මහත්තයා නැති ගෙදර Love Cake හදන්න බෑ - මල්කාන්ති නන්දසිරි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Q පසුගිය වසර ගණනාව පුරාවට අලුත් අවුරුද්දක් ලබද්දී එතුමාගේ තිබුණ බලාපොරොත්තු පෙර සූදානම කොහොමද...?

ඔහු පුදුමාකාර චරිතයක්. හැම වසරකදීම තවත් වසරක් ලබද්දීත්, නත්තලටත් අපි දෙසැම්බර් මාසෙ දහවෙනිදාවත් ඉඳන් සූදානම් වුණා. අපි ඒ ඉදිරි දින ගැන සැලසුම් කළා. අපි දෙන්නා එක ළඟ ඉඳගෙන කතා කළා. මගේ මහත්තයා කවදාවත් තනි තීරණ ගත්තු ස්වාමියෙක් නෙමෙයි. ඒක මම මුළුරටටම කියනවා. අද බොහෝ ගෙවල්වල තීරණ ගන්නේ ගෙදර සැමියා, එහෙම නැත්නම් බිරිඳ සමහරවිට ඒ දෙන්නා තීරණ දෙකක් ගන්න වෙලාවක් තිබෙනවා. නමුත් මගේ ජීවිතේ මායි මගේ ස්වාමියායි  එකටමයි තීරණ ගත්තේ. අපි එකට වැඩ කළේ. ඔහු අසුභවාදී මනුස්සයෙක් නොවන නිසා ඔහු හැමවෙලේම හරි තීරණ ගත්තා.

Q නත්තලට ඔහුගේ තිබුණ සූදානම කොහොමද..?

නත්තල විසිපස්වෙනිදාට යෙදිලා තිබුණාට දෙසැම්බර් පටන් ගනිද්දිම ඔහු ඒ රාජකාරියේ නියැළුණා. ගේ වටේ ඇවිත් යමින් ''නත්තලට අපි දැන් මොකද කරන්නේ'' කියමින් මගෙන් අසමින් ඔහු අඩුපාඩු හොයලා බැලුවා. බිත්ති ටිකක් කිලිටි වෙලා තිබුණත් ''අපේ බාසුන්නැහේට එන්න කියමු'' කියලා ගෙදර පේන්ට් කළා. ඔහු ජීවිතේ ලස්සනට ඉන්න කැමැති කෙනෙක්. එයාගේ ඇඳුම් විතරක් නෙමෙයි, ගේ දොර විතරක් නෙමෙයි එයාගේ ඇඳ ඇතිරිල්ල පවා ලස්සනට පිළිවෙළට තියෙන්න ඕනේ. එයාගේ ජීවිතේ හරි ලස්සනට හිටියා. එයාගේ කැමැත්ත ඒක නිසාම මායි අනුරාධා දුවයි දෙන්නම මගේ මහත්තයාගේ කැමැත්ත අනුව ඒ හැම දෙයක් එයාට පිළියෙළ කරලා දුන්නා. ඒ කිසිම දෙයක් අපි කරදරයක්, වදයක් කියලා හිතුවේ නැහැ. මහත්තයාගේ ඒ පිළිවෙළ නිසාම මමත් ජීවිතේ හැඩගස්සවා ගත්තා.

Q නත්තලට, අලුත් අවුරුද්දට ගෙදර කෑම එහෙත් රසට හදනවා ඇති?

ඔව්. ඔව්. ඒ දින ලංවෙද්දී ගෙදරට ගේන බඩු ගැනත් මහත්තයා මගෙන් ඇහුවා. ''දැන් කේක් හදනවා නේද?'' කියලා අනිවාර්යයෙන්ම ඇහුවා. එයා Love Cake කන්න හරි ආසයි. අපි නිතරම විවාහ උත්සවවලට සහභාගි වෙන නිසා අපිට නිතරම Wedding Cake ලැබෙනවානේ.  ඒ නිසා අපි නත්තලට ගෙදර හදන්නේ Love Cake. අපි නත්තල් කේක් හදන එක නතර කරලා අවුරුදු කිහිපයක්ම නත්තලට Love Cake හැදුවා. ඒකට එයා හරි ආසයි. ඉස්සර අපේ අම්මා නත්තල් කේක් එකත් එක්කම Love Cake හැදුවා. ඒක පුදුම රසයි. මහත්තයා ඒ කෑම කන්නත් හරි ආසයි. ඒ නිසා ඉස්සර ඉඳන්ම මහත්තයා Love Cake කන්න හරි ආසයි.

Q නත්තලට හදන වයින් එකත් හදන්නේ ඔබද...?

නත්තල් ළං වෙද්දී Love Cake එක වගේම වයින් හදන එක ගැනත් මුලින්ම මතක් කරන්නේ මගේ මහත්තයාම තමයි. ඉතින් සමහර අවුරුදුවල නොවැම්බර් මාසේදී තමයි වයින් හදන්න පටන් ගන්නේ. මම බීට්රෑට්, ඉඟුරු, කිරි වයින් හරි හැදුවා. සමහර වසරවලදී මම වයින් ගෙදර හදන්න බැරිවුණොත් මගේ ඥාති සහෝදරියන් වෙන ෂෙරින් නංගිට කතා කරලා ඒ වැඩේ බාර කළා. ෂෙරින් නංගිට හරි රසට වයින් හදන්න පුළුවන්. ''හරි අක්කා මම අක්කටත් එක්ක වයින් හදන්නම්'' කියලා එයා හරි කැමැත්තෙන් රසට මට වයින් හදලා දුන්නා. මගේ මහත්තයා ඒකට කැමැතියි.

