රුසියා හීනය මග හැරුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රුබේරු කියන්නේ මිනීපෙට්ටි සාප්පුවක අයිතිකාරයෙක්. කෙනෙක් මැරෙනකල් බලාගෙන ඉන්නෙ බිස්නස් එකක් එනකං. පේන්නෙ නම් එයා ගම හූරං කන චරිතයක් වගෙයි. හැබැයි එයාගෙ දරුවෝ එහෙම නැහැ. දරුවන්ට ඕනෑ කරන්නෙ තාත්තාගෙ ගමන යන්න නෙවෙයි. ඒ නිසා ඒ දරුවෝ නගරයට එන්නෙ එයාලගෙ ලෝකය සොයා යන්නයි. හැබැයි ඉතිං රුබේරු කියන්නෙත් තාත්තා කෙනෙක්. දරු සෙනෙහස වෙනුවෙන් මේ හැම දෙයක්ම කරන තාත්තෙක්.

ඊළඟට අපි බලමු විල්සන් මොන වගේද කියලා ? එයා රෝහලක ශල්‍ය වෛද්‍යවරයෙක් නෙවෙයි. හැබැයි රෝහලක වැඩ කරපු කෙනෙක් වෙන්නැති. ගෙන්දගම් පොළවෙ පාතාලයින් දෙපැත්තකට මැදිවෙලා විල්සන් උන්ට අවශ්‍ය දේ කරමින් ජීවිතය බේරාගන්න ෂේප් එකේ ගේමක් ගහන කෙනෙක්. මිනිහා ඇත්තටම නරක කෙනෙක් වෙන්නත් බැහැ.

මේ විදියට ප්‍රවීන රංගවේදී, සම්මානනීය අංග රචනා ශිල්පී වසන්ත විට්ටච්චි, මේ දිනවල අපට හමුවන්නෙ මෙට්රෝ හීන, රුබේරු සහ තවත් සමයක කොළඹ නම් වූ ටෙලි මාලාවේ විල්සන් යන චරිතය සමගයි. එහෙම නම් එක්වෙමුද මේ ප්‍රවීනයා එක්ක පිළිසඳරකට.

වසන්ත විට්ටච්චි කියන්නකො බලන්න විට්ටච්චි කියන නමේ තේරුම?

අපේ අම්මා තාත්තා දෙන්නම දකුණෙ මිනිස්සු. කොට්ටහච්චි, විට්ටහච්චි කියන නම් ආවෙ එහෙන්. විට්ටහච්චි තමයි විට්ටච්චි වෙලා තියෙන්නෙ. තාත්තාගෙ ගම බෙන්තර. මම හැදී වැඩුණෙ කොළඹ. මොකද අපේ තාත්තා පොලිස් නිලධාරියෙකු ලෙසයි කටයුතු කළේ.

මොහොතකට ඒ අතීතයට යමු?

තාත්තා පොලිස් නිලධරයකු වෙච්ච හන්දා, අපේ වැඩි සමීපකමක් තිබුණෙ අම්මා එක්ක. තාත්තා සැර වුණේ නැහැ. අම්මා බොහෝම සෞන්දර්යවාදී චරිතයක් වුණා. මුල්ම කාලයේදී ඇය කටයුතු කරලා තිබුණෙ ගුරුවරියක විදියට. පසුව තාත්තාගෙ රාජකාරි එක්ක අම්මා ගුරු වෘත්තියෙන් අයින් වෙලා. ඒ කාලයේ අපේ තාත්තා මෝදර පොලිසියෙ වැඩ කළේ. තාත්තාගෙ යාලුවෝ වෙච්ච කැරම් ශූරයින් දෙදෙනෙකුව සිටි ලක්ෂ්මන් සහ ඩඩ්ලි ගුණවර්ධන දෙන්නා අපේ අයියා සහ අක්කලා එක්ක එකතුවෙලා ඒ දවස්වල නාට්‍ය එහෙම කළා. එයාලා චිත්‍රපට නරඹලා ඇවිත් ඒවා ගැන රස කර කර කියූ හැටි පුංචි එකෙක් වෙච්ච මම හරි ආසාවෙන් බලාගෙන හිටියෙ. මට අක්කලා හතර දෙනයි. එක අයියයි. එයාලා ඉස්සර පොල්අතු මඩු ගහගෙන නාට්‍ය කළා. ඒ නාට්‍යවලදී මාව ගත්තෙ හේවායකුගෙ, දොරටුපාලයකු වගේ චරිතයකට. මමනෙ බාලයා වුණේ පවුලෙ. පොඩි අක්කා කවි ලියන්න දක්ෂයි. අනෙක් අක්කා චිත්‍රවලට දක්ෂයි. මේ වගේ පරිසරයක තමයි මගේ ළමා කාලය ගෙවුණෙ.

