් ගැන කිසිම පසුතැවීමක් නැහැ. සමහර අයව සතුටින් තියන්න මම ඕනතරම් කැපකිරීම් කරලා තියෙනවා. හැබැයි මගේ ජීවිතේ ඇතුලේ නැවතත් විවාහයකට බලාපොරොත්තුවක් නැහැ. අනවශ්‍ය දේවල් ජීවිතේට බදාගන්නේ නැති වුණාම ජීවිතේ සැහැල්ලුවෙන් ගෙනියන්න ලේසියි. දැන් මම සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන කෙනෙක්.

වොල්ගාගේ ඉදිරි නිර්මාණ කටයුතු මොනවද?

සුදත් රෝහණ මහත්මාගේ නවතම ටෙලි නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම ටෙලිනාට්‍යවලට තරම් චිත්‍රපටිවලට ආරාධනා ලැබෙන්නේ නැහැ. ඒත් චිත්‍රපටි දෙකකට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

නදීශා අතුකෝරළ