යාළුවො ගොඩක් හිටියට ආදරේ කරන අය සීමිතයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘‘නරක කාලෙට ලෙඩ වෙන්න ගත්තාම, යකඩ ගොඩවල් පවා ලෙඩ වෙනවා’’ මෙහෙම කියන්නෙ, කාංචනා. මේ කාංචනා යනු ඕනෑම දේකට ඔට්ටු කාන්තාවක්. හොඳින් නම් හොඳින්, නරකින් නම් නරකින්. ඕනෑම කෙනෙක් එක්ක හැප්පෙන්න බය නැති කාන්තාවක්. මෙයා අපට හමුවන්නෙ සිවා නැත්නම් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන, සද්ධා මංගල සූරියබණ්ඩාරගෙ රචනයක් වන මේ දිනවල සිරසෙ විකාශය කෙරෙන ‘‘සර්කස්කාරයෝ’’ නාට්‍යයේ චරිතයක් විදියටයි.

මෙම චරිතයට හරි අපූරු රංගනයක් ඉදිරිපත් කරන ඇය ඔන්න කාලයකට පස්සේ ආයෙත් අපි හමුවට ඇවිත්. දන්නවනෙ, ඇය තමයි ශිරෝෂි රොමේෂිකා. පසුගිය වසරේ දී නිවාඩුවක් ගත කිරීමට ගොස් සිටිය දී අනතුරකට ලක්ව සිටි ඇය, පූර්ණ සුවය ලැබීමෙන් පසුව ප්‍රථම වරට රංගනයෙන් දායක වන්නේ මෙම චරිතයටයි. ඉතින් ශිරෝෂි රොමේෂිකා එක්ක කතා බහක යෙදෙන්න මේ හොඳම වෙලාව කියලයි අපට හිතෙන්නෙ. 

ශිරෝෂි වඩා කැමති මොන විදියට අමතනවට ද? රොමේෂිකා කියන්න ද? ශිරෝෂි කියන්න ද?

වැඩිපුර භාවිත වෙන්නෙ නම් ශිරෝෂි කියලයි. ඒ නිසා එහෙම හොඳයි.

‘ශිරෝෂි’ කියන නාමයේ තේරුම ? 

මාව උපදින්න සිටිය දී අම්මයි - තාත්තයි ෆිල්ම් එකක් බලන්න ගිහින්. ඒකෙ ශිරෝෂි කියලා නමක් තිබුණලු. ඒ නම තමයි මට දාලා තියෙන්නේ. රොමේෂිකා කියලා දාලා තියෙන්නෙ අපේ අයියගෙ නම රොමේෂ් නිසයි.

දෛවය හරි පුදුමයි නේද? එදා අම්මයි තාත්තයි ෆිල්ම් එකක් බලලා ශිරොෂි කියලා නම දැම්ම, මේ ශිරෝෂි ඩාන්සින් ස්ටාර් ෆිල්ම් එකේ චරිතයක් රඟපාමින් සිනමාවට ආ විදිය?

ඇත්තටම ඒක අපූරු සිදුවීමක් තමයි. එදා අම්මයි - තාත්තයි නැරඹූ ඒ ෆිල්ම් එකේ රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රවීණයා රඟපාලා තියෙනවා. ඉතින් පසු කලෙක එතුමා එක්ක මටත් රඟපාන්න ලැබුණා.

ශිරෝෂි ජීවිතේ ගෙවී ගිය පසුගිය කාලය ගැන කොහොමද හිතෙන්නෙ?

ගෙවී ගිය කාලය දෙස හැරී බැලුවොත් එකම දුකකට තියෙන්නෙ කලා කටයුතුවලට දායක වෙන්න ලැබුණෙ නැති එකයි. ඒ කියන්නෙ ජනප්‍රියම කියන තැනට ඇවිත් සිටිය දී මම වැඩ බාර ගත්තෙ නැතුව, වැඩවලට නොගිහින් හිටියා. ඒක මම කළ ලොකු මෝඩකමක්. ඒ හැර අනෙක මම ගත්ත කිසිම තීරණයක් ගැන පසුතැවීමක් මට නැහැ. පසුතැවීමක් වෙන්නෙත් නැහැ.