ඉන්පසුව අපි ඔබ ගැන අහලා තියෙන විදියට ඒ කාලයේදී රුසියානු බස එහෙමත් හැදෑරීමට පෙළැඹී හිටියා නේද?

පාසලෙන් අයින් වෙලා හිටපු කාලයේදී රුසියානු භාෂාව ඉගෙන ගන්න මට තිබුණෙ ලොකු උනන්දුවක්. 71 කැරැල්ල නිමවෙලා වසර කීපයක් ගතව තිබුණත් ඒ ගිණිපුපුරු සහ රතු මෙන්ම රුසියානු ස්වභාවය කෙරෙහි අපටත් තිබුණෙ ආසාවක්. මගේ හීනය වුණේ රුසියාවට යාමයි. මෙහි ස්ථාපිතව තිබූ සෝවියට් සංස්කෘතික මන්දිරය, සෝවියට් දේශය සඟරාව, ආදි දේ කියවද්දී සහ එවකට තිබූ සිරිමාවෝ රජය එක්ක සෝවියට් දේශය අපි දුටුවෙ මහා බල කඳවුරක් ලෙසයි. මේ වගේ දේ නිසා තමයි සෝවියට් සංස්කෘතික මන්දිරයට ගිහින් රුසියානු භාෂාව ඉගෙන ගන්න උනන්දු වුණේ.

ඒ කාලයේදී නිමල් පතිරණ නිර්මාණය කළ රත්තෝ නාට්‍ය රටේ මහත් ආන්දෝලනයක් ඇති කළා. එහි පෝස්ටර් ගහන්න යද්දි අපෙන් ප්‍රශ්න කළ අවස්ථා පවා තිබුණා. ඒ නාට්‍ය කරද්දි තමයි මේ කලාව සහ රංගනය මම දැනගෙන කළ යුතුය කියන තැනට ආවෙ. එහෙම හිතාගෙන තමයි බොහෝ විශිෂ්ට චරිත බිහිකළ ලයනල් වෙන්ට්ඩ් රංග ශිල්ප ශාලාවට බැඳුණෙ.

එතකොට රුසියා ගමනට මොකද වුණේ?

නාට්‍ය හා රංග කලාව වෙනුවෙන් මොස්කව් සරසවියට අයදුම්පත් යොමුකරලා තිබුණෙ. සෝවියට් සංස්කෘතික මන්දිරය කොමියුනිස්ට්නෙ. ඒ නිසාම මෙරට කොමියුනිස්ට් පක්ෂවල සබඳතා තිබුණා. අපි අයත් වුණේ විකල්ප මත දැරූ රතු පක්ෂයට. ඒ නිසා අපේ අයදුම්පත් විසිවෙලා. ඒ එක්කම රුසියානු සිහිනයත් බොඳ වී ගියා. හැබැයි එහෙමයි කියලා මම කිසිවිටෙකත් හඬා වැටුණු චරිතයක් නම් නෙවෙයි. ඉන්පසුව විවෘත වීදි නාට්‍ය කණ්ඩායමට එක්වී කටයුතු කරන්න පටන් ගත්තා. මම එහි මුල් සාමාජිකයෙක්. වැටුණු තැනින් මම නැගිට්ටෙ, බොහෝ ගුරුවරු යටතේ හදාරමින් සහ වැඩමුළු, පාඨමාලාවලට එක්වෙමින්. ඒ විදියට ආ ගමනේ අදටත් මම යාවත්කාලීන වෙමින් හදාරණ කෙනෙක්. ඉගෙන ගන්න කෙනෙක්. කවදාවත් අපිට ඉගෙනගෙන ඉවර කරන්න බැහැ. ඒ විදියට ඉගෙන ගන්නා අතරේ අද මම තවත් පිරිසකට උගන්වනවා.

