ම අවුරුද්දකට විතර එංගලන්තයට යනවා කිව්වාම, සුනිල් අයියා වගේම ජිප්සීස් කණ්ඩායමම දුක්වුණා
ජිප්සීස්, සංගීත කණ්ඩායම ගැන කතා කිරීමේ දී, සුනිල් පෙරේරා ප්‍රවීනයාගෙන් තොරව කතා කළ නොහැක්කේ ගහට පොත්ත මෙන් ජිප්පීස් කණ්ඩායම හා ඔහු බැඳී සිටි නිසයි. දිවයිනේ සාර්ථකම සංගීත කණ්ඩායම ලෙස ජිප්සීස්ලා දශක කීපයක් එක හා සමාන ජනප්‍රියත්වයක් ලබමින්, වැජඹීමට හේතුවත්, සුනිල් පෙරේරා ශිල්පියාණන් නිසා යැයි සඳහන් කළ හැකිය. එහෙත් ආදරණීය සුනිල් අයියා අද අප අතර නැත. සුනිල් අයියා නොමැති ජිප්සීස් සංගීත කණ්ඩායමේ හෙට දවස, කොහොම වේවි ද? ජිප්සීස් එක්ක තිබූ සබඳතාවයට වඩා ශක්තිමත් සබඳතාවයක් සුනිල් අයියා සහ පියල් මල්ලී අතර පැවතියේය. ඉතින් අද සුනිල් අයියා නැතිව, පියල් මල්ලි ජිප්සීස් දිගටම පවත්වාගෙන යාවි ද? මේ කතා බහට පියල් ඒ සියලු විස්තර අපට කියාවි.
පියල් අපට මුලින්ම කියන්න එදා ඔබ ජිප්සීස් එක්ක එක් නොවුයේ නම් මොන වගේ රැකියාවක් කරන්න තිබුණ ද?
ඒක හරිම අමාරුයි කියන්න. මොකද මම හොඳට ඉගෙන ගත්තෙත් නැහැ. ඕලෙවල් කරන කාලයේදීම තමයි තාත්තා මාව බෑන්ඩ් එකට ඇදලා ගත්තෙ. වයස 16 දී ජීවිතයෙ කොහාට ද යන්න ඕනෑ කියලා හිතෙන්නෙත් නැහැනෙ. ඒ වන විට අපේ ජිප්සීස් බෑන්ඩ් එකත් තිබුණානෙ. ඒ නිසා පොඩි කාලයේ ඉඳලාම මගේ ජීවිතය ගෙවෙන්න පටන් ගත්තෙත් ජිප්සීස්ලා එක්කයි.
කළ කී දේ එක්ක, අතීතයේ දී සුනිල් අයියා ගැන වූ මතක අතරින් ඔබට මුලින්ම මතකයට එන සිදුවීමක් සිහිපත් කළොත්?
පොඩි කාලයේ ඉඳලම මම එයාගෙන් දුටුව දේ තමයි, ස්වාධීනව තීරණ ගැනීමේ හැකියාව. ඒ වගේම යල් පැන ගිය දේ වෙනුවට එයා නිතරම අලුත් විදියට හිතුවෙ. කවුරු හරි කිව්වොත් ඒක වැරදියි, වෙලාව හරි නැහැ, දවස හොඳ නැහැ කියලා. ඒ වගේ වෙලාවල දී එයා කළේම බොහෝ දෙනා වැරදියි කියලා කිව්ව දේවල්මයි. තාත්තා එක්ක වුණත් අසාධාරණයට එරෙහිව කතා කළා. පොඩි කාලයේ දී පවා එයා අභියෝගවලට මුහුණ දුන්නෙ අභියෝග කරමින්, අපි ක්‍රිකට් ගහද්දි, එයා බෝල් කරද්දි, පුළුවන් නම් හයක් ගහපං කියලා තමයි බෝල් කළේ. එහෙම නැතුව නිකම්ම පන්දු යැව්වෙ නැහැ. බැට් කරද්දිත් එහෙමයි. ඉඳපං හයක් ගහනවාමයි කියලා ඒ අභියෝගය ගත්තා. බොහොම ශක්තිමත් අධිෂ්ඨානයක් තිබුණ චරිතයක්.
