ගිනස් පොතට ගිය මාලිනියට ලංකාවෙන් නාට්‍ය කීරිති සම්මානය
සරසවියට පැමිණි දෙවැනි දිනයේම නිළියක වීමට වරම් ලැබූ මාලිනී රණසිංහ කියන්නේ වාර පන්දහසකට වැඩි ගණනක් සුප්පාදේවියගේ චරිතයේ රඟපෑමෙන් ගිනස් පොතට ගිය වේදිකා නාට්‍ය නිළියක්.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍ය සමගින් රංගනයට අත්පොත් තැබූ මාලිනිය වේදිකාව වගේම ටෙලි නාට්‍ය සහ සිනමාවේත් තම රංගන කෞශල්‍යයන් විදහා දැක්වූ වග අපිට අමතක කරන්න බෑ.ඇගේ සැමියා වූ සිංහබාහු නාට්‍යයේ පොතේ ගුරාගේ චරිතය රඟපෑ ටෙරන්ස් රණසිංහ සමඟ ගිනස් වාර්තාවකට හිමිකම් කී මාලිනී මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේදී නාට්‍ය කීර්ති සම්මානයෙන් පිදුම් ලැබුවා.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනු මණ්ඩලය එක්ව සංවිධානය කළ 2025 පනස් දෙවැනි රාජ්‍ය නාට්‍ය උළේලේදී නාට්‍ය කලාවේ උන්නතිය සඳහා රංගන දායකත්වයක් දක්වන ලද නාට්‍යවේදීන් අගයමින් දේශීය නාට්‍ය කලාවේ ප්‍රගමනය හා උත්කර්ෂණය වෙනුවෙන් දැක්වූ දායකත්වය ප්‍රශංසනීයව අගයමින් ජීවිතයේ එක් වරක් පමණක් පුදනු ලබන නාට්‍ය කීර්ති සම්මානය තමයි ඇය වෙත පුද කරන ලද්දේ.
ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින මාලිනී රණසිංහ තම දියණිය වූ විශේෂඥ වෛද්‍ය කාංචන මාලා රණසිංහ සමග මෙම සම්මානය ලබා ගැනීම උදෙසාම ලංකාවට පැමිණියා.
"එදිරිවීර සරච්චන්ද්‍ර සිංහබාහු නාට්‍යයේ සුප්පාදේවියගේ චරිතයට කෙනෙක් හොයමින් ඉන්න කාලෙම තමයි මම පේරාදෙණිය සරසවියට ගිහින් තියෙන්නේ. සර් මට අඩගහනවා කියන පණිවිඩේ එදා අරගෙන ආව එක් තරුණයෙක් තමයි පසු කාලෙක මගේ පෙම්වතා සහ සැමියා වුණේ .
එදා සරච්චන්ද්‍ර සර් මුණගැහෙන්න ඒ පණිවිඩය අනුව මම සරච්චන්ද්‍ර සර් ළඟට යද්දී මාත් එක්ක සරසවියට ඇවිල්ලා එකට බෝඩිමේ හිටපු ළමයි ඔක්කොම මාත් එක්ක ආවා සර් ළඟට යන්න.ඇත්තටම මුල්ම කාලෙ මං ගෙදරටවත් කියන් නැතුව තමයි නාට්‍ය රඟපෑවේ.නාට්‍යයේ බොහෝ රාගතාල සරච්චන්ද්‍ර ඇදුරුතුමා නාඩගම් පිළිබඳ හසල දැනුමක් සහිත ගුරුන්නාන්සේලාගෙන් ලබාගෙන හදන ලද ඒවා සහ කීපයක් එච්.එච් බණ්ඩාර හදපුවා. නාට්‍යයේ සංගීතය වාදනය බණ්ඩාර කළ බව මං කිව්වේ
සිංහබාහු ආරම්භක යුගයේ. අපි නාට්‍යය එක්ක රට වටේ දුවන කාලේ සංගීත අධ්‍යක්ෂකවරුන් වුණේ ඉතා දිගු කලක් අප සමඟ සිටි විශාරද ජයන්ත අරවින්ද එච්.එච් විමලසේන, නන්දසේන කටුවාවල සහ පසු කලක එක් වූ විශාරද මහානාම වික්‍රමසිංහයි.නාඩගම් ශෛලියේ අත්‍යවශ්‍ය අංගයක් වූ නාඩගම් බෙර වාදනය ආම්පේ නෝමන් ගුරුන්නාන්සේ සහ අද දක්වා මේ කාර්ය ඉටුකරන ඔහුගේ පුතණුවන්, ඇත්තටම දිගු කාලයක් තිස්සේ ඔවුන් දැක්වූ මේ සහයෝගය වගේම අද වෙද්දි ලලිතා සරච්චන්ද්‍ර මැතිණිය නාට්‍ය තව දුරටත් රැගෙන යමින් කරන ලද සේවාව සහ කරන සේවාව මම ඉතාමත් ප්‍රශංසනීයව අගය කරනවා.ඒ වගේම තවදුරටත් ඒ කාර්යය කරගෙන යන්නට ශක්තිය ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම වසර විසි පහකට ආසන්න කාලයක් මා සමග රංගනයේ යෙදුන නිශ්ශංක දිද්දෙණිය සහ බුද්ධදාස ගලප්පත්ති කියන හිතවතුන් දෙදෙනත් මං ආදරයෙන්ම මතක් කරනවා."
නාට්‍ය කීර්ති සම්මානයෙන් පුද ලද මාලිනිය නැවතත් ඔස්ට්‍රේලියාව බලා ගියත් ඇය ශ්‍රී ලාංකික නාට්‍ය කලාවට සිදු කරන සේවය කිසිසේත්ම අපට අමතක වෙන්නේ නැහැ.
සාරවිට සුභ පැතුම් ඇයට ඒ වෙනුවෙන්.