අද ‘‘ජීවිතේ’’ කොහොම ද?

ජීවිතේ ගත්තොත් අද බබා ඉන්නවා, අම්මයි - තාත්තයි ඉන්නෙත් මා ළඟ. ඉතින් ජීවිතය සුන්දරව ගෙවී යනවා. බබාගෙ වැඩ ටිකත් කරගෙන සුන්දරව ජීවිතය ගෙවමින් සිටිනවා. 

එදා අනතුරට මුහුණ දීලා සුවය ලැබීමෙන් පස්සෙ ජීවිතේ මොන වගේ දෙයක් ද තේරුම් ගත්තෙ?

ආශ්‍රය කරන හැමෝම අපි වගේමයි කියලා හිතාගෙන තමයි අපි ඒ අය ඇසුරු කරන්නෙ. එදා ඒ අනතුරින් පසුව මාත් එක්ක සැබෑ ලෙස ඉන්න පිරිස මම හඳුනා ගත්තා. මගෙ පවුලෙ අය සහ ‘‘අමල්’’ව විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. අමල් තමයි හොස්පිට්ල් එකේ වැඩ ටික ඇතුළු සියලු දේ කළේ. මගේ අම්මා-තාත්තා මා ළඟින්ම හිටියා. ඒ දිනවල අපේ අම්මත් අසනීප වෙලා රෝහලේ හිටියේ. ඒ විදියට සැමදා අපි වටා සිටින පිරිසක් ඉන්නවා. ඒ පිරිස් තමයි ජීවිතේ හැමදාටම ඉන්නෙ. අනතුරින් පස්සෙ මම හොඳටම තේරුම් ගත්තෙ කෙනෙක්ව ඕනෑවට වඩා බැඳගෙන ඇසුරු කරන්න ඕන නැහැ කියලයි. යාළුවෝ අපට ඉන්නවා. ඒත් ඇත්තටම ආදරේ කරන අය සීමිතයි. එදා මම මියගියා නම් ඒ පාඩුව මගේ පවුලේ අයට සහ ළඟින්ම සිටින කීප දෙනාට විතරයි. මම රෝහල්ගතව සිටි කාලයේ දී ප්‍රේක්ෂකයන් වගේම පවුලේ ළඟම අය මා වෙනුවෙන් ආශිර්වාද කළේ ඉක්මන් සුවය වෙනුවෙන්. කළුතර නාගොඩ රෝහලේ හෙද-හෙදි සහ වෛද්‍ය සියලු දෙනා වගේම නවලෝක රෝහලේ වෛද්‍ය මහානාම ඇතුළු සියලුම දෙනාවත් ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි. මම අනතුරට මුහුණ දීලා මේ ඔක්තෝබර් 9 වැනිදාට අවුරුද්දක්. මා වෙනුවෙන් සුවය පතා යාඥා කළ සියලු දෙනාට මගේ හෘදයාංගම ගෞරවය පුද කළ යුතුමයි.

ජීවිතේ යළි උපන්නා වගේ හැඟීමක්ද අද තියෙන්නෙ?

ඇත්තෙන්ම මම මුලින් හිටිය ශිරෝෂි නෙවෙයි අද. සිතන පතන විදියම වෙනස් වෙලා කියලා දැනෙනවා. පොඩි වෙනසක් දැනෙනවා.

හරි අපි කතා කරමු වෙනත් දෙයක් ගැන. කොහොම ද මේ එක පාරටම සැර චණ්ඩි කාන්තාවක් වුණේ? ඇයි එහෙම වෙන්න හිතුවෙ ?

