ඕනෑවටත් වඩා නින්ද යනවා
දශක හතරකට වඩා වැඩි කාලයක් කලා ලොවේ බොහෝ දස්කම් පෑ ඔහු නළුවෙකු , කවියෙකු, ගීත රචකයෙකු, වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙකු, වැඩසටහන් අධ්‍යක්ෂවරයකු වශයෙන් ශ්‍රී ලාංකීය කලා කෙත අස්වැද්දීමට තමා උපන් දක්ෂතාවයෙන් බොහෝ දෑ කළ ආදරණීය ගෞරවයට පාත්‍ර වුණු ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකි. අප මෙවර හමුවූයේ ලූෂන් බුලත්සිංහල නම් ඔහුවය . ඔහු සමග රහසෙ කතා කළ බොහෝ දෑ මෙලෙසින් ප්‍රසිද්ධියේ දිග හැරේ.
• මේ දිනවල මොනවද කෙරෙන්නේ ?
මේ දින වල ඉතින් විශේෂ වැඩක් නැති නිසා මම ජීවන මතක සටහන් ලියන්න පටන් ගත්තා. ජීවිතේ ලබපු අත්දැකීම්. ළමා කාලය ,තරුණ කාලය ගෙවුණු හැටි, රැකියාව, විවාහය, වගේම හැලහැප්පිලි, නැගිටීම්, කඩාවැටීමේ ඔක්කොම අඩුවක් නැතුව තිබුන ජීවිතයේ මතකයන් “සමරුවක් ”විදියට ලියන්න ගත්තා. ඉදිරියේදී එළි දැක්වීමට හිතාගෙන ඉන්නේ බලමු .
• ජීවිතය ගැන මොකද හිතෙන්නේ ?
ලැබීම් නොලැබීම් ,රිදවීම් සතුටු වීම්, ළංවිම් වෙන්විම් දරාගැනීම් එක්ක ජීවත් වෙන එක තමයි ඉතින් ජීවිතය විදිහට මම දකින්නේ. නිර්ධන පන්තියේ ආර්ථිකයේ වළපල්ලේ ම හිටපු දෙමව්පියන්ට දාව මෙලොව එළිය දැකපු මම අද වන විට මගේම ශක්තියෙන්, මගෙම දක්ෂතාවලින් ගොඩක් දුර පැමිණ තියෙනවා. ජීවිතය අන්තයටම දුක් විඳපු මම පසුකාලයක ජීවිතයේ උපරිමය සතුට විදිනවා . තාඩන පීඩනවලින් හෙම්බත් වුණු අවස්ථා බොහොමයක් තිබුණා. ඒත් අද මම හරිම සතුටින් මගේ ජීවිතය විඳිනවා. ජීවිතේ කියන්නේ තවත් විදිහකට අටලෝ දහමේ එකතුවක් .
• කලාව වැනි වෘත්තීය කත් ඔබට වැටීම් ,ගැටුම් වලට ලක් වෙන්න සිද්ධ වුණා ද ?
මොනතරම් නූතනය ගැන, දියුණුවේ හිණි පෙති ගැන කතා කළත් දුපත් මානසිකත්වය, කුලභේදය, ජන වාර්ගික භේද, ජාති ආගම් ප්‍රශ්න, උස් පහත් භේදය ලංකාවේ නැති වෙලා නෑ .ඒ නිසා ඉතින් මොන වෘත්තිය කින් හරි ඉදිරියට යන කෙනෙකුට කෙනෙහිලිකම් විඳින්න වෙනවා මයි. දක්ෂතා පෙන්නන්න පෙන්නන්න එන කැපිලි කෙටිලි ත් වැඩියි. එක ශ්‍රී ලාංකිකයන්ගෙ ස්වභාවය විදියටයි මම දකින්නේ.
• පුංචි කාලේ කවුරුන් වෙන්නේ ද කැමැත්තෙන් හිටියේ ?
පුංචි කාලේ මට ලොකු ආසාවක් තිබුනා දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වෙන්න. මට බොහෝම ලස්සනට චිත්‍ර අදින්නත් පුළුවන්. රජයේ ලලිත කලා විභාගයට පෙනී සිටියා. නමුත් චිත්‍ර කලාව විෂයක් විදිහට ඉගෙන ගන්න මට වියදම් කරන්න තාත්තට සල්ලි තිබුණෙ නැහැ. ඒ නිසා ඒ හීනෙ පස්සේ දුවන එක මම ඒ කාලෙදිම නතර කළා .
