මඟුලේ ඔත්තුව දුන්නෙ රූපවාහිනීයෙන්ලු

  • 22-07-2026

එක එක විදිහට ගැටගැහිච්ච ආදර කතන්දර තියෙනවානෙ.මේකත් එහෙම ආදර කතාවක්.මේ ආදර කතාවෙන් අපිට ඒත්තු ගිය අනික් කතන්දරේ තමයි ජැක්සන් ඇන්තනී කියන අපිට අහිමි වුණු සකල කලා සක්විතිගෙ මලයණ්ඩි කියන්නෙත් රහට බරට ලියන්න පුළුවන් ලේඛකයෙක් විත්තිය.වැඩි කතා ඕනෙ නෑ එහෙනම් කියවමුද ....ඈහ්..


රූපවාහිනිය හරහා තම දෙමව්පියන්ට තමුන්ගේ අනාගත සහකාරි ගැන ඔත්තුව දීපු එකම නළුවා කොන්ගනීගේ ජෝශප් මැල්සි ජැක්සන් ඇන්තනී විය යුතුයි.


මේ කතාව හරිම රහයි,බරයි.
මගේ මතකය නිවැරදි නම් මේ හැත්තෑව දශකයේ අවසාන කාර්තුව විය යුතුයි.
එවක අපේ පොඩි අයිය සෑහෙන්න ජනප්‍රියයි.
පළිගු මැණිකෙ,තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා, රූපවාහිනියේ ආයුබෝවන් වැනි විවිධ දෑ තුලින් විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා සිටි අවධියක්.
මේ වෙනකොට පොඩි අයිය කොළඹ විශ්වවිද්‍යාලයේත් කැපී පෙනෙන ශිෂ්‍යයෙක්. 
මීට ටික කාලෙකට කලින් එයාගේ "මචන්" වෙච්ච කුමාරි අක්ක ( Kumari Munasinghe ) එක්ක දැඩි ආදර සම්බන්දයක් පටන් අරන්.
(ඒ කාලෙ ඉදන් පොඩි අයිය සියල්ල මාත් එක්ක කියනව)

ඒත් ප්‍රශ්නෙට තියෙන්නෙ දෙපාර්ශ්වයේම දෙමව්පියෝ මේ සම්බන්දෙට විරුධයි.
එකම හේතුව උපන් ආගම.
අපි උග්‍ර කතෝලික වගේම අනිත් පැත්ත උග්‍ර බෞද්ධ.

ඒත් ප්‍රධාන නළුව සහ නිලිය මේ කිසිවක් පයිසෙකට මායිම් කරන්නෙ නැහැ.

අපේ ගෙදර අපේ අම්ම තමයි කුමාරි අක්කට ගොඩක් කැමති සහ මැල්සිගේ (පොඩි අයියගෙ) බිරිද වෙනවට අකමැති,
අපේ තාත්ත හැමදාම වගේම සියල්ල දිහා පැසුණු බුද්ධියෙන් බලාගෙන ඉන්න චරිතයක්.
අපේ ලොකු අයිය අසරණයි, හේතුව එයාට එයාගෙ සහකාරි හොයා දුන්නෙ කුමාරි අක්ක.
එයා කුමාරි අක්කට ආදරෙයි, හැබැයි මල්ලිගෙ ගෑණි වෙනවට කැමතිත් නැහැ වගේ දෙයක් මට තේරෙනව.

කුමාරි අක්ක ඔය කියන කාලෙ නිතරම අපේ ගෙදර එනව,
මට හොදට මතකයි ඉරිද දවසක කුමාරි අක්ක ආවා අපේ පොඩිකුඹුරෙ ගෙදර.

අපේ ආච්චි.......

කෝබං කෙලියෙ (අපේ අමමගෙන්) කුමාරි ආව නේද...?

අපේ අම්ම....
හ්ම්ම්ම.....
ඔය ආවෙ.

