කලාව කියන්නෙ පුංචි කාලෙ ඉඳන් මගේ ඇඟේ තිබුණු දෙයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘සිංහාසනයට අභියෝග කළ කාලි’ විශාල සමාජ පණිවිඩයක් සමඟින් නිර්මාණය වන නවතම චිත්‍රපටයක් ඉදිරියේදී තිලිණ කරන්නට සියල්ල සූදානම්ව පවතී. මහේෂ් කරුණාරත්නගේ සිනමා නිර්මාණයක් වන මෙහි පිටපත් රචනය කලාශූරී ආචාර්ය මේනක කෞශල්‍ය අරුමපුරගෙනි. ප්‍රධාන චරිතයෙන් රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක සහ වෛද්‍ය නුවන්ධිකා සිරිවර්ධන දායක වෙති. මේ අලුත්ම නිර්මාණය සමඟ කතාබහක යෙදෙන්නට වෛද්‍ය නුවන්ධිකා සිරිවර්ධන සඳැල්ල අප හා එක්වූවාය. 

කාලි චරිත රංගනයට දැන් සියල්ල සූදානම්ද?

ඔව් සියලුම දේ සූදානම්

ඉතින් කියමුද මේ නිර්මාණ කටයුත්ත ගැන?

මේ දේශපාලනය හා සම්බන්ධ කතාවක්. ඇත්තටම අද අපේ රටේ දේශපාලනය ගැන කතා කළොත් එය තිබෙන විදිය අනුව මිනිසුන්ගේ බලාපොරොත්තු ඇත්තටම බින්දුවයිනෙ. හරි නායකත්වයක් නැහැ. නායකත්වයක ලක්ෂණ තියෙන මිනිස්සු පේන්නත් නැහැ. ඉතින් ඒ සමහර අවස්ථාවලදි මිනිස්සු අයාලේ යන ගති එක තැනක රැඳෙන්නෙ නැති බලාපොරොත්තු නැතිව රට දුවන ගතියක් දකින්නට තියෙන නිසා එය ධාවනයට යම් ගමන් මාර්ගයක් නිර්මාණය කර දෙන්නට හැකි මිනිස්සු මෙරටින් කොහේදි හෝ බිහිවෙයි කියන බලාපොරොත්තුවක් මේ සිනමා නිර්මාණය තුළ කතාබහ කෙරෙනවා. නිවැරැදි දැක්මක් දිගේ යන්න පුළුවන් දේශපාලන ප්‍රවාහයක් හදන්න ඕනෑ කියලා තමයි මේ තුළ කියවෙන්නෙ. ලොකු සමාජ පණිවිඩයක් ලබා දෙන්නට තමයි මේ තුළින් සූදානම් වෙන්නෙ. ඉතින් මමත් ඉතාම කැමැත්තකින් තමයි මේ චරිත රංගනය කරන්නට සූදානම් වුණේ. 

මේ ඔබේ පළමු සිනමා අත්දැකීමද?

ඔව්. නමුත් මට මීට පෙර ආරාධනා ලැබිලා නම් තියෙනවා. නමුත් සම්බන්ධ වුණේ නැහැ. ඒකට හේතු නම් කිහිපයක් තියෙනවා. එකක් කාලය සම්බන්ධ ප්‍රශ්න. ඒ වගේම නිර්මාණයක ගුණාත්මකභාවය ගැන මම ගොඩක් හිතනවා. අද නිර්මාණය වන ගොඩක් නිර්මාණ ඇල්මැරුණු ස්වභාවයක් තියෙනවා. ඉතින් මම මේ නිර්මාණය වෙනුවෙන් සම්බන්ධ වුණේ සමාජයට ලොකු පණිවිඩයක් ලබාදෙන නිසා. මේ නිර්මාණයෙ ප්‍රධාන චරිත රංගනය වෙනුවෙන් සම්බන්ධ වෙන මගේ චරිතය ‘කාලිකා’ ඇය ශක්තිමත් තරුණ කාන්තාවක්. සමාජයේ විවිධ හැලහැප්පීම්, ඝට්ටන හමුවේ නොසැලී නොබියව අසාධාරණයට එරෙහිව සටන් කරනවා. ඇයට අවශ්‍ය වෙන්නෙ රට ඉදිරියට ගෙන යන්නට ශක්තියක් වෙන්න. මීට වඩා ඒ සම්බන්ධයෙන් කතා කරන්න බැහැ. ඒ සියල්ල මේ නිර්මාණය නරඹලාම දැකගන්නට පුළුවන්.

