ඩකා ඇගයූ රහස් කියන කඳු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මල් උයන කොතරම් විසල් වුවද, මල් පිපෙන්නේ කලාතුරකින් වුවද, සොඳුරු සිත් ඇත්තවුන්ට ඒ මල් මගහැර යා නොහැකිය. ශ්‍රී ලාංකික සිනමා පටයකට ජාත්‍යන්තර ඇගයීමක් හිමිවන අවස්ථාව සුලභ නොවෙයි. එබැවින්ම එවන් අවස්ථාවක් මගහැර යාම සිනමා රසිකයකුට ද තරම් නොවේ. ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ "රහස් කියන කඳු" සිනමා සිත්තම පසුගියදා දෙවැනි වරටත් කීර්තිමත් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබීය.

ඒ අනුව 22 වැනි ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය රහස් කියන කඳු වෙනුවෙන් ජගත් මනුවර්ණ හිමිකර ගත්තේය. ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල (Dhaka International Film Festival - DIFF) යනු බංගලාදේශයේ ඩකා නගරයේ පැවැත්වෙන ද්විවාර්ෂික සිනමා උළෙලකි. 1992 දී ඇරඹුණු මෙම සිනමා උළෙල 1995 සිට ද්විවාර්ෂික සිනමා සැණකෙළියක් ලෙස නම් කරනු ලැබීය. මෙම සිනමා උළෙල බංගලාදේශයේ ප්‍රමුඛතම කීර්තිමත්ම සිනමා උළෙල ලෙස හඳුන්වනු ලබයි.

මෙවර ඩකා සම්මාන උළෙල වෙනුවෙන් සිනමා පට 253 ක් පමණ ප්‍රදර්ශනය කෙරුණි. මෙම සිනමා පට අතර බංගලාදේශ සිනමාපටවලට අමතරව, ඉන්දීය, ඉරාන, තුර්කි සිනමා පට මෙන්ම රුසියව, ජර්මනිය, දකුණු කොරියාව, ප්‍රංශය ආදී රටවල් රැසක සිනමාපට අන්තර්ගත විය. ජගත් මනුවර්ණගේ රහස් කියන කඳු සම්මානයට පාත්‍ර වූයේ ඒක වර්ණිත සිනමා පට රුසක් අතුරෙනි. එනිසාවෙන්ම මෙම සම්මානය ජගත් මනුවර්ණ නම් කුළුඳුල් අධ්‍යක්ෂකවරයාගේ සැබෑ සිනමා ප්‍රතිභාව ශ්‍රී ලාංකික සිනමා වංශය තුළ සලකුණු කරන බව සටහන් කළ යුතුමය.

රහස් කියන කඳු සිනමා නිර්මාණය ලෝකයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සිනමා උළෙල රුසක් නියෝජනය කිරීමට මේ වන විටත් සමත්ව හමාරය. ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයකදීම රහස් කියන කඳු ඇගයීමට ලක්විය. ඒ අතරින් 52 වැනි රොටර් ’ඩෑම් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ‘හොඳම ආසියානු චිත්‍රපටය’ වෙනුවෙන් පිදෙන NETPAC සම්මානය රහස් කියන කඳු හිමිකර ගත්තේය. එය මෙම සිනමාපටය සම්බන්ධ තවත් සංධිස්ථානයකි.

ජගත් මනුවර්ණ යනු රටම හඳුනන ප්‍රතිභාපූර්ණ රංගධරයෙකි. මෙවන් මොහොතක ඔහුගේ ජීවන වෘතාන්තය ද සැකෙවින් හෝ ලියා තැබිය යුතුය. රහස් කියන කඳු තැනූ මනුවර්ණ ද කඳුකරයේ උපන්නෙකි. අසූව දශකයේ මුල මහනුවර උපන් ඔහු මහනුවර දෙල්තොට මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ බව කියැවේ. මනුවර්ණ කොළඹ ටවර් හෝල් නාට්‍ය පාසලේ ශිෂ්‍යයෙක්ව රංගනය හදාරා ඇති බව ඔහු පිළිබඳ ලියැවුණු සටහන් අතර දැකගත හැකි විය.

