කලාවෙන් ඈත් වුනේ බබා නිසයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඩබ්. ජයසිරි ප්‍රවීණයා ප්‍රථම වරට අධ්‍යක්ෂණය කළ කොටස් අටකින් සමන්විත කෙටි  ටෙලි මාලාවක් වන ‘මුරුගසං’ මේ දිනවල ITN ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ විකාශය වෙනවා. මෙම ටෙලි නිර්මාණයෙහි රංගනයෙන් දායක වන කැළුම් ගම්ලත් ශිල්පිණිය එහි ‘යශෝ’ නමින් චරිතයට දායකව සිටින්නීය. මෙරට වේදිකා නාට්‍ය කලාවට අමුත්තියක නොවන කැළුම් ගම්ලත්, මෙලෙසින් රංගනයෙන් අපට හමුවන්නේ කලාතුරකිනි. ඒ හැරත් අපට සිටින ජ්‍යෙෂ්ඨතම කලාකරුවකු වන ඩබ්. ජයසිරි අධ්‍යක්ෂණය කළ මෙම ටෙලි නිර්මාණයේ රඟපෑම ඇය ලැබූ තවත් දුර්ලභ අවස්ථාවක් වන්නේය. 

කැළුම් කාලයකට පසුව නේද? 

අවුරුදු තුනකට විතර පසුව. 

අන්තිමට අපට හමුවුණේ? 

වේදිකාවේ නම් දිගටම වගේ හිටියා. ‘මං කෙළින් මිනිහෙක්’ නාට්‍යයේ පසුගිය දිනවල රඟපෑවා. ඒ විදියට තවත් නාට්‍යවල දිගටම හිටියා. 

කොහොමටත් කැළුම් ගම්ලත්, වේදිකාවෙන් රංගනයට ආ ශිල්පිනියක්නේ නේද? 

ඔව්. වේදිකාවෙන් තමයි. 

මේ වනවිට වේදිකා නාට්‍ය කීයක විතර රඟපාලා තියෙනවද? 

ප්‍රධාන වශයෙන් නිර්මාණය වූ නාට්‍ය විස්සකට වැඩියි. 

ඒවායින් වඩා ජනප්‍රිය නිර්මාණ කීපයක නම් සඳහන් කළොත්? 

කපිල කුමාර කාලිංගගෙ බැංකු වීරයා, හෙන්රි ජයසේන සූරීන්ගේ හුණුවටයේ කතාව, දයානන්ද ගුණවර්ධන සූරීන්ගේ බක්මහ අකුණු, ජයලත් මනෝරත්න සූරීන්ගේ, රාජිත දිසානායකගේ, අසංක සායක්කාර නාට්‍ය දක්වා රඟපෑවා. 

ඒ විදියට වේදිකාවේ දක්ෂ ශිල්පිනියක වුනත් වැඩි දෙනා කතාකරන්න පටන් ගත්තෙ ‘යූ ටියුබ්’ වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ඔබ කළ කී දේ නිසා නේද? ඇයි දැන් මේ විදියට දායක නොවන්නෙ? 

සිකාමයි ඇතුළු ඒ යූ ටියුබ් වැඩසටහන්වලින් ටික කාලයකට මම අයින් වුණේ මගේ පුද්ගලික හේතුවක් නිසයි. මොකද මට දැන් පුංචි බබෙක් ඉන්නවා. ඉතින් එයා ලැබෙන්න ඉන්න කාලයේදී මේ වැඩවලින් අයින්වෙන්න සිදුවුණා. දැන් බබා ටිකක් ලොකුයි. ගෙදර අයගෙ සපෝට් එකත් ලැබෙන නිසා මේ විදියට ඉඳහිට කලා කටයුතුවලට දායක වෙන්න අවස්ථාව ලැබී තිබෙනවා. 

ටෙලි නාට්‍යයක මේ විදියට රඟපාන්නෙ කොච්චර කාලයකට පසුවද? 

ප්‍රදීප් ධර්මදාස අයියගෙ වැඩකට 2019දී වගේ දායක වුණා. ඒක විකාශයට නියමිතයි. ඊට පස්සේ තමයි මේ විදියට ටෙලි නාට්‍යයක ආයෙත් රඟපාන්නේ. 

මුරුගසං, නාට්‍යයේ චරිතය ගැන එහෙම නම් කියමු? 

මේ චරිතයේ නම යශෝ. ඒ විදියට එක නමක් තිබුණට චරිත කීපයක් මුසුවූ රංගනයක් විකාශය වේවි. 

මේ නාට්‍යයේ කොටස් කීයද? ඇයි ඔබ කැමති වුණේ? 