• එතකොට ඔබ රඟපෑමට යොමු වන්නේ .?
පාසල් වේදිකාවෙන් ම රඟපෑම ඇඟේම තිබෙන බව හඳුනා ගත්තා . නමුත් පූර්ණකාලීනව රංගනයට දායක වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී මට මුණ ගැහුණු වටිනා පුද්ගල චරිත කිහිපයක් නිසා...ඇත්තටම ඔවුන් තමයි මගේ ජීවිතය වෙනස් කළේ .
• ඔබේ නම වෙනස් වෙන්නෙත් ඔය අවධියේ මයි .?
ඔව්. මම මුලින්ම භාවිත කළේ ලූෂන් පෙරේරා කියන නම. ඒ කාලේ කලා ක්ෂේත්‍රරයේ පෙරේරලා ගොඩක් හිටියා. දවසක් මට ජ්‍යෙෂ්ඨ නාට්‍යකරුවෙකු වූ බන්දුල ජයවර්ධන මහතා කිව්වා ”ලූෂන් ඔයාට අනන්‍යතාවක් ගොඩනඟාගන්න නම් පෙරේරා කෑල්ල අයින් කරලා වාසගමේ තියෙන වෙන නමක් එකතු කරන්න කියලා. ඒ අනුව තමයි ඉතින් මම වාසගමේ තිබුණු බුලත්සිංහල කියන කෑල්ල බුලත්සිංහ කියලා භාවිතා කලේ.
• ඔබ වඩාත් ජනාදරයට පාත්‍ර වන්නේ ?
තාරාවෝ ඉඟිලෙති කියන මගෙම නාට්‍ය රඟපෑමත් එක්ක 1981 වසරේ සිට බොහෝ දෙනකුගේ ආදරයට ගෞරවයට පාත්‍ර වන බවක් දැනුණා. ගුවන් ගුවන්විදුලියේ මා එවකට කළ සඳැල්ල සඟරාමය වැඩසටහන නිසාත් මා අතිශය ජනප්‍රිත්වයට පත් ව් තිබුණා .ඔය වගේ මා කළ ගීත රචනා, වේදිකා නාට්‍ය නිෂ්පාදනය ,රඟපෑම්, නිවේදන කටයුතු හරහා වගේම වෘත්තීය මට්ටමෙන් ඉහළ තනතුරු වලට යන විටත් ජනතා ආදරය නොඅඩුව ලැබුවා .
• තරුණ කාලයේ දී ආදර සම්බන්ධතා එහෙම තිබුණේ නැද්ද ?
අපොයි තිබුණා .සමහර ඒවානම් පොඩි පොඩි ඒවා . තවත් සමහර පේම සම්බන්ධතා මගේ අධ්‍යාපන කටයුතු පවා කඩාකප්පල් කරන්න ගිය අවස්ථා වුණා . කොහොම නමුත් ප්‍රේමය නිසාම පිස්සු වැටිලා හිටපු කාලයකුත් තිබුණා. පසු කාලයක දී ඒවා වටිනා නිර්මාණ අත්දැකීම් බවට පත් වුණා .
• ආදරය කියන දේ ඔබට නිර්වචනය කරන්න කිව්වොත් ?
නිර්වචනයක් දෙන්න බැරි ලෝකේ තියෙන එකම වචනය ආදරය වෙන්න ඇති. ආදරේ හැඟීම මොන තරම්
ප්‍රකාශ කළත් අනෙකාට වැටහෙන්නේ නැත්නම් එතැන තියෙන්නේ ඝට්ටනයක් .ඇත්තම කියනවානම් ආදරේ කියන්නේ අතිශයින්ම පෞද්ගලික දෙයක්. එය පොදුවේ නිර්වචනය කරන්න බැහැ .
• ඔබට බිරිඳව මුණගැහෙන්නේ ආදර සම්බන්ධතාවයකින් .?
ඔව් .ඇය අනුලා මෙන්ඩිස්. මට අනුලා ව මුණගැහෙන්නේ රඟපෑම් කටයුතු වලදී .පසුව ඇය හදුනාගෙන ආදරේ කරලා අපි විවාහ වෙනවා .