ඔය සහෝදරයො ටික එකතුවෙලා එදා ක්‍රිකට් ගහපු හැටි කියන්නකො?
ලෙදර් බෝල් නම් නෙවෙයි අපි ගැහුවෙ. ලෙදර් බෝල් කියද්දිත් බය වුණා. අපි ගැහුවෙ සැහැල්ලු පන්දු ක්‍රිකට්. අපේ පවුලේ කොල්ලො පහක් හිටියා. බාප්පලාගෙ ගෙදර කොල්ලො 3 යි, එතකොට අපට නෑදෑ අය එක්ක කොල්ලො දොළහක් දාසයක් විතර හිටියා. අපි එකතු වෙලා ගාල්ලෙ, බේරුවල ඔය වගේ දුර ගිහිල්ලත් මැච් ගැහුවා.

සුනිල් අයියා දක්ෂ වුණේ බෝල් කරන්න ද? බැට් කරන්න ද?
මම කිව්වනෙ එයා ඕනෑම දෙයකට ඔට්ටුයි කියලා. බෝල් කරන්න ගියාම හයක් නොදෙන විදියට බෝල් කළා. බැට් කරද්දි, එයාට හයක් ගහන්න ඕනෑම නම්, කොහොම හරි ඒකත් කළා. අවුට් නොවී විකට් එක දෙන්නෙ නැහැ කියලා හිතුවොත්, තට්ටු දදා අපිව හෙම්බත් කළා. හැමදාම ඉස්කෝලෙ ගිහින් ඇවිත් හවස හතර විතර වෙනකොට ගේ ඉස්සරහා ක්‍රිකට් ගහන්න ඔක්කෝමලා එක්වුණා. දන්නවනෙ ඉතින් සැරටම ක්‍රිකට් ගහද්දි ඉතින් මරා ගත්තෙ නැති එක විතරයි. කොල්ලො සෙට් එකක්නෙ.
පියල්ගෙ ලව් එකටත් සුනිල් අයියා උදවු කරන්න ඇති?
ලව් එකට කෙසේ වෙතත්, විවාහ වෙලා, මම අවුරුද්දකට විතර එංගලන්තයට යනවා කිව්වාම, සුනිල් අයියා වගේම ජිප්සීස් කණ්ඩායමම දුක්වුණා. එතකොට මගේ වයිෆ්ගෙ පවුලම හිටියෙ එංගලන්තයෙ. ඉතින් විවාහවෙලා වයිෆ් එක්ක මම එංගලන්තයට ගියා. ඊට පෙර මම සහභාගිවූ අන්තිම ෂෝ එක ඉවරවුණාට පස්සෙ මට මතකයි මම යන දුකට සුනිල් අයියා ඇඬුවා. ඒ වගේ බැඳීමක් එදා ඉඳලම තිබුණෙ.
හරි, පියල් අපි අද දවස ගැන කතා කරමු, සුනිල් අයියා නැති ජිප්සීස්ලගෙ හෙට දවස කොහොම වේවිද? සුනිල් අයියා ඒ ගැනත් ප්ලෑන් කරල ද තිබුණෙ? සුනිල් අයියා නැති ජිප්සීස් පියල් මල්ලි කරගෙන යන්නෙ කොහොම ද ?