ඒ අනුව  2003 වසරේ දී ඔහු වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ලෙස ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට සම්බන්ධ වී තිබේ. ජගත් මනුවර්ණගේ රංග භූමිකාව පර් යේෂණාත්මක එකක් වූ බව පැහැදිලිය. එම නිසාම 2009 වසරේ ‘සුමති රූපවාහිනී සම්මාන’ සහ 2011 වසරේ ‘රයිගම් ටෙලි’ යන ජාතික තලයේ සම්මාන උළෙලවල් දෙකක දී ‘හොඳම නැගී එන නළුවා’ සඳහා වන සම්මානය ඔහු දිනාගැනීමට සමත් විය.

චලන රූපය මත සිය හැඩතල නිර්මාණය කිරීමට මෙම නිර්මාණවේදියා නොයෙක් වර උත්සාහ දරා තිබේ. එහිදී ද ඔහු ඇගයුමට ලක් විය. ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ සිය මංගල කෙටි චිත්‍රපටය වන “ගින්දර පොඩ්ඩක් (Speck of Fire)” චිත්‍රපටය 2006 වසරේ ශ්‍රී ලංකාවේ ගරිල්ලා චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය බවට පත්විය. එසේම ඔහුගේ තවත් කෙටි චිත්‍රපට දෙකක් වන ‘ද ඩාර්ක් ෆෝල්’ සහ ‘වෝටර් ලිලී’ යන කෙටි චිත්‍රපට ද කෙටි චිත්‍රපට උළෙලවලදී සම්මානයට පාත්‍ර වී තිබේ.

“කොඩි ගහ යට" ජගත් මනුවර්ණ නමින් ලියැවී ඇති තවත් සුවිශේෂී ටෙලි සලකුණකි. ඉකුත් වසර මුළුමනින්ම කම්පනය කිරීමට සමත් වූ මෙම ටෙලිනාට්‍ය ජගත් මනුවර්ණගේ ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂණය පිළිබිඹු කළ තවත් සුවිශේෂී අවස්ථාවක් විය. 

මේ අනුව මනුවර්ණගේ සිනමාගමනය හුදු අහම්බයක් නොවන බවත්, ඔහු පිටුපස විශාල හැදෑරීම් සමුදායක් ඇති බවත් පැහැදිලි වේ. සාමාන්‍යයෙන් ලාංකික සිනමාවේ එතරම් දැකගත නොහැකි පොලිටිකල් – ත්‍රිලර් ශානරයේ සිනමාන්තික අත්දැකීමක් රසිකයා වෙත තිළිණ කිරීමේ අභියෝගය ඔහු තමා වෙත පවරාගත්තේ එම හැදෑරීම කරණ කොටගෙන විය යුතුය. මෙම සිනමා පටය ශ්‍රී ලංකාවේ එක්තරා දේශපාලන යුගයක සංවේදනාවන් පිළිඹිබු කරයි. එහෙත් එය ඉතා සංයමයෙන් නිරූපණය කිරීමේ සමත්කම මනුවර්ණ තුළ දැකගත හැකි විය. ඔහු සිය කුළුඳුල් සිනමා පටයේ ප්‍රධාන භූමිකාවට පණ දුන්නේ සිය සිතැඟි චිත්තරූප යථාර්ථයක් කිරීමේ අරමුණ පෙරදැරිව විය යුතුය. 

සිනමා පටයේ අන්තර්ගත කතාව පිළිබඳ පොදු අදහස මෙසේ සටහන් කළ හැකිය. රහස් කියන කඳු (Whispering Mountains) චිත්‍රපටයට පාදක වන්නේ ලැව්ගින්නක් මෙන් ලංකාව පුරා පැතිර යන අද්භූත වෛරසයක් සහ ඊට ගොදුරු වන සිය ගණනක් තරුණ තරුණියන්ගේ මරණ මතින්, එවකට ලාංකික රජය ගෙන යන කූඨ උපක්‍රමයක් ගැන කතා පුවතකි. 