ආච්චි...
කෝ ඉතින්.....

අම්ම...
අර ඉන්නෙ රඹුටන් ගහේ.....

ආච්චි....
හපෝයි  කෙලියෙ....
මොන බඩකඩුත්තුවක්ද බං ඒ...
මේ කෙල්ල නම් පිරිමි නැකතක ඉපදිච්ච එකියක්...

ඔන්න ඔහොමයි ගෙදර ප්‍රතිචාර.

කොහොමින් කොහොම හරි කාලෙ ගෙවෙනව.

ඒ අවදියේ ඉමහත් ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත වැඩසටහනක් තමයි ජාතික රූපවාහිනීයේ මසකට වරක් ඉදිරිපත් කරපු "නන්දන වින්දන".
එහි අධ්‍යක්ෂක තමයි ප්‍රවීණ ගායණ ශිල්පී අබේවර්ධන බාලසූරිය මහතා.

පොඩි අයියයි අනුලා බුලත්සිංහලයි ඉදිරිපත් කරපු, ප්‍රථිභාපූර්ණ නාට්‍ය වේදී දයානන්ද ගුණවර්ධනයන්ගේ "මධුර ජවනිකා" නම් වේදිකා නාට්‍යයේ "නෙයිනගෙ සූදුව" විරිදු ගායනය ඒ වෙන විට ඉමහත් ප්‍රේක්ෂක ආදරයක් දිනා හිටපු ඉදිරිපත් කිරීමක් වී තිබුන.
දවසක් අබේවර්ධන බාලසූරිය මහත්තයාගෙන් අයියට යෝජනාවක් ඇවිත් තිබුන.
"ජැක්සන්...
තව හිට් වෙන වැඩක් කරන්නකෝ" කියල.

ඒ කාලෙ අයිය රග පාපු වේදිකා නාට්‍යක් තිබුන නෙවිල් ඩයස් සුබසිංහගේ "මාණවයෝ" කියල.
ඒ නාට්‍යයේ ලස්සන සිංදුවක් තිබුන "දුනුකේ ළන්දේ පිපුණු එරාන් මල වන්දෝ"

අපේ පොඩි අයිය ගැහුව තැනේ හැටියට සුපිරි ඇනයක්.....

මේ වෙන සියල්ල ගැන මම දැනුවත්
නමුත් මම ගොනා සේ සාමාන්‍ය විදියට ඉන්නව.

ආව දවස.... 
ඒ කාලෙ නන්දන වින්දන බලන්න ගමේ හුග දෙනෙක් එනව අපේ ගෙදර.
පොඩි අයිය උදේ ඉදන් ගෙදර හිටිය.
රෑ 8 වෙද්දි එයා හිමීට ගෙදරින් ගියා,
" අම්මෙ මම අයිවන්ලගෙ ගෙවල් පැත්තෙ යනව" කියල.
එලියට බැහැල හැරිල මට ඇහැක් ගහල ඇස් ලොකූ කරල,කරකවල " උබ බලාගෙන හිටහං" වගේ ඉගියක් දීල ගියා.

ඔන්න දැන් කට්ටිය හරි බැරි ගහල tv එක ඉස්සරහ ඉදන් භුක්ති විඳිනවා
 "නන්දන වින්දන"
වැඩේ දන්න මගේ නම් බොක්ක රත් වෙලා.

සුපුරුදු පරිදි ලස්සන වැඩසටහනක් එදත්.
ඕන්න ආව අපේ වාරෙ.

"මෙන්න හුකේ මැල්සියි කුමාරියි"
ඒ අපේ ආච්චි.

පුටුවට හේත්තු වෙලා හිටිය වුන් ඉස්සරහරට බරවුනා.
ලොකු අයිය මගේ දිහා බැළුව,තාත්ත නැගිටලා කාබරේට ගිහින් රෑ වෙලා බොන්න තියාගෙන හිටපු සිගරැට්ටුව පත්තුකරගත්ත.
අම්මගෙ අත කම්මුලට ගියේ එයාටත් නොදැනිමයි.