කොටස් 8යි. රචනය විමල් කැටිපෙආරච්චිගෙ. ඩබ්. ජයසිරි අයියාව අපි දන්නෙ විශිෂ්ට රංගධරයෙක් විදියට. මේ චරිතය වෙනුවෙන් ජයසිරි අයියට මා ගැන කියලා තිබුණෙ ආලෝක සම්පත්. ඊට පස්සේ ජයසිරි අයියා කෝල් එකක් දීලා මේ චරිතය කරන්න පුළුවන්ද ඇහුවා. පිටපත බලමු කියලා මම කිව්වා. පිටපත පළවෙනි වතාවට කියවද්දී හරිම වෙනස්. චරිතය ඉබේම මැවී පෙනෙන තරමේ ප්‍රබල පිටපතක්. මට කියවන්න ලැබුණු විශිෂ්ට පිටපතක්. 

‘යසෝ’ගෙ චරිතය මොන වගේද? 

මෙහෙමයි කියලා හරියටම කියන්න බැහැ. ඒත් යශෝ කියන්නෙ තමුන්ගෙ ටාගට් වෙනුවෙන් එක් අරමුණක් ඇතිව ශක්තිමත්ව මුහුණ දෙන ප්‍රබල ගැහැණියක්. හොඳින්ද නරකින්ද කියන දේ ඇයට අදාළ නැහැ. ඇයගෙ ඉලක්කයට ප්ලෑන් එකට යන්න. 

කොහොමද ‘කැළුම්’ ප්‍රතිචාර?

කාලෙකට පස්සෙ කැළුම් ඇවිත් කියලා තමයි යාළුවෝ සහ දන්න අය නම් කියන්නෙ. කොහොමටත් මට දැනෙන පිටපතක් ලැබුණොත් ඉඳහිට මේ විදියට යමකට දායක වේවි. එහෙම නැතුව ‘බිසිම’ වෙන්න මට ඕනැත් නැහැ. මොකද ගෙදර වැඩත් තියෙනවනෙ. 

බිරිඳක, මවක, ගෘහණියක ලෙස ගෙවන ජිවිතය කොහොමද? 

හරිම සුන්දරයි. 

ඒ සුන්දරත්වයේ රහසට හේතුව? 

ජීවිතේ අභියෝගවලට මම කොහොමටත් ආසයි. අලුත් අත්දැකීම්වලට ආසයි. බිරිඳක්ව සිට ඊළඟට මවක් වුණාම එය වෙනමම අත්දැකීමක්. ඒ ගෙවන විදිය කලින් ප්ලෑන් කරන්න බැහැනෙ. ඒ නිසා දවසින් දවස අලුත් අත්දැකීම් ලබන්නෙ. ඒ ඒ  මොහොතට අනුව සියල්ල අලුත්නෙ. ඒ වෙනස් අලුත් අත්දැකීමට මම ආසයි. 

බොහෝ දෙනෙක් කියන්නෙ කැළුම්  කතා කරන විලාසය හරිම ලස්සනයි කියලයි. ඒ කතා කරන රිද්මය ගැන කැළුම්ට හිතෙන්නෙ කොහොමද? ඒක හිතලා කරන දෙයක්ද? 

ඒක මගෙ විදිය. මම එක දිගට කියවාගෙන යන කෙනෙක් නෙමෙයි.

පවුලේ සුරතලයට හැදුණ ළමයෙක්? 

පවුලේ බාලයා මම. ඔව් ඉතින් ඒ නිසා ඔක්කෝගෙම ආදරය එක්ක එහෙම වෙන්න ඇති. ඒත් ඒ කාලයේදී හුරතල් වගේම දඟ වැඩ සියල්ල කළ කෙනෙක්. ළමා කාලය ගෙවුණේ ඒ විදියටයි. 

යශෝගෙ චරිතයට ඔබගෙ සැබෑ චරිතය සමානද? 

යශෝ කියන්නෙ අර මම ඉස්සෙල්ලා කිව්ව විදියට හුරතල් දඟ චරිතයක් නෙවෙයි. මාස්ටර් ප්ලෑන් එකකට යන ගැහැණියක්. තමාගෙ අඩු වයසෙ ඉඳලම සියලු දේ ප්ලෑන් කළ කෙනෙක්. මොන විදියෙ කෙනෙක් වුනත් එයා එයාගෙ ප්ලෑන් එකට යන ගමන කඩා ගන්නෙ නැහැ. සෑම දෙයක්ම තමන්ගෙ අරමුණ වෙනුවෙන් මුසු කර ගත්ත කෙනෙක්. එහිදී එයාට බාධාවක් වන දේ අයින් කර ගෙන ඉස්සරහට යන චරිතයක්. 