Q නත්තලට නව වසරට අලුත් ඇඳුම් පැළඳුම් ගන්නත් එතුමාගේ උනන්දුවක් තිබුණා නේද?

අනේ ඔව්. එයා අපිට විතරක් නෙමෙයි අපේ ඥාතීන්ට, දුවගේ යාළුවන්ට පවා ඇඳුම් පැළඳුම් ගන්න කිව්වා. ඒ විතරක් නෙමෙයි නව වසරට ගෙදර එන හැම පොඩි දරුවෙකුටම එයා පොඩියට හරි තෑග්ගක් දුන්නා. මගේ නංගිලා, මල්ලිලාට, අපට ගොඩක් ආදරේ කරන දුවගේ යාළුවන්ට අතේ සල්ලි තියෙන විදිහට තෑගි බෝග ගෙනත් දෙන්න කියලා එයා හැම අවුරුද්දෙම කිව්වා. ඒවා හැමදේම සූදානම් කරන්න මට හැමදාම මතක් කළේ උදව් කළේ අපේ මහත්තයායි. ගෙදරට පිරිස එනවට එයා හරි කැමැතියි. නත්තලට ඉස්සෙල්ලා මායි එයයි, නත්තල ගැන නව වසර ගැන ගොඩක් කතාබහ කළා.

Q මිනිසුන්ට පමණක් නෙමෙයි ඔහු සතා සිව්පාවුන්ට අසීමිතව ආදරය කරපු කෙනෙක්?

අනේ ඔව්. අපේ ගදෙර පූසන් දහදෙනයි, එක බල්ලෙකුයි ඉන්නවා. එයා සතුන්ට හරියට ආදරේ කරපු මනුස්සයෙක්. දරුවන්ට වගේ සැලකුවා. ඒ සතුන්ට අපි වෙනම කෑම ඉව්වා. අදටත් අපේ මහත්තයා නැතත් අපි ඒ සතුන්ට කන්න දෙන්නෙත් ඒ පිළිවෙළට තමයි. කවදාවත් ඒ සතුන්ට අපි කාලා ඉතිරිවුණු ඉඳුල් කෑම දුන්නේ නැහැ. එයා කෑම කද්දී ඒ සෑම සතෙක්ම කෑවාද කියල අපෙන් අහලයි කෑම කෑවේ. ඒ වගේම අපේ ගෙදරට අපෙන් පිහිටක් බලාපොරොත්තුවෙන් අත් දිගු කරන අසරණ මිනිසුන්ට කිසිවක්ම නොදී එයා හරවලා යැව්වේ නැහැ. සමහරදාට ''අන්න අර මිනිසුන්ට ඇඳුමක් දෙන්න. ඕවා හැමදාම අඳින්න ඕනේ නැහැ. වැඩිපුර තිබෙන ඇඳුමක් දෙකක් ඒ මිනිසුන්ට දෙන්න'' කියල මට කිව්වා. එයාට මිනිසුන්ගේ දුක හොඳටම දැනුණා. මේ අවුරුද්ද ලබද්දි එයා අපි ළඟ නැහැ. ඒ දුක කවදාවත් අපේ හිත්වලින් නැතිවෙන්නේ නැහැ. එයා නැතිව අපිට හරි පාළුයි.

Q සනත් නන්දසිරි මහතා නොමැතිව ලබන මුල්ම වසර. එතුමා සෑම වසරකදීම අලුත් පරපුරකට තම දැනුම, සංගීතය කියාදෙනවා. ඒ ''ගන්ධාරි'' තුළින්. 2024 වසරේදීත් ඒ කටයුත්ත සිදුවෙනවාද...?

ඔව්. හැම වසරකදීම අපි අලුත් වසරකට පා තබද්දී අපේ ජීවිතවල වෙනස්කම් බොහොමයක් සිදුවෙනවා. අපි හැමදාම එක විදිහට යන දෙදෙනෙක් නෙමෙයි. අර ජීවිතේ වෙනත් සංකල්පවලට මුහුණ දෙන්න කැමැතියි. ඒ සංකල්පයත් එක්ක අපේ ජීවිතේ රටාවන්වල වෙනස්කම් සිදුවෙනවා. හැම වසරකදීම අපේ ''ගාන්ධරී'' සංගීත ආයතනයේ අළුත් පන්ති පටන්ගන්නවා. ඒ පන්තිවලට දරුවො බඳවා ගන්නවා. ඉතින් මෙවරත් 2024 වසර සඳහා ගන්ධාරි සංගීතායතනය දරුවන් බඳවා ගන්නවා.

මහත්තයාගේ ලොකුම කැමැත්ත වුණේ සංගීතය ගැන කිසිවක් නොදන්නා දරුවන්මේ ගාන්ධාරි සංගීත ආයතනයට බඳවා ගැනීමයි. නමුත් ඒ දරුවන්ට සහජ කුසලතාවයක් තිබිය යුතු වෙනවා. සහජ කුසලතාවයන් නැතිනම් සංගීතයට කරන්න අමාරුයි. ඒ නිසා දරුවන්ගේ පරීක්ෂණයක් කියලා තමයි බඳවා ගන්නේ. ඒ බඳවා ගැනීමේ කටයුතු 2024 වසරේ මුල් සති කිහිපය තුළදී මෙවරත් සිදුවෙනවා. ඒක මෙහෙයවන්නේ විශාරද අනුරාධා නන්දසිරි වන මගේ දුවයි.

I දිශානි ජයමාලි