එදා ඒ කියන්නෙ ඔබ මුලින්ම කරලා තියෙන්නෙ රංගනය නේද ?

මම වගේම මේ ක්ෂේත්‍රයේ සිටින බොහෝ දෙනා ඒ විදියට රංගනයෙන් තමයි කලාවට අවතීර්ණ වෙලා තියෙන්නෙ. ඒකට හේතුව විද්‍යානුකූලව මේක හැදෑරිය යුතු නැහැ කියන ස්වභාවය අපේ සමාජයේ තිබීම වගේම, ලෙහෙසියෙන්ම අවතීර්ණ වෙන්නට  ඇති හැකියාවයි. මටත් අවකාශය ලැබුණෙ ඒ විදියටයි. ඒ ඔස්සේ ආ ගමන තමයි අර කලින් කිව්ව විදියට මුවහත් කර ගනිමින්, අද දක්වා ගමනක් ආවේ.

ඇයි තාත්තාගෙ ආභාෂය අරගෙන පොලිසියට එහෙම නොගියෙ? හොඳ උඩු රැවුලකුත් වසන්තට තියෙනවනෙ?

ඒ වෙනුවෙන් එදා මම සම්මුඛ පරීක්ෂණයට පවා ගියා. මොකද අපේ පරම්පරාවේ පැටිකිරිය ගත්තොත්, අපිට පොලිසියෙ අයිතිවාසිකම් තියෙන්නෙ. ඒත් මොකක්දෝ හේතුවකට මට පොලිසියට යන්න ඕනෑ වුණේ නැහැ. පරීක්ෂණයේ දී රතුපාට නම්, මම සුදු කියලයි කිව්වෙ. වර්ණ අන්ධතාවය තියෙන අය බඳවා ගන්නෙ නැහැනෙ. අන්න ඒ වගේ තමයි එදා මම එයින් මග හැරුණෙ. එදා ලයනල් වෙන්ට්ඩ් රංග ශිල්ප ශාලිකාවෙ හිටපු ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, පසුව නාට්‍ය කීපයක් කළා. ඒවායෙහි වේෂ නිරූපණ කටයුතු කළේ රංජිත් වික්‍රමසිංහ නමැති ඉතා දක්ෂ ප්‍රවීනයා. එයා නිසා තමයි මුලින්ම මේක් අප් බුෂ් එකක් මට අතගාන්න ලැබුණෙ. ඒක ඔහු නිසා වූ අහම්බයක්. ඒ අහම්බයේ දී පසුව ශේෂා පලිහක්කාර සර් එක්ක වැඩ කරන්න ලැබුණා. ඒක හරියට අංග රචනා කලාව හදාරන්න සරසවියට ගියා වගේ දෙයක්. එතුමා යටතේ කටයුතු කරන්න ලැබීම ඇත්තටම මා ලැබූ පිනක්.

අපේ රටේ හැටියට කලාකරුවා හිඟන්නා කියන ලේබලයේ ඉන්නෙ. ඉතින් වසන්ත කලාකරුවකු වීම ගැන සතුටුවෙනව ද?