මම කැමති අද ගෙවන දවස සතුටින් ගෙවන්න. කාටවත් කරදරයක් නැතුව දවස ගෙවන්න  සහ ජීවත් වෙන්න. සමහර විට ඒ විදියට නිතරම ගත කරන්න බැරි වෙන්න පුළුවන්. ඒත් නිතරම උත්සාහ ගන්නෙ කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න. තව කෙනෙකුට වදයක් නොවී  ඉන්න පුරුදු වුණොත් බොහෝ ප්‍රශ්නවලින් තොරව ජීවත් වෙන්න පුළුවන්. අපේ රටේ වුණත් ප්‍රශ්නවලට ගොඩාක් හේතුව අනෙක් අයට වදයක්වීම නිසයි. එහෙම නොවුවා නම් මේ රට මීට වඩා ලස්සන ප්‍රශ්න නැති රටක් වේවි. මට මෙහෙම වෙන්න ඕනෑය කියන ලොකු ප්ලෑන් එකක ජීවත්වන කෙනෙක් නෙවෙයි මම. සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න වටපිටාව සකස් කර ගන්න උත්සාහ ගන්න කෙනෙක්. මානසික නිදහස තමයි මට ප්‍රධානව වටින්නේ. සැමියා, බබා සහ ගෙදර අය එක්ක සතුටින් ජීවත්වන කෙනෙක්. 

සමාජ මාධ්‍ය ඔස්සේ ‘කැළුම්’ගෙ දෙයක් කිරීමේ අදහසක් නැද්ද? 

එහෙම සිතිවිල්ලක් තවම නැහැ. ඇත්තටම මට ෆේස්බුක් පේජ් එකක්වත් මේ දක්වා තිබුණෙ නැහැ. මේ ළඟකදී දවසක් හස්බන්ඩ් මට පේජ් එකක් හදලා දුන්නෙ. මොකද මාව හොයන අය ඔක්කෝම විස්තර එයාගෙන් අහන නිසා. මම දන්නෙ නැහැ ඇයි කියලා. ඒ දවස්වල ඉඳලම මම ෆේස්බුක් එකට එච්චර කැමති නැහැ. මිනිසුන්ගෙ කාලය කා දමන දෙයක් කියන හැඟීම මට තියෙන්නෙ. මගේ තියෙන හිතුවක්කාර කමටද කොහෙද ඒ අදහසක් නැති කර ගන්න කැමතිත් නැහැ. කොහොම වුනත් දැන් හස්බන්ඩ්  මේ පේජ් එක හදලා තියෙන්නෙ කලා ක්ෂේත්‍රයේ මාව හොයන අයට හොයාගන්න පහසු වෙන්න. හැබැයි මම ඉන්ස්ටර්ග්‍රෑම් ඉන්නවා. 

කැළුම්ට ලස්සනට ගයන්නත් පුළුවන්. 

ගයන්න පුළුවන්. හැබැයි ගයන්න බයම හස්බන්ඩ් ඉදිරියෙ. මොකද එයා සංගීත අංශයෙනේ. එයා නාට්‍යයක් බලන්න එහෙම එනවා කිව්වොත් එදාට මම මියුසික් රිහසල් කීපයක්ම කරනවා. සමහර නාට්‍යවල ගයන්නත් තියෙනවනෙ. එයාගෙ විෂය මියුසික් නිසා එයාට අඩුපාඩු පෙනෙනවා වැඩියි. ඒ නිසා වෙනදාට වඩා හොඳට කීප සැරයක්ම මම රිහසල් කරනවා. 

සංගීතයේ දී කැළුම් වඩා ප්‍රිය? 

මම ශාස්ත්‍රීය අංශයට වැඩිපුර නැඹුරුයි. විවිධත්වයෙන් ගීත අහනවා. මම හිතන්නෙ මම හොඳ සංගීත රසිකාවියක්. 

ඩබ්. ජයසිරිගෙ අධ්‍යක්ෂණය ගැන ඔබට කොහොමද හිතෙන්නෙ? 

ඒ ගැන නම් කතා කරන්නම ඕනෑ. ජයසිරි අයියව අපි දකින්නෙ නළුවකු විදියට සහ අත්දැකීම් ගොඩාක් තියෙන චරිතයක් විදියට සහ විශිෂ්ටම මනුෂ්‍යයකු විදියට. එයා අධ්‍යක්ෂවරයකු විදියට අපි දැනගෙන හිටියෙ නැහැ. ඒත් එයා අධ්‍යක්ෂණය කියන විෂයයට එද්දි සම්පූර්ණයෙන්ම ඊට සූදානම් වෙලා එන්නෙ ඒ ගැන පූර්ණ අදහසක් ඇතිවයි. සෑම රූප රාමුවක් දර්ශනයක් ගැනම සංකල්පයක්. අදහසක් ඇතිව තමයි දර්ශන තලයට ආවෙ. එයාගෙ අදහස, කළ යුතු විදිය ඉතාම සුහදව අපට කියා දුන්නෙ. එයා සතු ඒ අත්දැකීම් සම්භාරය එක්ක තමයි අපිව මෙහෙයවුවෙ. 

සඳුන් ගමගේ