යුග දෙකක්....තරු දෙකක්....තේ කෝප්පයක් ....

ජීවිතය දැනෙන්නෙම ආදරය ඇති තැනක ......
ජීවිතය දැනෙන්නෙම ආදරය හමුවෙන තැනක ......
ඔයා විශ්වාස කරනවද හිතුවිලි තාරුණ්‍යයේ සැරිසරන තාක් ජීවිතය හැමදාමත් තරුණයි.....
ඉතින් ඒ සදාතනික තාරකාවට වියපත් මිනිසෙක්යැයි මම කියන්නෙ කොහොමද ?
ගඟ තවම තරුණයි......
මුවන් පැලැස්සෙන් පටන් ගත්තත් කොච්චරක් පාරවල් දිගේ ඇවිද යන්නද ?
මෝරණ තල මල සේම සාර සුබාවට සුභාවිත සුභාෂිත සුලාලිත විලාසයෙන් කලාවේ නෙක නිම්න අස්වද්දමින් ඇවිද ගිය ඒ ප්‍රතිභාපූර්ණ මිනිසා
සිරියාවන්ත සිනහවකින් නිති මුවඟ සරසාගත් ඒ සොඳුරු රංගධරයා ....
විජේරත්න වරකාගොඩ කලාවේදීයා.....
අපට හමුවූයේ 2026 අගෝස්තු 19 වැනිදා යොවුන් සේනාංක කලා උළෙලේදී ය.
ඈත මෑත නොයෙක් පළාත් හි දරුවන්ගේ ප්‍රසංශනීය වෙසින් අගය කළ යුතු නර්තන ,වාදන ,ගායන ඇතුළු බොහෝ දස්කම් වේදිකාවට ජීවාත්මයක් මුසු කරද්දී තුටින් අත්පොළසන් නැගූ ඒ සුලවතාණන්
රස මසවුලෙන් සප්පායම් වී තේ කෝප්පයක් රස විඳිද්දී,
තම ක්ෂේත්‍රයේ ප්‍රවීණයා ඇසුරෙහි හිඳ නිමේෂයක් හෝ ආශිර්වාද ලබන සිතින් ඔහු සමීපයේ හිඳගත් මේ තාරුකාව හරිනි අග්‍රාශ්‍රී කව්‍යාංජනීය.
ක්ෂීර සාගරය කැළඹිණ තිරය මත දිලිසෙන දවස් හීදී දිනක් මම එහි අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හමුවූයෙමි.
ජැක්සන් ඇන්තනී ප්‍රවීණ කලාවේදීයාණන් සමඟ ක්ෂීර සාගරය කැළඹිණ ඔස්සේ ලාංකික සිනමාවට එක් වෙන්නට තරම් වාසනාවන්ත වූ අග්‍රාශ්‍රී ගැන එදා මහාචාර්ය සුනිල් ආරියරත්න මා හා පැවසුවේ මෙයයි.
"අපි හිතන් හිටියෙ ඒ චරිතයට ඉන්දියාවෙන් නිළියක් ගෙන්වන්න.ඒත් හරිනි අග්‍රාශ්‍රී කව්‍යාංජනී කියන මේ යුවතිය දැක්කට පස්සෙ මම හිතුවා ඇයි මම ලංකාවෙන් නිළියක් ගෙන එන්නෙ කියලා.ජැක්සන් ඇය දුටු පසු මට කීවෙත් ආය ඉන්දියාවෙන් නිළියක් එපා කියලා..ඇය කලාවට සිනමාවට ඉතාමත් ගරු කරන ආදරය කරන ඉතා හොද විනයක් තියෙන හොද අනාගතයක් තියෙන නිළියක් ......."
මහාචාර්ය සුනිල් ආරියරත්නගෙන් එදා එවන් ඇගයීමක් ලද ඇය 2015 මිස් ශ්‍රි ලංකා කිරුළ දිනාගත් රැ රැජනයි. නිරූපණ ශිල්පය ඔස්සේ දේශීය විදේශීය ජයග්‍රහණ රැසක් ලාංකික නිරූපණ ක්ෂේත්‍රයට දායාද කළ ඇය රුසියානු චිත්‍රපටයක ප්‍රධාන චරිතයට හුස්මක් දෙමින් ජාත්‍යන්තර සිනමාවටද එක් වෙන්නට තරම් මේ තුරුණු වියේදීම වාසනාවන්ත වූවාය.එසේම නමක් ඇති බොහෝ සන්නාමයන්හි සන්නාම තානාපතිවරිය ලෙස වටිනාකම් දිනාගත්තාය.
ඉතින් මේ අන්ත ද්විත්වයක හිඳ දිලිසෙන තරු යුගලකි.
පරම්පරා දෙකක තාරකා යුගලකි.
ඈ කුඩා වියේ සිටම මේ ප්‍රතිභාපූර්ණ කලාකරුවාට ආදරය ඔහුගේ සහෘද සිතැත්තියකි.
ඉතින් මේ දෙදෙනාම සැපැමිණියේ එකම කලා උළෙලක ආරාධිතයින් හැටියටය.
ජීවිතයේ අනපේක්ෂිත අහම්බකාරක තරම් කිසිවක්ම සුන්දර නැතැයි මට සිතේ.
තරුවක් සමඟ තරුවක්...
ඇය ඔහු සමීපයට ගියේ කුඩා වියෙහි සිට ඔහුට දැක්වූ භක්තිය ගැන කියන්නටය.
ඔහුට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුව පතන්නටය.
ඉතින් දිලිසෙන දෙපයින් ඇවිදින මේ රංගවේදියාණන්ගේ දෙපා නමදින මොහොතේ ඔහු ඇයට තිළිණ කළේ ආශිර්වාද සමුදායකි.
හෙට දවසක ඇය ජීවිතය තවත් තව තවත් දිනන මොහොතක් පාසා ඒ නොකිළිටි ආශිර්වාදය ද ඈ ගමන් මඟ නොහිම් සෙවණැල්ලක් වී රැඳෙනු ඇත.
යුග දෙකක්....
තරු දෙකක්....
තේ කෝප්පයක් ....
ආහ්....මොනතරම් ලස්සනද ?
