ඔස්කා යන්න දැන් ලංකාවටත් පුළුවන්

ඔන්න ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ශ්‍රී ලාංකික නිල සිනමා නියෝජනයක් 99 වන ඔස්කා සම්මාන උළෙලට.....
ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව පුවතක් උපුටා දක්වමින් තමන්ගෙ මුහුණු පොතේ එවන් සඳහනක් කරලා තිබුණා.
ඒ පිළිබඳව වැඩිදුර විස්තර සුදත් මහදිවුල්වැව දන්වා තිබුණේ මෙහෙමයි.
ශ්‍රී ලාංකේය සිනමාව ඇකඩමි සිනමා සම්මාන උළෙලට (ඔස්කාර්) පිවිසීමේ ඓතිහාසික අවස්ථාවක්
අයදුම්පත් කැඳවීම 99 වෙනි ඇකඩමි සම්මාන උළෙල (ඔස්කාර්) 2027
අන්තර්ජාතික වෘත්තාන්න චිත්‍රපට සම්මාන කාණ්ඩය..........
2027 වසරේ පැවැත්වෙන 99 වෙනි ඇකඩමි සම්මාන උළෙලේ (ඔස්කාර්) අන්තර්ජාතික වෘත්තාන්න චිත්‍රපට කාණ්ඩය (INTERNATIONAL FEATURE FILM AWARD CATERGORY) වෙත ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් තෝරා ගෙන ඉදිරිපත් කරනු වස් අයදුම්පත් කැඳවීම, ශ්‍රී ලාංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් නිල වශයෙන් ආරම්භ කොට ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට කලා හා විද්‍යා ඇකඩමිය (ACADEMY OF MOTION PICTURE ARTS AND SCIENCES) සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව (NFC) විසින් නියම කර ඇති යෝග්‍යතා නිර්ණායක සපුරාලීමට සමත් වූ යම් ශ්‍රී ලාංකේය චිත්‍රපට වේද, එකී චිත්‍රපට හට අයදුම්පත් ඉදිරිපත් කිරීම උදෙසා අවස්ථාව හිමිවේ.
අයදුම්පත් භාරගැනීම 2026 අගෝස්තු 24 වෙනි සඳුදා සිට, 2026 සැප්තැම්බර් 21 වෙනි සඳුදා දක්වා සිදුකෙරේ.
අයදුම්පත් යොමුකිරීම උදෙසා සපුරාලිය යුතු සුදුසුකම්…....
ධාවන කාලය මිනිත්තු 40 ඉක්මවූ දීර්ඝ ප්‍රබන්ධ වෘත්තාන්න චිත්‍රපටයක් හෝ දීර්ඝ වාර්තා වෘත්තාන්ත චිත්‍රපටයක් හෝ දීර්ඝ සජීවීකරණ වෘත්තාන්ත චිත්‍රපටයක් විය යුතුය.
2025 ඔක්තොම්බර් මස 01 වෙනිදා සිට 2026 සැප්තැම්බර් මස 30 වෙනිදා දක්වා ශ්‍රී ලංකාව තුළ වූ අවම වශයෙන් එක් සිනමාශාලාවක, අවම වශයෙන් දින 07 ක් අඛණ්ඩව නිෂ්පාදක හා ප්‍රදර්ශකයා වෙත ලාබ උපයාදීමේ අරමුණින් වාණිජ පදනමින් තිරගත වූ චිත්‍රපටයක් විය යුතුය.
චිත්‍රපටයේ පටිගත කළ මුල් සංවාද හඬ පටයෙන් සේම සම්පූර්ණ චිත්‍රපටයෙන් 50% ට වඩා වැඩි ප්‍රමාණයක් ඉංග්‍රීසි නොවන භාෂාවකින් හෝ භාෂාවලින් යුක්ත විය යුතුය.
චිත්‍රපටයේ නිර්මාණාත්මක පාලනය විශාල වශයෙන් (බහුතරය) ශ්‍රී ලාංකේය පුරවැසියන්, ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්, හෝ ශ්‍රී ලංකාව තුළ සරණාගත හෝ නීතිමය රැකවරණ හිමි පුද්ගලයන් මත රඳා පවතින බව තහවුරු කළ හැකි චිත්‍රපටයක් විය යුතුය
ඒ අනුව,
- චිත්‍රපටයේ අධ්‍යක්ෂක හෝ අධ්‍යක්ෂකවරු ශ්‍රී ලාංකේය පුරවැසියන්, ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්, හෝ ශ්‍රී ලංකාව තුළ සරණාගත හෝ නීතිමය රැකවරණ හිමි පුද්ගලයන් විය යුතුය
- චිත්‍රපටයේ එක් තිර රචකයකු හෝ, ශ්‍රී ලාංකේය පුරවැසියකු, ශ්‍රී ලංකාවේ පදිංචිකරුවකු, හෝ ශ්‍රී ලංකාව තුළ සරණාගත හෝ නීතිමය රැකවරණ හිමි පුද්ගලයෙකු විය යුතුය.