සුනිල් අයියා නැතිවෙච්ච හැටියෙ, මට මුලින්ම මනසට ආවේ බෑන්ඩ් එක නවත්වනවා කියන එකයි. සුනිල් අයියා නැතුව මේක කරගෙන යන්න බැහැ කියන මතයෙ මම සිටිය දී, බොහෝ දෙනා මට කෝල් කරන්න පටන් ගත්තා. කෝල් කරලා කිව්වෙ, දිගටම ජිප්සීස් පවත්වාගෙන යන්න කියලයි. අපි ඔක්කෝම සපෝට් එක දෙනවා කියලා ඒ ඔක්කෝම මට කිව්වා. ඔන්න එතකොට තමයි මට හිතුණෙ ඔව් මම ජිප්සීස් කණ්ඩායම පවත්වාගෙන යනවාය කියලා. හැබැයි සුනිල් අයියා නැති අඩුව අපට පුරවන්න බැහැ. ඒ වෙනුවට ආදේශ කරන්න කවුරුවත් ගන්නෙත් නැහැ. මොකද සුනිල් අයියා කියන්නෙ යුනික් කැරැක්ටර් එකක්. එයාට ආදේශ තවත් නැහැ. ඒ අඩුපාඩුව මකන්න තව කෙනෙකුට බැහැ. සුනිල් අයියා ගැයූ ගීත අපි ගයාවි. ඒත් සිඤ්ෙඤා්රේ, සුදු නෝනේ වගේ ගීත නම් අපට ගයන්න බැරිවේවි. සුනිල් අයියා ඒවා කළේ එයාටම ආවේනික විදියටනෙ. ඒ නිසා අපි අලුත් මාර්ගයක් ඔස්සේ යන්න සූදානම් වෙනවා. අපේ අලුත් සිංදු වගේම සුනිල් අයියා ගැයූ අලුත් නිර්මාණ දෙක තුනක් තියෙනවා. ඒවාත් එළිදක්වන්න සූදානම් වෙනවා.
එයා නැතිවූ දවසක ජිප්සීස් යන්න ඕනෑ ගමන ගැන එයා එහෙම කියලා තිබුණෙ නැහැ. හැබැයි, එක්තරා සාකච්ඡාවක දී එයා කියලා තිබුණෙ මම නැති දවසක පියල් අතේ තමයි ඒ වැඩේ තියෙන්නෙ කියලයි. එයා මොනවා කරාවිද කියලා මම එයාගෙන් තවම අහලවත් නැහැ කියලා සුනිල් අයියා ඒ ඉන්ටර්විව් එකේදි කියලා තිබුණා. එදා සුනිල් අයියා මගෙන් ඇහුවා නම් මම කියන්නෙ බෑන්ඩ් එක නවත්වනවා කියලයි. මොකද මේ විදිහට සුනිල් අයියා මියයාවි කියලා අපි කවුරුවත් හිතන්නෙ නැහැනෙ. කොහොම වුණත් අද මට සුනිල් අයියා නැතුව ජිප්සීස්ලා ගෙනයාම ලොකු අභියෝගයක්. ඒත් සුනිල් අයියාට වගේම ජිප්සීස්ලාට ආදරය කරන බොහෝදෙනා නිසා මට ලොකු ධෛර්යයක්, ශක්තියක් ලැබී තිබෙනවා. ඒ නිසා අලුත් ආරකින් ජිප්සීස්ලා දිගටම පවත්වාගෙන යාමට මම උපරිම කැපවීම කරනවා. හැබැයි සුනිල් අයියා කළ දේ අපට කරන්න නම් බැරිවේවි. හැබැයි එයාට අපේ හැඩය එක්ක ගෞරවයක් ඇතිවන විදියට අපට යමක් කරන්න පුළුවන් වේවි.

එහෙම නම්, ඒ සුබ පණිවුඩය එක්ක, පියල් අපි කැමතියි දැනගන්න, එදා සුනිල් අයියා ගැයූ ගී අතරින්, ඔබට එකවර මිමෙනන ගීතය මොකක්ද?
සුනිල් අයියාගෙ ගීත අතරින්, වගේම ජිප්සීස් කණ්ඩායමේ ගීත අතරින් මම වැඩියෙන්ම ආසා කරන්නෙ ඔබ ළඟින් ඉන්නම් (නිලුපුල් සුවඳ උරා එන පවන් රොද පාවෙලා) මේ වසර 50 ක ජිප්සීස් අතීතයේ මගේ ප්‍රියතම ගීතය ඒක. සුනිල් අයියා වගේ නැතත්, ඒ ගීත ජිප්සීස් ප්‍රසංගවලදී ඉදිරියේ දී මම ගයාවි.
සුනිල් අයියා ගැන දන්නා නමුත්, පියල් කවුද කියලා සමහර විට සමහර අය දන්නෙ නැතුව ඇති. පියල් ඔබට ඔබ ගැන හිතෙන්නෙ කොහොමද?