නුවන්ධිකා ගැන පුංචි සඳහනක් කළොත්?

මම වෛද්‍යවරියක්. මේ වනවිට විශේෂඥ වෛද්‍ය පුහුණුවට තේරීපත්වෙලා ඉන්නවා. මම මේ වෙද්දි සේවය කරන්නෙ වසංගත රෝග විද්‍යා අංශයේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ. ඊට අමතරව නිරූපන ශිල්පිනියක්. ඒ අංශයෙන් කිරුළු කිහිපයක් ලබාගන්නත් සමත් වුණා. ඒත් එක්කම ගායනයට සහ රංගනයටත් සම්බන්ධවෙලා ඉන්නවා.

වෛද්‍යවරියක් ඇයි කලාව තෝරගන්නෙ?

කලාව කියන්නෙ පුංචි කාලෙ ඉඳන් මගේ ඇඟේ තිබුණු දෙයක්. ඒ නිසාම පාසල් කාලයේදිත් කලා කටයුතුවලට සම්බන්ධවෙලා හිටියා. මම පාසල් ගියේ මාතලේ Science college ඒ තුළ මම කලා කටයුතුවලට සම්බන්ධව වැඩ කළා. තූර්යවාදක කණ්ඩායමේ සහ සංගීත කණ්ඩායමේ හිටියා. නමුත් ඒ තුළ දිගටම රැඳෙන්න අවස්ථා ලැබුණෙ නැහැ මම ජීව විද්‍යාව හදාරපු නිසා. විශ්වවිද්‍යාල මට්ටමින් කලා කටයුතු කොහොමත් කරලා නැහැ. නමුත් කලාව සම්බන්ධ අත්දැකීම් ලබලා තියෙනවා. ඇත්තටම මම දැන් වෘත්තියෙන් වෛද්‍යවරියක් නිසා සමහර වෙලාවට Stressful life එකක් අපිට තියෙන්නෙ. ඒ දේවල් නැති කරගන්න ගොඩක් වෙලාවට භාවිතා කරන මාධ්‍යයක් තමයි කලාව කියන්නෙ. ගීතයක් අහද්දි ගායනා කරද්දි මනසට හරි නිදහසක් දැනෙනවානෙ ගොඩක් වෙලාවට. 

කලාව සහ වෛද්‍ය වෘත්තිය කියන්නෙ එකිනෙකට වෙනස් ක්ෂේත්‍රයන් දෙකක්. කොහොමද මේ අංශ දෙකේ වැඩ කටයුතු කළමනාකරණය කරගෙන යන්නෙ?

ඇත්තටම කාලය කළමනාකරණය කිරීම සම්බන්ධ ගැටලු තියෙනවා. නැත්තෙ නැහැ. නමුත් ඕනෑම දේකට අවශ්‍යතාවයක් තියෙනව නම් අපි වටා ඉන්න පිරිසගේ සහයෝගය ලැබෙනව නම් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. මම මේ සියලු දේත් එක්ක මේ වෙද්දි නීති විද්‍යා උපාධියත් හදාරමින් ඉන්නෙ. මම හැමදේම ඉගෙන ගන්න ඒ තුළින් අත්දැකීම් ලබාගන්න ගොඩක් කැමැති නිසා. ඒ නිසා මේ හැමදේම කරගෙන යන්නෙ මම හරිම ආසාවෙන්. විශේෂයෙන්ම වෛද්‍ය වෘත්තිය සහ කලාවට මම ආදරෙයි. මොකද ඒ වෘත්තින් දෙකම මිනිස් මනසට ඔසුවක්නෙ.

ධනු විජේරත්න