මට තියෙන එකම දුක මනෝ අයියාට මේ චිත්‍රපටය නරඹන්න බැරි වුණ එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගිරිරාජ් නිර්මාණය කරපු චිත්‍රපට වල පත්තු වුණ හරි අපූරු දෙබස් තිබුණා. එතුමා නිර්මාණය කරපු සිකුරු හතේ ,සුහද කොකා බලපු ප්‍රේක්ෂකයෝ ඊට කදිම සාක්ෂි.. "මොකෝ නෑ කියනවද?” මේ වගේම ගිරිරාජ් කෞෂල්‍ය මහතා නිර්මාණය කරපු තෙවෙනි සිනමා නිර්මාණය කතුරු මිතුරු චිත්‍රපටයෙනුත් හිනා ගිහින් මැරෙන දර්ශන ,දෙබස් ගණනාවක් මේ වෙනකොට සමාජ මාධ්‍ය වල ඉතා ජනප්‍රිය වී තිබෙනවා. කාලෙකට පස්සේ චිත්‍රපටයක් බලලා ඉලඇට ඇදෙන්න ,කඳුළු පනින්න හිනාවුණා නම් ඒ කතුරු මිතුරු  තමයි. මේ කතාව ඒ ගැනයි.

කතුරු මිතුරු  චිත්‍රපටයෙන්ම කතාව පටන් ගමු?

රටේ විවිධ ප්‍රශ්න සිදු වීමත් එක්ක මේ චිත්‍රපටය සිනමා ශාලාවට ගේන්න ප්‍රමාද වුණා. නිෂ්පාදකවරයා කල්යල් බලලා තමයි සිනමා තිරයට කතුරු මිතුරු ගෙනාවේ මම හිතනවා මේක තමයි හොඳම කාලය කියලා. 

මගේ සිනමා ජීවිතේ තුන්වෙනි දරුවා තමයි  කතුරු මිතුරු කියන්නේ. මේ දවස් වල අති සාර්ථකව මගේ  කතුරු මිතුරු චිත්‍රපටය තිරගත වෙනවා. පිටරට වලින් ලංකාවෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. චිත්‍රපටය නරඔපු අයගෙන් ගොඩාක් දුරකථන ඇමතුම් එනවා. මම මේ මෙහොතෙත් රෝහලේ ප්‍රතිකාර ලබන ගමන් ඉන්නේ ඉතින් ඒ නිසා හැම ඇමතුමකටම කතා කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රතිචාර එක්ක මේ දවස් ගෙවන්නේ ඉතින් පුදුම සතුටකින්.

මම මේ වෙනකොට චිත්‍රපටි 3 ක් කරලා තියෙනවා. සිකුරු හතේ,සුහද කොකා සහ කතුරු මිතුරු.  කලින් චිත්‍රපටි 2ම අතිසාර්ථක වුණා. කතුරු මිතුරු චිත්‍රපටයත් එහෙමයි. නිෂ්පාදකවරුන්ට මම ණය නැහැ කියන තැන මට බය නැතුව කියන්න පුළුවන්. මොකද මේ දිනවල හවුස් ෆුල් වෙන කතුරු මිතුරු දැක්කාම ඒක පේනවා. ඒ අයට  ලාභයක් ලබාදෙන්න පුළුවන් නිර්මාණයක් කළා කියලා මම ඉතාම සතුටින් ඉන්නේ.  ඒ වගේම චිත්‍රපටය ගැන විචාර බොහොමයක් කරලා තිබුණා. ඒ විචාර විවේචන,හොඳ නරක ඒ සියල්ලම මම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඒ සියල්ල මගේ ඊලඟ නිර්මාණයට ලොකු ධෛර්යයක්. 

ඒ කියන්නේ තවත් පියවරකට අතගහන්න සුදානමක් තියෙනවාද?

ඔව් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා තව නිර්මාණයකට අත ගහන්න . හැබැයි දැන්ම නෙමෙයි. මට මූලික වෙන්නේ පිටපත . පිටපත සහ තෝරාගන්නා නළු නිළියන් ටික තෝරා ගත්තා කියන්නේ  මම චිත්‍රපටයෙන්  භාගයක් කළා වගේ මට ඉතිරි ටික වැඩ ඉවර කරනවා කියන එක මහලොකු දෙයක් නෙමෙයි. ඒ වගේම  මට බය නැතුව වැඩේට අතහගන්න පුළුවන් කණ්ඩායමක්  රුවන් කොස්තලා, ශිවාලා වගේ විශාල පිරිසක් මා වටා ඉන්නවා. නිෂ්පාදකවරුන්ගේ හිඟයකුත් නැහැ. මම තමයි පොඩ්ඩක් පස්සට ගිහින් තියෙන්නේ. මම තව ටිකක් සුවපත් වුණාට පස්සේ අලුත් නිර්මාණයට අතගහන්න බලාපොරෝත්තුවෙන් ඉන්නවා.  