සර්කස්කාරයෝ නාට්‍යයේ ‘‘කාංචනා’’ගෙ චරිතයට මට ආරාධනා කළේ සිවගුරුනාදන් මහත්මයා. පුතේ මේ වගේ වැඩක් තියෙනවා, රඟපාමු ද කියලා ඇහුවා. මේ චරිතයේ හැටියට ඒ කාන්තාව සැර පරුෂ කෙනෙක්. සිවගුරුනාදන් මහතාගේ නාට්‍යවල රඟපාන්න මම බොහොම කැමතියි. ඊට කලින් කළුඅරලිය මල් සහ පිනි වැස්ස ඩ්‍රාමා කළා. ඉතින් එයාගෙ අධ්‍යක්ෂණය යටතේ ආසාවෙන් හිටපු මම ඒ චරිතය ලැබුණාම බාර ගත්තා. සද්ධා අයියා මට චරිතය ගැන වටහලා දුන්නා. ඒ උපදෙස් මත චරිතය රඟපානවා. මාත් ඉතින් ඒ චරිතයට ටිකක් ළඟින් යනවා.

ඒ මොන විදියටද?

‘‘බබා’’ ඉන්නවනෙ, ඉතින් එයා දඟ වැඩ කළාම මම ටිකක් සැරට ඉන්නෙ. ඒ විදියට තරහා ගියාම කාංචනාගේ වගේ පාට් එකක් එනවා. හැබැයි ඉතින් ඇත්තම චරිතෙ මම කාංචනා වගේ නෙවයි. කාංචනා කියන්නෙ මේ නාට්‍යයේ චරිතයක් විතරයි.

ඇත්තම චරිතය: ශිරෝෂි මොන වගේ ද?

තව කෙනෙක්ගෙ හිත රිදවන්න ආස නැති චරිතයක්. මම මගේ පාඩුවෙ මගේ දෙයක් කරගෙන ඉන්න කෙනෙක්. කවුරුහරි මට ඕනෑවට වඩා රිද්දන්න ආවොත් තමයි රිටන් එක දෙන්නෙ. එහෙම නැත්නම් ඉතින් හොඳ ඉවසීමක් තියෙන කෙනෙක්.

සර්කස්කාරයෝ - කාංචනාට වගේ ගහගන්නත් පුළුවන් ද?

ට්‍රයි එකක් දෙනවා. කතාව නරඹලාම ඉදිරිය ගැන කතා කරමු. කාංචනාගෙන් සල්ලි පොලියට ගත්ත කෙනෙකුට කාංචනා ගැහුවා. ඒ කොටස ඉදිරියේ විකාශය වේවි. හැබැයි ඉතින් මේ චරිතය කිරීම ගැන බොහෝ දෙනෙක් මට බනිනවා. ඔයා වගේ කෙනෙක්ට ඔය වගේ චරිත හරියන්නේ නැහැ කියලා කමෙන්ට්ස් දාලා තිබුණා. ඒ ඔක්කොගෙම Comments බැනපු ඒවා. ඒ නිසා මම ඒ අදහස් බලන්නෙත් නැහැ.

ඉතින් මේ වගේ චරිතයක් බාර ගත්තෙ ඇයි ?

ඇත්තටම අහිංසක චරිතයක් කරනවට වඩා මේ වගේ චරිතයක රඟපාන්න දෙයක් තියෙනවා. මීට පෙර 1990 නාට්‍යයේ මම කළේ අම්මෙකුගෙ චරිතයක්. අහිංසක මවක්. ඒ චරිතය සම්පූර්ණ වෙනස්. ඒ වගේම මේ චරිතය ඊට හාත්පසින්ම වෙනස්. රඟපා හැකි විවිධත්වයන් බොහෝමයි.

මේ ටෙලි නාට්‍යයේ දී විතර ද ශිරෝෂි අපට හමුවන්නෙ ?