• විවාහයෙන් පසුව රඟපෑම් කටයුතු වල නිරත වෙද්දී බිරිදගෙන් තහංචි එහෙම වැටුණේ නැද්ද ?
වැටුන ...වැටුනා... පෙර වැරදි තිබුන නිසා වැඩිපුර තහංචි නීතිරීතිත් වැටුණු අවස්ථා තිබුණා .
• වයසට නොගිහින් ඉන්න මොනවා හරි කරනවද ?
කවදාවත්ම එහෙම දේවල් නම් කරල නැහැ .මම බොහොම අඩුවෙන් කෑම කන කෙනෙක්. ඒ වගේමයි දුම්පානය කරන්නෙත් නැහැ. දිනපතා සරල ව්‍යායාම කිහිපයක නිරත වෙනවා. මට නිතරම හිතෙනවා මගේ අම්මගෙනුයි තාත්තාගෙනුයි ලැබුණු නිරෝගි කම මට ඒ විදිහටම තියෙනවා කියලා. තවත් දෙයක් තමයි මිනිහෙකුට හෘද සාක්ෂියට අනුව තමන් නිවැරදිව ජීවත් වුණා කියලා හිතන්න පුළුවන් නම් ඒ කාරණයම ඇති මනුස්සයෙකුට සතුටින් ඉන්න. නිරෝගි කම රැක ගන්න. ඒ නිසා මම හිතෙනවා මනුස්සයෙකුට සුවදායක නින්දක් ලබන්න පුළුවන් නම් ඔහු ජීවිතය ව්දින කෙනෙක් විය යුතුයි .මටනම් ඇත්තටම වැඩිපුරත් එක්ක නින්ද යනවා.
• හිතේ සතුට රඳවා ගන්න ඔබ මොනවද කරන්නේ ?
අතීතය අතිතයට භාර දීල වර්තමානය දෙස බලන්න පුරුදු උනොත් අපි කොයි කාටත් සතුටින් ඉන්න එක පහසු දෙයක් වෙයි .
• ජීවිතයේ සතුටුවුණ ම දවස ?
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි විභාගය සමත් වුණු දවස. තිබිච්ච පළහිලව් එක්ක ඇත්තටම මම හිතුවේ මම විභාගේ ෆෙල් වෙයි කියලා .ප්‍රතිඵල දැක්කහම ලොකු සතුටක් හිතට දැනුනා .
• ජීවිතයට ලැබුණු අමතක නොවන චරිතය ?
අම්මාට තාත්තට පස්සෙ මම ගරු කරන චරිතයක් තමයි නුවරඑළිය අඹේවල රජයේ ගොවිපලේ එවකට කටයුතු කළ කළමනාකාර වේලුපිල්ලේ ආරාංගම් මහත්තයා .උසස් පෙළ විභාගයෙන් පස්සේ විශ්වවිද්යාලයට යන්න තරම් ආර්ථික ශක්තියක් තිබුණෙ නැහැ මට. ඒ නිසාම මම රජයේ ලිපිකරු විභාගය ලියලා ලිපිකරුවෙක් විදිහට රැකියාව කරන්න පටන් ගන්නවා ...බොහෝ දුෂ්කරතා මැද රැකියාව කරන කාලයේදී මට විශ්ව විද්‍යාලයට යන්න ලොකු ආසාවක් තිබුනා ...පේරාදෙණියට මාරුවීමක් ඉල්ලුවත් ලැබුණේ නැහැ .සිංහල මිනිසුන් කිහිප දෙනෙක්ම පස්සට දැමූ මගේ මාරු වීම, දමිළ ජාතිකයෙකු වූ ඔහු ඇප වෙලා මට විශ්ව විද්‍යාලයට යන්න අවස්ථාව උදා කරලා දුන්නා.
• ජීවිතේ දඬුවම් එහෙම ලබලා නැද්ද ?
