කර්තෘභාග කතා අතරමං?
කර්තෘභාග කතාව නිසා ඇති වූ සිත් රිදවීම් ගැන ACPOSL කනගාටුව පළ කරලා.ඒත් එක්කම කර්තෘ භාග අය කිරීම තාවකාලිකව නතර කරලා......
ඒ කියන්නේ ශ්රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් සිය කර්තෘභාග ගාස්තු (Royalty Fees) ක්රමවේදය නැවත සමාලෝචනය කිරීමට තීරණය කරලා. ඒ අනුව මේ වෙද්දී සියලුම බලපත්රකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර අරන්.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය ඒ බව සඳහන් කරලා තිබුණා. ACPOSL අධ්යක්ෂ මණ්ඩලය මෙම තීරණය අරගෙන තියෙන්නේ පසුගිය සති කිහිපය තුළ විනෝදාස්වාද ක්ෂේත්රයේ විවිධ පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ප්රතිචාර සහ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුවයි.
මෙම තාවකාලික අත්හිටුවීම 2026 නොවැම්බර් මස පැවැත්වීමට නියමිත සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම දක්වා බලපැවැත්වෙනු ඇති බවත් එම නිවේදනයේ සඳහන්.
තවද මෙම සංගමය අවධාරණය කරන තවත් කරුණක් වන්නේ තාවකාලික අත්හිටුවීම හේතුවෙන් ACPOSL සතු අයිතිවාසිකම්, නෛතික ප්රතිකර්ම හෝ නෛතික ස්ථාවරත්වයට කිසිදු අගතියක් සිදු නොවන බවයි.
එමෙන්ම පසුගිය දිනවල ඇති වූ තත්ත්වයන් හේතුවෙන් යම් පාර්ශවයකට හෝ ජනතාවට අපහසුතාවක් හෝ සිත් රිදවීමක් සිදු වූයේ නම් ඒ පිළිබඳව කනගාටුව පළ කරන බවත් ACPOSL ආයතනය තම නිවේදනය ඔස්සේ කියා සිටිනවා.
එසේම යෝජිත බලපත්ර රාමුව සහ ඊට අදාළ ගාස්තු සමාලෝචනය කර යළි සකස් කිරීම සඳහා ක්ෂේත්රයේ සියලු පාර්ශවකරුවන් සමඟ විධිමත් සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත්, ම සාකච්ඡාවලින් අනතුරුව සංශෝධිත රාමුව නොවැම්බර් මස පැවැත්වෙන වාර්ෂික මහා සභා රැස්වීමේදී සාමාජිකත්වයට ඉදිරිපත් කිරීමටත්, අනතුරුව රජයේ ගැසට් පත්රයේ පළ කිරීමටත් නියමිත බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් .