තව තුනක් විතර විකාශය වෙන්න තියෙනවා. ලබන මාසයේ මුල දී එයින් එක නාට්‍යයක් විකාශය වේවි.

ශිරෝෂි මුලින්ම එදා රඟපෑමට ආවේ, ඩාන්සින් ස්ටාර් ෆිල්ම් එකේ නේද?

නැහැ, ඊට පෙර ස්වර්ණවාහිනියෙ කොට උඩ මන්දිර’’ ටෙලි නාට්‍යයෙත්, ඊට පස්සෙ සිරසෙ විකාශය වෙච්ච ‘‘කාව්‍යා’’ නාට්‍යයේත් රඟපෑවා. ඒ අතරවාරයේ දී තමයි ‘‘සිරස ඩාන්සින් ස්ටාර්’’ තරගයට ඉදිරිපත් වුණේ.

රඟපෑම, නර්තනය, නිරූපණය හැර ගැයුමට දක්ෂ නැද්ද ?

ටී.වී. ප්‍රෝගෑම්වලට ගියාම එහෙම ගීත ගයනවා.

ගීත ගයන්න අමල්ගෙන් ඉගෙන ගත්තෙ නැත් ද? එහෙම හිතුනෙ නැද්ද?

පාටි උත්සව නිතරම තියෙද්දී කොහොමටත් සිංදු ඇහෙන පරිසරයක ඉන්නකොට ඉබේම ඊට යොමු වෙනවා. එයා ලස්සනට ගයන අවස්ථා මගේ මනසේ රැඳුණා. ගායනයට වඩාත් ආස හිතුණෙත් ඒ නිසාමයි.

ශිරෝෂිගෙ ප්‍රියතම ගායන ශිල්පියා ?

අමල් වගේ අනෙක් ප්‍රවීන ශිල්පීන්ගෙ ගීත හරි අපූරුවට ගයන කෙනෙක් මීට පෙර මම දැකලා නැහැ. ඒ මුල් ගායකයාගේ ගීතයේ ගැයුමට අමල් තවත් අපූරු රසයක් ලබා දෙනවා. ඒක එයාගේ මම දකින සුවිශේෂත්වයක්. තමන්ගේ ගීතවලට වඩා අනෙක් අයගෙ ගීත හරිම රසට හැඩට ගයන ශිල්පියෙක්.

කාලයකට පස්සෙ කලා ක්ෂේත්‍රයට ආව ශිරෝෂිට මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය සහ ෆිල්ම්ස් ගැන කොහොම ද හිතෙන්නෙ ?

මට හිතෙන විදියට එදාට වඩා අද අපට හොඳ රසයක් - හරයක් ඇති නිර්මාණ නරඹන්න ලැබෙනවා. හොඳ කතා තේමා යටතේ නිර්මාණ බිහිවෙනවා. කාලයක් අපේ චිත්‍රපට පවා තිබුණෙ හොඳ මට්ටමක නෙවෙයි. ඒත් දැන් එහෙම නැහැ. ඉතා හොඳ නිර්මාණ දකින්න ලැබෙනවා. තත්ත්වය - ගුණාත්මක බව වැඩි වෙලා.

‘‘ශිරෝෂි’’ට ශිරෝෂිව දැනෙන්නෙ කොහොම ද?

ශිරෝෂි කියන්නෙ ඇත්තටම හිත හොඳ, තව කෙනෙක්ගෙ යහපත ගැන හිතෙන කෙනෙක්. මට වැරදුණත් අනෙක් කෙනාට හරියන්න ඕනෑය කියලා හිතන කෙනෙක්. ආදරේ ගොඩාක් බලාපොරොත්තු වන, කාගෙවත් හිත රිදවන්න අකමැති කෙනෙක්. කාටත් කරදරයක් නැතුව, තමන්ගෙ දේ ගැන හොයන අනුන්ගෙ දෙ ගැන හොයන්න අකමැති කෙනෙක්.

සඳුන් ගමගේ