කොලු කාලේ නම් ඉතින් කරන දර දඩු වැඩ වලට නිතරම ගෙදරින් ගුටි කනවා. දවසක් කොල්ලො එක්ක මුහුදේ හොරෙන් නාන්න ගිහින් ගෙදරට අහුවෙලා තාත්තා මට ඇලපත පුපුරලා ලේ ගලන කම් ගැහැව්වා. වේදනාව දරාගන්න බැහැ. තාත්තා එක්ක මට හරිම කේන්ති. මම ටික දවසකට පස්සේ අම්මගෙන් ඇහුවා ඇයි අම්මේ මුහුදේ නෑවා කියලා මේ තරම් දරුණු විදිහට තාත්තා මට ගැහැව්වෙ කියලා. එතකොට අම්මා කිව්වා පුතේ ඔයාගේ කේන්දරේ තියෙනවා ඔයාට වතුරෙන් අගුණයි කියලා, පුතාගේ ඔළුවේ ත් සුලි තුනක් තියෙන නිසා ඔයාට කරදරයක් වෙයි කියලා වතුරේ යන එක නතර කරන්න තමයි ඒ වගේ දඬුවමක් දෙන්න ඇත්තේ කියලා . තාත්තා වාමාංශික අදහස් තිබුන කෙනෙක්. කවදාවත් කේන්ද්‍රරය විශ්වාස කළේ නැහැ .නමුත් පිය සෙනෙහස ඇතුලෙ ඔහු මාව රකින්න එවැනි දඬුවම් පවා දුන්නා ....
• ලැබීම් ගැන වාසනාව ගැන විශ්වාස කරනවාද?
නොසිතන වෙලාවක දී අහම්බෙන් ලැබෙන ලැබීම් වාසනාව විදිහට මම දකිනවා .
• විනෝදාංශ විදිහට ඔබ මොනවද කරන්නේ ?
පොත්පත් කියවන එක තමයි දැනට විනෝදාංශයක් විදිහට කරන්නේ. ඇත්තටම මම එයට ඇබ්බැහි වෙලා.
• විලාසිතා කරන්න කැමති ද ?
කලිසමයි කමිසෙයි ඇන්දාට මම අදට වත් දන්නෑ මට ගැලපෙන ඇඳුම මොකක්ද කියලා. ”මම නළුවෙක්” ”මම විලාසිතා කරන්න ඕනැ ”කියලා මට කවදාවත් හිතිලත් නැහැ.
• ආභරණ පලඳින්න කැමති ද ?
ඉස්සර නම් රත්තරන් මුද්දකුයි, වලල්ලකුයි බාහිර අලංකාරයට පැලදුවා. දැන් නං ඒ වගේ ආසාවල් නැහැ. අඩුම තරමේ ඔරලෝසුවක් බඳින එකත් මට කරදරයක් .
• ආදරෙන් එකතු කරන සිහිවටන මොනවාද ?
රඟපෑමේ දක්ෂතාවයන් වෙනුවෙන් ලැබුණු සම්මාන සිහිවටන මතකයන් විදිහට තියෙනවා .
• ඔබ රඟපෑ චරිතවලින් ඔබේ මතකයෙ වැඩිපුරම රැඳුණු චරිතය ?
හිඟන කොල්ලෙකුගේ චරිතයෙන් තමයි මම රඟපෑමට එන්නෙ .තවත් වරක් ප්‍රසිද්ධ වේදිකාවේ දී ත් සිගන්නෙකුගේ චරිතයක් රඟ දක්වා බොහොම ඇඟයිම් වලට ලක් වුණා.
• ලෝකයේ උතුම් ආදරයක් ලැබුවේ ?
අම්මගෙනුයි තාත්තාගෙනුයි. ඒ ආදරේ අදටත් ඇස් පනාපිට ජීවමානයි. මම අදටත් ඒ ආදරේ විදිනවා මනසින්. මගෙ තාත්තාගේ ජීවිතය මම අද තාත්තා කෙනෙක් විදිහට අනුගමනය කරන්න උත්සහ කරනවා .
• පිය සෙනෙහස ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ ?
නැහැ ....බැහැ... කියන වචන මගේ දරු දෙදෙනාට ඇසෙන්න ලැබෙන්න නැතිවෙන්න මම වගකිව යුතුයි කියලා මම හිතනවා....ආර්ථික ප්‍රශ්න නිසා ම මගේ තාත්තාට එදා මට අවශ්‍ය සමහර දේවල් දෙන්න බැරි වුණා. නමුත් මම තාත්තා කෙනෙක් වුණු දා දරු දෙදෙනාට අතපසුවීමක් වෙන්නට තිබ්බේ නැහැ.
අසුන්තා එදිරිසූරිය