කතුරු මිතුරු මාධ්‍ය දර්ශනය දවසෙත් මම රෝහල් ගතවෙලා හිටියේ. වෛද්‍ය උපදෙස් අනුව මිනිසුන් අතර ගැවසෙන්න සුදුසු නැහැ කියලා වෛද්‍යවරු කියලා තියෙනවා. ඒ නිසා මට මාධ්‍ය දර්ශනයට යන්න හැකියාව ලැබුණේ නැහැ. මංගල දර්ශනය දවසේ සිනමා ශාලාවට ගිහින් චිත්‍රපටය නරඹන්න වෛද්‍ය අවසරය ලැබුණා. මගේ මිතුරු හවුල ප්‍රේක්ෂකයෝ එක්ක සිනමා ශාලාවේ නරඹන්න ලැබුන එක මට විශාල සතුටක්.

මිනිස්සු හිනස්සන එක හිතන තරම් සරල නැහැ.ඇත්තටම ඔබේ අතින් කතුරු මිතුරු ලියවෙන්නේ කොහොමද?

මේ කතා ඉතිහාසයේ ඉඳන්ම මගේ ළග එකතු වෙලා තිබුණ අත්දැකීම් ටිකක්. බාබර් සාප්පු වල ,ටේලර් සාප්පු වල තිබුණ මම අත්දැකපු දේවල්,ඒ වගේම ඔය විල්සන් ටේලර් කියන එක ඒ නමින්ම තිබුණා කොළොන්නාවේ අපේ ගෙදර ලඟම. ඒ විල්සන් අයියා කියන කෙනා මගේ තාත්තාගේ හොඳම යාළුවෙක්. ඒ දවස් වල තාත්තා මාවත් එක්කගෙන යනවා විල්සන් මාමාගේ කඩේ පැත්තේ. ඉතින් ඔතනට යන එන අයගේ කතා, එතන වෙන සිද්ධි විල්සන් මාමා අපේ තාත්තා එක්ක කතා වෙනවා. ඕවාත් මගේ මතකයේ තිබුණා. මම බාබර් සාප්පුවට ගියහම විවිධ කතා අහලා දැනගන්න ලැබිලා තියෙනවා. 

මම ගැටයා කාලේ ඉතින් බාබර් සාප්පුවට ගිහින් මමත් එක එක විලාසිතා වලට කොණ්ඩේ කපන්න කියනවා. ඒ කාලේ කණ්නාඩිත් නැහැ. අර විලාසිතා නෙමෙයි බාබර්ට ඕන විදිහට තමයි කොණ්ඩේ කපන්නේ. එක බාබර් කෙනෙක් හිටියා රේස් දාන්න පුරුදු වුණ කෙනෙක්. පුටුවේ වාඩිවෙලා බෙල්ලට රෙද්දත් දාලා බාබර් මාමා යනවා රේස් අදින්න. අර රෙද්ද පිටින්ම යනවා මම බාබර් මාමාව සොයාගෙන..ඒ වගේ පුංචි පුංචි  රස මුසු තැන් තිබුණා. තරුණ වෙද්දි මගේ යාළුවන්ට වෙච්ච සිද්ධි ඔක්කෝම එකතු කරලා තමයි කතුරු මිතුරු පිටපත ලියවුණේ. 

ඔබේ පිටපතේ දෙබස් ඇයි මෙච්චර  ජනප්‍රිය ? 

විශේඥ වෛද්‍ය දේවින්ද ජයතිලක සර් තමයි මාව බලන්නේ.  එතුමාට කතා කරනවා ඇරෙන්න හිනාවෙන්නවත් වෙලාවක් නැහැ. ඒ තරම් කාර්යබහුලයි.  මම බෙහෙත් ගන්න ගියාම දවසක් දොස්තර  මහත්තයා මගෙන් උණ එනවලු නේද කියලා අහලා විශාල කරදරයක් වුණානේ මේක කියලා හිනා වුණා. දැන් ඉස්පිරිතාලේ දොස්තරලත් ඒ දෙබස් කියනවා. දෙබස් ලියපු මටත් රෑගත කිරීම් වලදි හෝ ගාලා හිනා යනවා. දවසක් මනෝ අයියා කියනවා යකෝ ලියපු එකත් හිනාවෙනවානේ කියලා. 