චිත්‍රපටයේ අනෙකුත් ප්‍රධාන කාර්මික ශිල්පීන් අතුරින් කැමරා අධ්‍යක්ෂක, සංස්කරණ ශිල්පියා, සංගීත අධ්‍යක්ෂකවරයා, ශබ්ද සැලසුම්කරණ ශිල්පියා, වර්ණ සංකලන ශිල්පියා, දෘශ්‍ය ප්‍රයෝග ශිල්පියා, නිර්මාණ සැලසුම්කරණ ශිල්පියා, කලා අධ්‍යක්ෂකවරයා, ඇඳුම් නිර්මාණ ශිල්පියා, අංගරචන ශිල්පියා, නළු නිළිවරණ අධ්‍යක්ෂකවරයා යන ශිල්පීය තනතුරු බහුතර ප්‍රමාණයක් ශ්‍රී ලාංකේය පුරවැසියන්, ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්, හෝ ශ්‍රී ලංකාව තුළ සරණාගත හෝ නීතිමය රැකවරණ හිමි පුද්ගලයන් විසින් දැරිය යුතුය.
චිත්‍රපටයේ අන්තර්ගත ප්‍රධාන සහ සහාය චරිත බහුතර ප්‍රමාණයක් ශ්‍රී ලාංකේය පුරවැසියන්, ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්, හෝ ශ්‍රී ලංකාව තුළ සරණාගත හෝ නීතිමය රැකවරණ හිමි පුද්ගලයන් විසින් රඟ දක්වා තිබිය යුතුය.
චිත්‍රපටයේ මූල්‍ය හිමිකමේ බහුතර ප්‍රමාණයක් ශ්‍රී ලාංකේය පුරවැසියන්, ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්, හෝ ශ්‍රී ලංකාව තුළ සරණාගත හෝ නීතිමය රැකවරණ හිමි පුද්ගලයන් හෝ ශ්‍රී ලංකාව තුළ සංස්ථාපනය හෝ ලියාපදිංචි කළ සමාගමක්/ ව්‍යාපාරයක් සතුවිය යුතුය.
නිල අයදුම්පත්‍රය, අයදුම්පත්‍රය සමග ඉරිපත්කළ යුතු ලිපි ලේඛන සහ අනෙකුත් අයිතම පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ නිල වෙබ් අඩවියට www.nfc.gov.lk පිවිසීමෙන් ලබාගත හැක.
නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සහ අදාළ සියලුම ලිපි ලේඛන හා අයිතම මූලික වශයෙන් [email protected] යන විද්‍යුත් ලිපිනය වෙතද, ඊට අමතරව [email protected] සහ [email protected] ලිපින වෙතද යොමු කළ යුතු වේ.
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ මැදිහත්වීමෙන් පිහිටුවා ඇති සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට කලා හා විද්‍යා ඇකඩමියේ අනුමැතිය හිමිවූ ශ්‍රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටුව (NOSCSL), චිත්‍රපට නිෂ්පාදනය, චිත්‍රපට අධ්‍යක්ෂණය, චිත්‍රපට තිර රචනය, චිත්‍රපට සංස්කරණය, චිත්‍රපට කැමරාකරණය, චිත්‍රපට පසුබිම් සංගීතය, සිනමා ජනමාධ්‍යකරණය, චිත්‍රපට විචාරය, චිත්‍රපට උළෙල වැඩසටහන් සම්පාදනය, චිත්‍රපට අභිරක්ෂණය, අන්තර්ජාතික සිනමා උළෙල තුළ ශ්‍රී ලාංකේය චිත්‍රපට ප්‍රවර්ධනය යන ඒ ඒ සිනමා ක්ෂේත්‍ර තුළ වූ ප්‍රවීනයන් 09 දෙනෙකුගේ සමාජිකත්වයකින් සමන්විත විත වේ. තේරීම් කමිටුව විසින් යෝග්‍යතා නිර්ණායක සපුරාලූ සියලුම චිත්‍රපට නැරඹීමෙන් හා සලකාබැලීමෙන් පසුව සිදුකරන ජන්ද විමසීමකින් අනතුරුව, ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වඩාත් යෝග්‍යම චිත්‍රපටය තෝරාගනු ලැබේ. එකී තෝරාගැනීම 2026 සැප්තැම්බර් 28 වෙනි දින නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබේ.
