මම මස් කන්නේ නැහැ. සී ෆුඩ් තමයි කන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෑම කියන්නේ බොහෝ අවස්ථාවල අපේ හිත හදන්න පුළුවන් මැජික් එකක්. නමුත් අපි කෑම ලබාගන්නේ කිසිම පාලනයකින් තොරව නම්, පෝෂණය ගැන නොහිත නම් අපේ ශරීර සෞඛ්‍ය ටිකෙන් ටික පිරිහෙනවා. අපිටත් නොදැනීම අපි ලෙඩ වෙනවා. ඉතින් අපි කෑම ගන්න පුළුවන් හැම අවස්ථාවකම සෞඛ්‍යය ගැනත් හිතලා කටයුතු කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. කෑමත් සමග ඇති රස මතක බෙදාගන්න ජනප්‍රිය ගායන ශිල්පිනී උපේඛා නිර්මාණී මෙවර සදැල්ල අපිත් සමඟ එකතු වුණා.    

වැඩිපුරම කෑම ගන්නේ ගෙදරින්ද එළියෙන්ද ?

ගොඩක් වෙලාවට ගෙදරින් තමයි කෑම ගන්නේ. මොනවහරි වැඩකට එළියට ගියාම එළියෙන් කෑම ගන්න අවස්ථා තියෙනවා.

වැඩිපුරම කන්න බොන්න කැමති කෑම මොනවද ?

බත් එක්ක එළවළු මාළු ගොඩක් කන්න කැමතියි. වැඩිපුරම අපේ ගෙදර හදන්නේ රතු බත්. මම නම් ගොඩක් වෙලාවට වතුර බොන්න තමයි කැමති. එළියෙන් කනව නම් වැඩිපුරම කන්න කැමති ඉතලියන් සහ ඉන්දියන් කෑම වර්ග තමයි. ඒ වගේම මම සහ හස්බන්, අපි දෙන්නාම කන්නේ සී ෆුඩ් සහ බිත්තර තමයි. මස් කන්නේම නැහැ. චිකන් වල රසක් මට මතකත් නැහැ.

කන්න අකමැති කෑම මොනවද ?

මම සාමන්‍යයෙන් පැණි රස කෑම වැඩිපුර කන්න කැමති නැහැ. යෝගට් අයිස්ක්‍රීම් වගේ දේවල් කොච්චර තිබුණත් කන කෙනෙක් නෙමෙයි. නමුත් චොක්ලට් කන්න නම් ටිකක් කැමතියි. ඉස්සෙල්ලා කිවුවා වගේ මම මස් කන්නේ නැහැ. සී ෆුඩ් තමයි කන්නේ. සමහරවිට මම මීගමුවේ ඉන්න නිසා වෙන්නැති සහ මගේ අම්මා චිකන් කන කෙනෙක් නෙමෙයි.

උපේඛා කෑම හදනවද ඒ මොනවද ?

ඔව් මම උයනවා. වැඩිපුරම බත් සහ ව්‍යාංජන තමයි උයන්නේ.

ඊට අමතරව වඩේ, තෝසේ, ඉදියාප්ප, පොල්‍් රොටී වගේම එක එක බේකරි කෑම ජාති හදන්න මම හරි කැමතියි. මම රස සී ෆුඩ් රයිස් එකක්, පැස්ටා එකක් එහෙම හදනවා. ඒ වගේම පැණි රස කෑම කන්නේ නැති වුණාට ගෙදරට එන අයට මම හදන චොක්ලට් මග් කේක් එකක් තියනවා ඒක හදලා දෙනවා. කට්ටිය ආවොත් ඒ චොක්ලට් මග් කේක් එක හදලා දෙන්න කියලා කියනවා. ඒක හරි රසයි කියලා හැමෝම කියනවා.

රස කෑම එකක් හදන විදිය ගැනත් කියමුද බලන්න ?

