ජනප්‍රිය වැඩසටහන් රැසකම පසුබිම් වාදන ශිල්පියා වූ කසුන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කුඩා කාලයේ සිටම සිය පියාගේ අඩිපාරේ යමින් වාදන ශිල්පියෙකු බවට පත් වූ කසුන් විශ්වනාත් සමගින් මෙවර අප කතා බහා කළා. දැනට OCEAN නමින් සංගීත කණ්ඩායමක්ද පවත්වාගෙන යන කසුන් වර්තමානය වනවිට ලංකාවේ ජනප්‍රියම රූපවාහිනි නාළිකාවක් වන හිරු රූපවාහිනි නාළිකාවේ සංගීතමය වැඩසටහන් කිහිපයකම පසුබිම් වාදන ශිල්පියා ලෙසද කටයුතු කරමින් සිටියි.

මම සංගීත ක්ෂේත්‍රයට එන්නේ මට වයස අවුරුදු දොළහේදී. ඒ මගේම පියාගේ සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා විදිහට කටයුතු කරමින්. නමුත්, ඊට පෙර මම වයස අවුරුදු නමයේදී ස්වාධින රූපවාහිනි නාළිකාව සංවිධානය කළ සංගීතමය වැඩසටහනක පසුබිම් වාදන ශිල්පියෙකු ලෙස කටයුතු කළා. ඔය විදිහට තමයි මම සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.

ඉන් අනතුරුව දිගින් දිගටම ළමා වාද්‍ය ශිල්පියෙකු ලෙස කටයුතු කල විශ්වනාත් 2013 වසරේ සිට මේ දක්වා හිරු රූපවාහිනි නාළිකාව සමග සම්බන්ධව සිටියි. දැනට ඔහු හිරු රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන වින්දනීය උදෑසන ඇතුළු වැඩසටහන් කිහිපයකම පසුබිම් වාදන ශිල්පියා ලෙස කටයුතු කරමින් සිටියි. හිරුයි තරුයි හා ටෝක් විත් බන්දු යන වැඩසටහන්ද කසුන් වාදන ශිල්පියෙකු වූ විශේෂිත වැඩසටහන්ද වෙයි. මේ දිනවල බොහෝ පිරිසක් අතර ජනප්‍රිය රූපවාහිනි වැඩසටහනක් වන හවුස්ෆුල් හිද සංගීත සපයන්නේ කසුන්ය.
දැනට මම මගේම කියලා සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. ඒ OCEAN සංගීත කණ්ඩායම. මේක හැදුවේ මගේ පියා. නමුත්, දැන් මේ සංගීත කණ්ඩයම මගේ නායකත්වයෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු සමගින් පවත්වා ගෙන යනවා. ඒ වගේම මම සංගීත ශිල්පියෙක් විදිහට ලංකාවේ ජනප්‍රිය ගායක, ගායිකාවන් සමග අවස්ථා කිහිපයකදීම විදේශයන් හිපැවති සංගීත ප්‍රසංග සඳහාත් දායක වෙලා තියෙනවා.

සංගීත ක්ෂේත්‍රය තුළ නිතරම වෙනසක් කරන්නට උත්සාහ කරන තරුණයෙකු වන කසුන් විශ්වනාත් අවසානයේ අපට පැවසුවේ තම පියා ඇතුළු බොහෝ පිරිසක් තමාට මේ ගමන එන්නට උදව් උපකාර කළ බවය. එමෙන්ම ඔවුන් සැමට සිය කෘතවේදිත්වයද පළ කළ කසුන් ඉදිරියේදී තමන්ගේම නව නිර්මාණ බොහෝමයක් එළිදක්වන්නට සුදානමින් සිටින බව අපට පැවසීය.

බුද්ධික සේනාධීර