කලාවට, කලාකරුවන්ට ඒ විදියට පරිභව කරන අය ඉන්නවා. කලාකරුවා සහ දේශපාලකයා කියන චරිත දෙක ගත්තොත් කලාකරුවා ඉන්නෙ ඉදිරියෙන්. කලාකරුවා ජනතාවට සතුටක් දීලා, වින්දනයක් දීලා, පණිවුඩයක් දීලා ජනතාවගේ මනස සැහැල්ලු කරවනවා. දේශපාලනඥයා මනාපයේ ඉඳලා සියල්ල යදිමින් ජනතාවගෙන් හිඟා කනවා. දේශපාලන හිඟන්නෝ අපි කොච්චර නම් දකිනව ද? මගේ ජීවිතය අති සුඛෝපභෝගී නොවුණට, කාටවත් අත නොපා ජීවත් වීමට මාර්ගය පෑදුණේ කලාවෙන්. ඒ නිසා කලාවට මගේ තියෙන්නෙ උපරිම ගෞරවයක්. ලෝකයේ රටවල් පණහකට, හැටකට විතර සංචාරය කරන්න ලැබුණෙ කලාව නිසා. එම සංචාර අතරිනුත් මට වඩාත් සුන්දරම මතකය එන්නෙ ශ්‍රියන්ත මෙන්ඩිස් එක්ක පාදඩ අසපුව නාට්‍ය පෙන්වීමට යුරෝපයට ගිය ගමන. ඒක හරිම සුන්දරයි. අපි මාස තුනහමාරක් විතර හිටියේ යුරෝපයේ. කණ්ඩායමක් විදියට හැමෝම කටයුතු කළේ එකම පවුලක පිරිසක් වගෙයි. ඒ සංචාරය නම් මට මගේ ජීවිතය පුරාවටම මතකයේ රැඳී තියේවි.

කලාකරුවා කියන කෙනා ගැන ඔබට හැඟෙන්නෙ කොහොම ද?

අපේ රටේ නැතිවුණත් වෙනත් රටවල දී, වෛද්‍ය විද්‍යාව හදාරන කෙනාට එයාගෙ උපාධියේ කොටසක් ලෙස කලා විෂයය ඇතුළත් වෙනවා. උපාධිය ඉවර වුණාම එයා වෛද්‍යවරයෙක් ලෙස රස්සාව කරනවා. හැබැයි එයා මනුස්සයෙක් වෙන්නෙ කලාව නිසා. ඒ නිසා තමයි කලාව එම උපාධියට ඇතුළත් කරලා තියෙන්නෙ. සෞන්දර්යය අත්දැකීම් ලබන සෑම මනුෂ්‍යයෙක්ම හරිම රසවත්. සල්ලි පොට්ටනියකට වඩා ඒ මනුස්සකම හරි අරුත්බරයි. මම කවදාවත් මම පොර යන නාට්‍යයේ ඉඳලා නෙවෙයි කටයුතු කළේ. ඒ නිසා කාටවත් අභියෝග කරන්න ගියේ නැහැ.

අපි අභියෝග කරන්නෙ ශිල්පියාට නෙවෙයි. ශිල්පයටයි. අපේ රට ගත්තොත් අතීතයේ දී පමණක් අපට සියල්ල තිබූ රටක්. තිබෙන හෝ ඇතිවිය යුතු රටක් වෙනුවට තිබිච්ච රටක් විතරක් වෙලා. සිනමාව බේරාගන්න කතා කරනවා. හැබැයි බේරා ගත්තාට වැඩක් නැහැ, මොකද චිත්‍රපට පෙන්වන්න සිනමා ශාලා නැහැ. මුළු රටේම අද තියෙන්නේ ශාලා 30 ක් පමණ විතරයි. ඒ නිසා සිනමා ශාලා බේරාගන්න කියලා දැන් කෑ ගහන්නයි වෙලා තියෙන්නෙ.

සඳුන් ගමගේ