මම හදනවා ක්‍රීමි පැස්ටා එකක්. ඒක හදන්නේ ඉස්සෙල්ලාම පැස්ටා ටික තම්බලා පැත්තකින් තියාගන්නවා. ඒකට ඔලිව් ඔයිල් ටිකක් දාලා තම්බගන්නවා. එතකොට පැස්ටා එකට ඇලෙන්නේ නැහැ. ඊට පස්සේ පෑන් එකක් ලිපෙන් තියලා ඒකට බටර් ටිකක් දාලා ඒක දිය වුණාම පාන්පිටි ටිකක් දාලා කලවම් කරගන්නවා. ඒක ටිකක් උකු කරගත්තට පස්සේ, ෆ්‍රෙශ් මිල්ක් ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. ඒක පැස්ටා එකේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ටිකක් වැඩිපුර ෆ්‍රෙශ් මිල්ක් එකතු කරලා ඒකට චීස් කෑලි දෙකක් තුනක් දාලා කලවම් කරගන්නවා. ඒ උකු මිශ්‍රණයට පැස්ටා ටික එකතු කරලා කළවම් කරගෙන ආයෙමත් පෑන් එක ලිපෙන් තියලා තෙල් ටිකක් ඒකට දාලා කපා ගත්ත ළූණු ටිකක් සුදු ළූණු ටිකක් දාලා තෙම්පරාදු කරලා ලුණු කුඩු, ගම්මිරිස් කුඩු ටිකක් දාලා බිත්තරයක් කඩලා ඒකට එකතු කරගන්නවා. තියනවා නම් ටූනා ටිකක් එකතු කරගෙන ඒකට අර පැස්ටා එක එකතු කරගන්නවා. ඒක හරිම රස කෑමක්. හස්බන් හරිම ආසයි මම හදන ක්‍රීමි පැස්ටා එකට.

බබාගේ කෑම හදන්නේ උපේඛා අතින්මද ?

ඔව් බබාගේ කෑම හදන්නෙත් මම මයි. අවුරුදු එකහමාර වෙනකන් වෙනමම කෑම එකක් හැදුවා, ඒක මම හිතන්නේ ඕනෑම අම්මා කෙනෙක් හදන කෑම එකක්. ඒකට ඉතින් පෝෂ්‍යදායී දේවල් ඔක්කොම වගේ එකතු කරලා හදන්නේ. ඒ අවුරුදු එකහමාරෙන් පස්සේ බබාට දෙන්නෙත් අපි කන කෑමම තමයි. මොකද කාලයත් එක්ක බබාලව ඒ කෑම වලට හුරු කරවන්න ඕන. ඉතින් එයත් අපේ කෑම කන නිසා අපේ ගෙදර මැල්ලුමක්, සලාදයක් අනිවාර්යයයි. ඒ වගේම මාළු වර්ගයක්, බිත්තරයක් වගේ දේවල් එකතු කරගන්නවා. ඒ විදියට පෝෂ්‍යදායී කෑම වේලක් බබාට දෙන්න මම හැම වෙලාවකම වගේ උත්සාහ කරනවා. බබත් දැන් ඒ කෑම වලට හුරුවෙලා ඉන්නේ. ඒ කෑම වලට එයා හරිම කැමතියි.

උපේඛා හදන කෑම වලින් හස්බන්ඩ් කැමතිම කෑම මොනවද ?

හස්බන්ඩ් සාමන්‍යයෙන් බත් කන්න කැමති කෙනෙක් නෙමෙයි. ගොඩක් වෙලාවට බත් මගහරිනවා.  බත් කෑවත් පොඩ්ඩයි කන්නේ. කවදාවත් තුන්වේලටම බත් කන කෙනෙක් නෙමෙයි. ඒ නිසා ගොඩක් වෙලාවට උදේට පොඩි දෙයක් හදනවා, දවල්ට බත් හදනවා, රෑටත් ගොඩක් වෙලාවට සුළු දෙයක් තමයි හදන්නේ. මට තුන්වේලම කෑම හදලා මහන්සි වෙන්න දෙන කෙනෙක් නෙමෙයි එයා. සමහර වෙලාවට දෙන්නම එකතු වෙලා කෑම හදනවා. බත් ඇරුණම හදන ඕනෑම කෑමක් කනවා. ඒ වගේම ඒ කෑම වලට හොඳ ප්‍රතිචාරත් තියෙනවා. 