රජයට එරෙහිව විරෝධතා ගෙන යන තරුණයන් සහ විරෝධතාකරුවන්ව මර්දනය කිරීමටත්, ඔවුන්ව මරා දැමීමටත් ආණ්ඩුවේ පාලන බලය සහ ආරක්ෂක අංශවල නියෝජිතයන් උපයෝගී කරගෙන කූඨ සැලසුමක් ක්‍රියාත්මක කරයි. එහෙත් එක් තරුණයෙක් සිය මරණයෙන් ගැලවී පලා යාමට සමත් වීමත් සමඟ ආණ්ඩුවේ ආරක්ෂක අංශ ඔහු පසුපස හඹා යාමට සිදුවේ. සිනමා පටයේ ගලා යාම සිදුවන්නේ මෙම සිදුවීම පාදක කර ගනිමිනි.

රටක් ලෙස අප පසුකර දැමූ බිහිසුණු යුගයක් පිළිබඳ කම්පන සහගත හැඟීම් සමුදායක් මෙම නිර්මාණය තුළින් නැවත ජනගත කරනු ලබයි. ජගත් මනුවර්ණගේ දේශපාලන හැඩය ද මෙම නිර්මාණය මත තැවරී ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුය. එහෙත් එය නිර්මාණයට හානිකර නොවූ අතර නිර්මාණයේ සාර්ථකත්වය උදෙසා හේතු විය. රහස් කියන කඳු දෙබස් සහ තිර පිටපත ද ලියා ඇත්තේ ජගත් මනුවර්ණ – නාමල් ජයසිංහ එකතුවෙනි. නාමල් ජයසිංහ ද මනුවර්ණ මෙන්ම වෙනස්ම දැක්මක් සහිත ප්‍රතිභාපූර්ණ නිර්මාණවේදියෙකි. ඔහුගේ නිර්මාණ හැඩතල ද මේ නිර්මාණය මත තැවරී තිබේ.

රහස් කියන කඳු (Whispering Mountains) චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සුනිල් ටී. ප්‍රනාන්දු, නිර්මාණ බණ්ඩාර, චන්න දේශප්‍රිය සහ රසිත ජිනසේන සුසංයෝගයෙනි. සැබැවින්ම මෙවන් වූ නිර්මාණයක් නිෂ්පාදනය කිරීම සඳහා වූ අභියෝගය භාරගැනීම පිළිබඳ රසික පර්ෂදය වෙනුවෙන් අප ඔවුනට ස්තූතිවන්ත විය යුතුය. 

ජගත් මනුවර්ණට අමතරව ප්‍රියන්ත සිරිකුමාර, සරත් කොතලාවල, ධර්මප්‍රිය ඩයස්, චමින්ද සම්පත් ජයවීර, කලණ ගුණසේකර, ආනන්ද කුමාර උන්නැහේ, නිමල් පල්ලෙවත්ත, නලින් ලුසේනා, චමින්ද පුෂ්පකුමාර, සමන්ත පරණලියනගේ, ගාමිණී ජයරත්න, ශ්‍රීමාල් වෙඩිසිංහ සමඟින් මාදනී මල්වත්ත වැනි විශිෂ්ට රංගධරයන් මෙම නිර්මාණය සාර්ථක කර ගැනීම සඳහා සිය උපරිමය ලබා දී තිබේ.

“රහස් කියන කඳු" ජගත් මනුවර්ණගේ සිනමා පෙළහරේ ඇරඹුම වනු ඇත. ඔහුට තවත් රූපණ පෙළහැර පෑමට ඉතිරිව ඇති අවස්ථා බොහෝය. මේ ශ්‍රී ලාංකික සිනමාවේ අනාගතය කෙරෙහි ජවසම්පන්න අධ්‍යක්ෂවරුන්ගේ අවශ්‍යතාවය තදින් දැනෙන මොහොතකි.

I චමිඳු නිසල් ද සිල්වා