ඔය විශාල කරදරයක් වුණානේ කියන එක මනෝ අයියා සාමාන්‍ය ජීවිතේදි නිතරම කියන එකක්. මම පිටපත ලියද්දි මනෝ අයියාට කිව්වා ඒ කොටස අපි දෙබස් වලට දාමු මේක ඔයාට හොඳට ගැලපෙවනේ කියලා. මොකෝ නෑ කියනවද කියලා මහේන්ද්‍රට මම හදලා දැම්මා. ඒ කොටස්  හිතපු නැති විදිහට සමාජ මාධ්‍ය හරහා සමාජ ගතවෙලා තියෙනවා පුදුම විදිහට. මේ දෙබස් සියල්ල මට හිතිලා ලියවුණ දේවල්. 

ජයලත් මනොරත්න කියන චරිතය අමතක කරලා අපිට මේ නිර්මාණ ගැන කතා කරන්න බැහැ. 

මනෝ අයියාගේ හිඩස පුරවන්න කවුරුත් තාම බිහිවෙලා නැහැ. මනෝ අයියා ඉන්න තැන විනෝද සාගරයක්.
කලින් මගේ හිතේ ඇඳුනේ විජය නන්දසිරි අයියාව සම්බන්ද කරගන්න. නමුත් නොහිතූ විරූ වෙලාවක විජේ අයියා අපි අතරින් සමු ගත්තා. ඊට පස්සේ මේකට කවුද ගන්නේ කියලා හිත හිත ඉන්නකොට මහේන්ද්‍රව එ් හිඩසට දාන්න අපි යෝජනා කළා. නමුත් මට විජේ අයියාව අමතක කරලා මේක කරන්න හිත දුන්නෙම නැහැ. ඒ නිසා විජේ අයියා ගේ පුතා රසාංජන මේකට ගන්න ඕන කියලා හිතුනා. විජේ අයියාව මතක් වෙන්න තමයි විජේ අයියාගේ පුතා රසාංජනට අවස්ථාවක් දුන්නේ. ඒ වගේම රොඩ්නි, ප්‍රියන්ත කොට වෙලා ඉපදුන එකත් වෙනම රහක් තියෙනවා සමහර චරිතවලට. මේ චිත්‍රපටයේ එක තැනකදි පල යන්න කොටා කියද්දි ප්‍රියන්තත් කියනවා උඹත් කොටානේ කියලා. ඒ දෙබස් පිටපතේ නැහැ.මම ඩබ් කරද්දි තමයි දැම්මේ ..ඒවා මතක් වෙද්දිත් හිනා. මේ වෙලාවේ අප අතරින් වියෝ වුණ මනෝ අයියායි, ගාමිණි අම්බලංගොඩ අයියාවයි ආදරයෙන් මතක් කරනවා. චිත්‍රපට කරාට පස්සේ මම මනෝ අයියාට කීප වතාවක්ම කතා කළා චිත්‍රපටය නරඹන්න කියලා. එ් හැම අවස්ථාවකම කිව්වේ කමක් නෑ ගිරා මංගල දර්ශනයම බලමු කියලා. මට තියෙන එකම දුක මනෝ අයියාට මේ චිත්‍රපටය නරඹන්න බැරි වුණ එක. 

පොඩි දුව අමන්ද්‍යාට මේ චිත්‍රපටයේ අවස්ථාවක් නොදුන්නේ ඇයි?

මම දේශපාලනඥයෝ වගේ පවුලේ අයට හැම දේම දෙන්න කැමති නැහැ. අමන්ද්‍යා ඉතා දක්ෂ ගායිකාවක් වගේම නිළියක් කියලා මට හොඳට පැහැදිලි වුණා එයා කරපු චරිත අනුව. එයාගේ දක්ෂතා අනුව එයාට අවස්ථාව ඒවි. මේ චිත්‍රපටයේ ගීත ගායනා කරන්න ඇයට අවස්ථාව ලැබුණා. ඒකත් මම එයාව තේරුවේ නැහැ. සමන්ත පෙරේරාට මම කිව්වා මේ සින්දුවට අපේ කෙල්ලව හරි යනවනම් විතරක් ගනින් කියලා. ගිරාගේ දුව කියලා ගන්න එපා කියලා මම කිව්වා. පස්සේ මට සමන්ත කිව්වා ඒ හඩ මරු කියලා. 

පහුගිය දවස් වල නිර්මාණ කටයුතු වලට දායක වුණාද?

ජී. නන්දසේන මහත්තයාගේ බේකරි ගෙදර   ටෙලි නාට්‍යයේ වැඩ කරගෙන ගියා. නමුත් ඒ අතර තුර නැවතත් අසනිප තත්වයට ගොදුරු වුණ නිසා ටික දවසකට පොඩි නිවාඩුවක් ගන්න සිදු වුණා.. ඉදිරියේදි  නැවත ටෙලි නාට්‍යයේ වැඩ පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

නදීශා අතුකෝරළ