"සීමා මායිම් නොතකා නුඹ.... කොයි ආදෝ...
ඒ දැක මා හිත තුටින් ඉපිල යනු මන්දෝ"
කුමාරි අක්ක නටමින් ගයනව ලස්සනට.

එතකොට මැල්සි....

"තක්කිට තරිකිට මලට සුවද සේ පෑහෙයි අපි දෙන්නා...
දෝන්ත දොමිකිට හනිකට බැමි බැද එක්වෙමු අපි දෙන්නා"....

විනාඩි කීපයයි, සිංදුව ඉවරයි
මීක් සද්දයක් නැහැ සාලෙ.

උර උර හිටපු සිගරැට්ටුවේ අන්තිම උගුරත් ඉහලටම ඇදල ජනේලෙන් එලියට කොටේ විසිකරපු තාත්ත.

"ඒ තමයි රොලින් නෝනේ බෙනඩික් ඇන්තනීගේ පුතා"

බොහෝම හිමීට,බරට, කියල සුපුරුදු සේ කිහිල්ල කස කස එලියට බැස්ස.
ලොකු අයියත් නැගිටල ගියා.

අම්ම.....
"අනේ අනේ මැල්සියෝ.......
එහෙනම් කසාදෙ තීන්දුයි.
වැඩේ කියන්නෙ දෙමව්පියෝ වෙච්ච අපි ඒක දැනගන්නෙ tv එකෙන්....
ෂෝක්..
හරිම ෂෝක්."

පුටුවෙන් නැගිටල කාබරේට යන ගමන් මගේ කොන්ඩෙන් ඇදල (ඒ කාලෙ මගේ හොදට කොන්ඩෙ හරිද)"මෙන්න මෙයා තමයි නූල් සූස්තර ඔත්තුකාරයා"
"මම දැක්ක මැල්සි එලියට යද්දි මෙයාට ඇහෙන් මොනාදෝ කියනව"

හැබැයි අම්මගෙ ඒ හඬේ තිබුන තෙතමනයක්,ආදරයක්,කැමැත්තක්.
(ඒ අතිනුත් අපේ දෙමව්පියෝ කොයි තරන් බුද්ධිමත්ද)

ආච්චි.......
"මොකද්ද රොලින් නෝනො අර අන්දර වැට ළඟ මුන් දෙන්නට හැදිච්ච කතන්දරේ"
හපෝයි දේව මෑණියනේ.....
වැඩේ වරද්දගෙනවත්ද මැලිසි

"අන්දර වැට ළඟ හැදී කතන්දර ඒදෝ...
උන් හැම මැඩලන පෙම් මල් සුවදේ ඉම්දෝ"...
(ඒ ගේය පද රචනාව ආච්චි තේරුන් ගත්ත විදිය.)

මහ රෑ ජාමෙ තමයි පොඩි අයිය ගෙදර ආවෙ.
ඒ කාලෙ අපි දෙන්න නිදාගන්නෙ ඉස්තෝප්පු කාමරේ.
හොරාට ජනේලෙට තට්ටු කෙරුව.
මම ජනේලෙ ඇරිය.

"මොකෝ දාතො උනේ"

"යකා හිතපු තරන් කළු නැහැ පොඩි අයියෙ."

මම එච්චරයි කිව්වෙ
අප්පාආආආ.....
මැල්සිගෙ මූණෙ පිරිච්ච හිනාව මට තාම මතකයි.

මුළු විස්තරේම පොඩි අයියට කිව්ව.
මැල්සි දිග හුස්මක් පිටකරල.
"ඇති යාන්තන්"

පහු වෙනිද උදේ අපේ ගෙදර
වාද, විවාද, සංවාද, මතවාද, කිසිවක් නැති  අති සාමාන්‍ය දවසක් වුනා........