මට ඉතින් මගේ ගැන කියන්න බැහැ. ඒත් අපේ පවුලේ අය වගේම, හිත මිතුරන් බොහෝ විට මට කියන්නෙ සාම විනිසුරු කියලයි. මොකද ඕනෑම ප්‍රශ්නයක් ආවාම, ඒක සාමයෙන් විසඳන්න මැදිහත් වෙන්නෙ මූලික වෙන්නෙ මම. හතළිහක් විතර ඉන්න ලොකු පවුලක්නෙ. ඒ වගේම සුනිල් අයියයි මායි ගත්තොත් අපි දෙන්නගෙ අදහස් බොහෝ වෙලාවට එක හා සමානයි. එහෙම නැත්නම් ජීවිතේ වසර 40 කට වඩා අපි දෙන්නා ඉතාම ශක්තිමත් බැඳීමකින් එන්නෙ නැහැනෙ. සුනිල් අයියා නැතිවුණාම මම තනියම කල්පනා කරලා බැලුවා. වසර 45 ක කාලයේදි, දවසක් හැර දවසක්වත් අපි දෙන්නා හමුවුණා. එච්චර කල් ආ ඒ සහෝදර ගමනේදී අපි දෙන්නා අතර කවදාවත් ප්‍රශ්න ඇතිවෙලා නැහැ. ඒක ඇත්තටම පුදුම දෙයක්. ඒ විදියට ප්‍රශ්න ඇති නොවුණේ, ප්‍රශ්න නැතිවුණේ, ප්‍රශ්න අඩු වුණේ, සුනිල් අයියා දාලා තිබුණු අඩිතාලම නිසයි. එයාගෙ නායකත්වය නිසයි. අපි දෙන්නා අතර වූ සාමය වෙනුවෙන් සුනිල් අයියා බොහෝ දේ කළා. මුදල් හම්බ කිරීමේදී පවා සුනිල් අයියා කිසිම දවසක ලෝභ වුණේ නැහැ. ඒක හැමෝම දන්නා දෙයක්. ජිප්සීස් බෑන්ඩ් එකේ වැඩවලට වඩා එයා දැන්වීම් සහ විවිධ බාහිර ප්‍රසංග වලින් සෑහෙන මුදලක් ඉපයුවා. හැබැයි එයා තනියම ගිහින් හම්බ කරපු ඒවාගෙන් සියයට පනහක් මට දුන්නා. මෙන්න මල්ලි ඔයාගෙ කොටස කියලා. වතාවක මම නෝනා එක්ක මාසයක විතර එතෙර සංචාරයක් ගිහින් හිටියා. මම ආවාට පස්සෙ, මෙන්න මල්ලි ඔයාගෙ කොටස කියලා මට චෙක් එකක් දුන්නා. මම මේ ජින්ගල් එකක්, දැන්වීමක් සහ තව පොඩි පොඩි වැඩ ටිකක් කළා. මේ ඔයාගෙ කොටස කියලා සුනිල් අයියා මට දීපු ඒ චෙක් එක ලක්ෂ කීපයක එකක්. මම ගෙදර චූන් එකේ කාලා බීලා නිදි. හැබැයි සුනිල් අයියා තනියම ගිහින් මහන්සිවෙලා කළ වැඩවල දී ලැබෙන මුදලින් මට භාගයක් දුන්නා. ඒකයි මම කිව්වෙ අපේ සහෝදර බැඳීම වෙනුවෙන් සුනිල් අයියා දාපු අඩිතාලම නිසයි. ඇත්තෙන්ම මේ වගේ සහෝදරයන් ලෝකෙ නැහැ. මුදල් වැඩිපුර දීමට මිනිස්සු ලෝබයි. මල්ලි මේ ලෝකෙ ඔක්කොම ප්‍රශ්න තියෙන්නෙ සල්ලි නිසා, ඒ නිසා අපි ඒකට කෑදර වෙන්න ඕනෙ නැහැ කියලා. මම කියන්නෙ නැහැ අපි හැමෝටම සුනිල් අයියා වගේ වෙන්න පුළුවන් කියලා? ඒත් ඒ සුනිල් අයියා සතුවූ නිර්ලෝභීත්වය නිසා තමයි ජිප්සීස්ලා මෙච්චර දුර ගමනක් ආවෙ.
සඳුන් ගමගේ