උපේඛා හදන කෑම වලට ලැබෙන ප්‍රතිචාර කොහොමද ? 

ගොඩාක් හොද ප්‍රතිචාර ලැබෙනවා. නමුත් එයාලගෙන් තමයි අහන්න වෙන්නේ ඒ ගැන නම්. මගේ කෑම කන අය දන්නවා මගේ කෑම රසයි කියලා. ගෙදර මොනවාහරි විශේෂ දෙයක් තිබුණොත් මම හදන සී ෆුඩ් රයිස් එකක් තියනවා. ඒකට හැමෝම වගේ කැමතියි. ඒ රයිස් එකේ රයිස් වලට වඩා තියෙන්නේ සී ෆුඩ්ස් තමයි.

කෑම පාලනය කරනවද ?

සෞඛ්‍යය ගැන හිතනවා. ජිම් යන්න බලාගෙන ඉන්නවා. ඒත් අපිට ජිම් යන්න වෙලාවක් එන්නේම නැහැ. අනිවාර්යයෙන්ම ඒක අපි කරන්න ඕන. නමුත් වෙලාව ගැටලුව නිසා ගොඩක් දුරට කෑමෙන් පාලනය වෙනවා. ගෙදර වැඩිපුරම කන්නේ රතු බත්, ඒ වගේම තෙල් භාවිතා කරන්නේ හරිම අඩුවෙන්. පිරිසිදු සුදු පොල්තෙල් පොඩ්ඩක් තමයි භාවිතා කරන්නේ. ඒ විදියට සෞඛ්‍යය ගැනත් හිතලා පාලනයකින් යුතුව අපි කෑම ගන්න පුරුදු වෙලා ඉන්නවා. සෞඛ්‍ය ගැන අපි සෑහෙන්න හිතනවා. විවිධ රෝග වැළදෙන්න බලපාන්නෙත් අපි පාලනයකින් තොරව ලබා ගන්න ආහාර, තෙල් අධික, පිටි අධික ආහාර බලපානවා. ඉතින් හැම මොහොතකම අපි ලබාගන්න ආහාර ගැන හොදට හිතලා බලලා පාලනයකින් යුතුව භාවිතා කලොත් ගොඩක් ලෙඩ රෝග නැති කරගන්න පුලුවන්.

ඇත්තටම ලංකාවේ බොහොමයක් එළවළු පළතුරු වලට බෙහෙත් ගහලා තියෙන්නේ, ඉතින් අපි එළවළු පළතුරු ගෙදර වවාගෙන කනව නම් ගොඩාක් හොදයි. නැත්තන් අපිට වගේම අපේ දරුවන්ට කන්න වෙන්නෙත් වස තමයි.

කෑම ගැන තියෙන්නේ මොන වගේ අදහසක්ද ? 

ඇත්තටම කෑම ගැන මට තියන අදහස කියන්නේ, අපි මේ කන කෑම බීම අනලා, සුවදත් එක්ක කටට දාගෙන හපන ටික වෙලාවට තමයි ඒ රස පවතින්නේ. ඊට පස්සේ රස දැනෙන්නේ නැහැනේ. අර සුළු මොහොතක සතුට ලබන්න අපි කෑම වලට හැඩ වැඩ දාල විවිධ රසකාරක එකතු කරලා, කටට හැපෙන ටිකට රස බලන්න අපි සෑහෙන්න මහන්සි වෙනවා.

අමා අලහකෝන්