මාතර S.K විහඟ ප්‍රේමයේ තටු සින්ඳේ ඇයි?

අවුරුදු ගණනාවකට පස්සෙ සබීතා පෙරේරා සිනමා රංගනයකට එක් වුණේ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කළ විහඟ ප්‍රේමය චිත්‍රපටයෙන්.
මේ චිත්‍රපටය තිරගත කරන එක් සිනමා ශාලාවක් තමයි මාතර S.K Cinema.පසුගිය 11 වැනි බදාදා විහඟ ප්‍රේමය බලන්න S.K සිනමා ශාලාවට ප්‍රේක්ෂකයන් පස් දෙනෙක් ගිහින් තියෙනවා .ඒත් ප්‍රදර්ශන වියදමත් එක්ක පස් දෙනෙක් වෙනුවෙන් චිත්‍රපටයක් පෙන්වන්න බෑ කියලා එදා චිත්‍රපටය පෙන්වලා නෑ.
ඒ හින්දා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා තීරණය කළා 12 වැනිදා ඉඳන් චිත්‍රපටය මාතර S.K එකෙන් අයින් කරන්න.
"ඒ සිද්ධිය සිනමාකරුවෙක් විදිහට මටත් ඒ ආව ප්‍රේක්ෂකයන් පස් දෙනාටත් කරපු නින්දාවක් අපහාසයක්.රසිකාගාරයේ සිනමාමය කැමැත්ත විවිධයි.ඒ නිසා හැම චිත්‍රපටයක්ම බලන්න එක වගේ ප්‍රේක්ෂකයින් එන්නෙ නෑ.එක ප්‍රේක්ෂකයෙක් ආවත් එයාට චිත්‍රපටය බලන්න අයිතියක් තියෙන්න ඕනෑ.
තමන්ගෙ මානව හිමිකම් කඩවීම වෙනුවෙන් අධිකරණය ඉදිරියට යන්න කියලා මම ඒ ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.ඒ වගේම ජාතික චිත්‍රපට සංස්ථාවටත් වගකීමක් තියෙනවා මේ වගේ සිද්ධියකදී ප්‍රේක්ෂකයින් ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න.
සංජීව පුෂ්පකුමාරගේ මේ ප්‍රකාශයට මාතර S.K සිනමා මෙහෙම උත්තරයක් දීලා තිබුණා.
අපගේ අදහස මෙයයි: “විහඟ ප්‍රේමය” චිත්‍රපටය සම්බන්ධයෙන් සිදුවූ සිදුවීම පිළිබඳව අප විසින් කළ ප්‍රකාශය කිසිදු අයුරකින් චිත්‍රපටයට හෝ අධ්‍යක්ෂවරයාට අපහාස කිරීමේ අරමුණින් සිදු කළ එකක් නොවේ.
දෙවන දින දර්ශනයේදී ප්‍රේක්ෂකයන් 5 දෙනෙකු පමණක් පැමිණීම හේතුවෙන් චිත්‍රපටය ප්‍රදර්ශනය නොකිරීම පිළිබඳව අධ්‍යක්ෂවරයා අපගෙන් විමසූ අවස්ථාවේදී, අප පෙන්වා දුන්නේ චිත්‍රපටයේ ප්‍රචාරණය සහ ප්‍රසිද්ධිය ප්‍රමාණවත් මට්ටමක නොමැති බැවින්, නිසි ආකාරයෙන් ප්‍රචාරණ කටයුතු සිදු කළහොත් වැඩි ප්‍රේක්ෂක පිරිසක් සිනමා ශාලාව වෙත ගෙන්වා ගැනීමට හැකි වනු ඇති බවයි.
අප විසින් අපගේ යෝජනාව ලෙස ඉදිරිපත් කලේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට පෙර සිටම ප්‍රචාරක කටයුතු සිදු කල යුතු බවද, එමෙන්ම චිත්‍රපට ප්‍රදර්ශනය කරන අතර තුරද ප්‍රචාරක කටයුතු සිදු කර ප්‍රේක්ෂකයන් නිරන්තරයෙන් දැනුවත් විය යුතු බවයි.

මෙය අපගේ අත්දැකීම් සහ ව්‍යාපාරික අවබෝධය මත ලබාදුන් සාධාරණ යෝජනාවක් පමණි. චිත්‍රපටයේ ගුණාත්මකභාවය පිළිබඳව හෝ නිර්මාණකරුවන්ගේ හැකියාව පිළිබඳව අප විසින් කිසිදු නිෂේධාත්මක ප්‍රකාශයක් සිදු කර නොමැත.
අවාසනාවකට, එම අදහස වෙනත් ආකාරයකින් තේරුම් ගෙන අප සමඟ ඇති වූ සංවාදයෙන් පසුව චිත්‍රපටය සිනමා ශාලාවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබීම පිළිබඳව අප කණගාටු වෙමු.
අපගේ අරමුණ කලාකරුවන්ට හෝ චිත්‍රපටයකට අගෞරව කිරීම නොව, හොඳ ප්‍රචාරණයක් තුළින් හොඳ නිර්මාණයක් වැඩි ප්‍රේක්ෂක පිරිසක් වෙත ගෙන යා හැකි බව පෙන්වා දීමයි.
අපි සියලුම දේශීය සිනමා නිර්මාණකරුවන්ට ගෞරව කරන අතර, ඔවුන්ගේ නිර්මාණ සාර්ථක කර ගැනීමට හැකි උපරිම සහයෝගය ලබාදීමට අප සැමවිටම සූදානම්.
සාරවිට අපි කියන්නෙ රටක සිනමාවේ කශේරුකාව දරා සිටින ප්‍රබලම කණු දෙකක් තමයි සිනමා නිෂ්පාදකවරයා සහ ප්‍රේක්ෂකයා කියන්නේ.ඉතින් ඒ පාර්ශ්ව ද්විත්වයම ආල ලීලෙන් රැකගැනීම තවමත් සිනමාව කර්මාන්තයක් ලෙස ගොඩනැඟී නැති එහෙත් ගොඩ නැංවිය යුතු අපේ රටේ යුතුකමක් සහ වගකීමක් .
